කාණුගෙදර රංජියාගේ විවාහය සැප්තැම්බරයේ

ජූලි 1, 2021

කාණු ගෙදර රංජියා නමැති චරිතය ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වූයේ අසීමිත අන්දමිනි. හාර කෝටිය ටෙලි සිතුවමේ ජීවත් වූ ඔහුගේ විලාසිතා, කතාබහ කරන ස්වරූපය, කොයි කාගෙත් සිත් ගත්තේ එහි වෙනසක් තිබූ නිසාය. ඒ අපූරු චරිතයට පණ පෙව්වේ රොහාන් විජේතුංගයි. හාර කෝටිය නාට්‍යය විකාශය වන කාලයේ රොහාන්ට පාරේ බැස යාමට බැරි තත්ත්වයක් උදා වූයේ යන යන තැන රසික රසිකාවෝ පොදි බැඳ ගන්නා හෙයිනි. රොහාන් අප සමඟ සරසවියේ ඉසව් කිහිපයකට සහභාගි වීමටද ඒ කාලයේ ආවේය. ඒ තැන්වලදී ඔහුව වටකොට ගත් ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව සහ ඡායාරූප ගත් ප්‍රමාණය මෙතෙකැයි කියා කිව නොහැකි තරමය. ඔවුන්ගෙන් මිදී යළි එතැනින් පිටත් වන්නට රොහාන්ට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවිය. කෙසේ වෙතත් පසුකාලීනව ගුරු වෘත්තිය තෝරාගත් රොහාන් අඩු වැඩි වශයෙන් නිර්මාණයන්ටද දායකත්වය දැක් වීය. රොහාන් විවාහ වන්නට සූදානමින් සිටියේ මෙම ජූනි මාසයේදීය. නමුත් මේ කොරෝනා වසංගතයේ හේතුවෙන් මාස කීපයකට විවාහය කල්දමන්නට ඔවුනට සිදුවිය. මේ ඔහුගේ ආදර කතාවේ සුන්දර තැන් පිරික්සා කළ කතාබහකි. තව මාස කිහිපයකින් යුග දිවියට ඇතුළු වන රොහාන්ට සිය සුරූපී පෙම්වතිය හිමිවන්නේ එක්තරා වැඩමුළුවකට සහභාගිවීමෙන් සිටින අතරතුරදීය. එතැන් පටන් රොහාන් මෙසේ ඒ කතාව ඉදිරියට ගෙන ගියේය.

මම කොලඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ. ඇය එතකොට සෞන්දර්යයේ. කැම්පස් යන කාලේ අපිට තියෙනවා නායකත්ව පුහුණු වැඩමුළුවක් කියලා එකක්. අපි හැමෝම ඒකට සහභාගි වෙන්න ඕනේ. මටත් ඒ අවස්ථාව උදාවුණා.ඇයත් ඇවිල්ලා හිටියා. නායකත්ව වැඩමුළුවේදී අපිව කණ්ඩායම්වලට බෙදෙනවා. මාව අයත් වුණේ චාලි කියන කණ්ඩායමට. ඇයත් ඒකෙ. මේ කණ්ඩායම හැමතිස්සෙම පවත්වන ඉසව්වලින් පරාද වෙනවා. හැබැයි අපේ කණ්ඩායමේ තියෙන මොරාල් එක අපි කවදාවත් අඩු කර ගත්තේ නැහැ. දකින කාටවත් හිතෙන්නේ නෑ චාලි කණ්ඩායම පරදින කණ්ඩායමක් කියලා. අපි මොන ඉවෙන්ට් එකෙන් පරාද වුණත් හොඳට කෑ ගහලා කරලා ජව සම්පන්නව ඉන්නවා. මම තමයි ඔය චියර් කර කර වැඩිපුර කට්ටිය දිරිගන්වන්නෙ. මේ නිසා මට වෙනම පෞරුෂයක් වගේ එකක් හැදිලා තිබුණා. ඒක අනිත් කණ්ඩායම වල අයත් දැකලා තිබුණා. ඔය අතරේ මගේ පෙම්වතිය, එතකොට පෙම්වතිය නෙවෙයි. ඇගේ නම ගංගා කුමුදිනි. ඇයත් අපේ කණ්ඩායමේ හිටියා. මෙයාගේ තිබුණු ලස්සනත් එක්ක සෑහෙන පිරිසක් ඇය එක්ක යාළු වෙන්න ට්‍රයි කළා. කෙටියෙන්ම කිව්වොත් මගෙත් එක්ක හිටපු හොඳම යාළුවා පවා ඇයට ට්‍රයි කළා. එක්තරා අවස්ථාවකදී තවත් මිත්‍රයෙක් ඉවෙන්ට් එකක් තිබුණ වෙලාවක කෙලින්ම ස්ටේජ් එකට ගිහිල්ලා මම කැමතියි ගංගට ගංගා කැමති නෑ මට කියලා විරිඳුවකුත් කිව්වා. එච්චරටම කට්ටියට මෙයා පිළිබඳ ඇල්මක් තිබුණා. මටත් එහෙම ඇල්ම බැල්ම නොතිබුණාම නෙමේ. නමුත් මම ඇගෙන් ගිහිල්ලා යාළුවෙන්න ඇහුවේ නැහැ. ඔය අතරේ අපේ නායකත්ව පුහුණුව නිමා වුණා. අන්තිම දවසේ මම ගංගා ගාවට ගිහින් ටිකක් කතා කළා. කතා කර කර ඉන්න ගමන් ඇහැව්වා, මට ඔයාගේ නම්බරේ දෙන්න පුලුවන්ද, හැබැයි ලොකු දේකට නෙමේ ඔය සිංහල අවුරුද්දට අලුත් අවුරුද්දට විෂ් කරන වගේ දේකට කියලා. මම හිතුවේ නෑ ඇය මට නම්බර් එක දේවි කියලා. නමුත් ඇය මට ඇගේ දුරකථන අංකය දුන්නා. ඔන්න ඉතින් එතැන් පටන් තමයි මේ ගේම පටන් ගත්තෙ. අපි නිතර කථාබහ කළා. ඔය අතරතුරදී අපි දෙන්නටම දෙන්නට විශේෂත්වයක් දැනුණා. මම ඇයගෙන් කැමැත්ත ඇහැව්වා. එතකොට ඇය කිව්වා අම්මා නම් කැමතියි කියලා. මම කිව්වා අම්මා නෙමේ ඔයා මොකද කියන්නෙ කියලා. ඊට පස්සේ හාකො කියන එක කිව්වා. ඉතින් කොහොම කොහොම හරි අපි පෙම්වතුන් බවට පත් වුණා.

 

එතකොට ඔබ රංගනයට අවතීර්ණ වෙලාද?

ඔව්. මම එතකොටත් වේදිකා නාට්‍යවල රඟපාමින් හිටියේ.

 

ඇය කියලා නැද්ද කවදා හරි රංගනයෙන් ඉවත් වෙන්න එහෙම කියලා?

කවදාවත් නැහැ. ඇයට එහෙම ලොකූ ගානක් නෑ. මට රඟපාන්න එපා කියලත් නෑ හා කියලත් නෑ. ඇය මොන වගේ චරිතයක්ද කියන්න මම මෙහෙම කතාවක් කියන්නම්කො. කැම්පස් ඉන්න කාලෙ මම ෂෝට් ප්ලේ එකක් කළා. මම ඒකේ රඟපෑවේ පෙම්වතකුගේ චරිතයක්. ගංගත් ඇවිල්ලා හිටියා. එතකොට මම පොඩි චකිතයකින් තමයි ස්ටේජ් එකේදි නිළි පෙම්වතියගෙ අතින් වුණත් ඇල්ලුවෙ. ඉතින් මම ප්ලේ එක ඉවරවෙලා ගංගාව හම්බවෙන්න ගියාම, ඇය කියනවා, ඔයා තව පොඩ්ඩක් ළං වෙලා පොඩි කිස් එකකුත් ඒ නිළියට දුන්නනම් තමයි තාත්ත්වික කියලා. මමත් හොල්මන්. ඉතින් ඇය දන්නව මම ස්ටේජ් එකේ හෝ ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක ගිහිල්ල කරන්නේ රංගනයක් පමණයි කියලා.

 

ඔබේ සිත් ගත් ඇගේ ගතිගුණය මොකද්ද?

ඇත්තටම මම කාලෙක ඉඳලා හිතාගෙන හිටියා මම කවදහරි විවාහ වෙනවා නම් නැටුම් දන්න කෙනෙක් එක්ක විවාහ වෙන්නේ කියලා. ඒක මොකක්දෝ පෙර ආත්මක බැඳීමක් වගේ. ගංගාත් බොහොම දක්ෂයි නර්තනයට. එයා ඒ අංශයෙන් ඉදිරියටම ගියා.මේ වන විට නර්තන ගුරුවරියක් විදිහට සේවය කරනවා. මම ඇගේ රුව සහ මේ හැකියාවට පෙම් බැන්දා. අපි නැට්ටුක්කාරී කියලා සිංදුවකුත් කළා.කැම්පස් එකේ මල්ලි කෙනෙක් තමයි ඒක කිව්වේ. ළඟදිම ඒක රිලීස් වෙන්නත් තියෙනවා.

 

සාමාන්‍යයෙන් පෙම්වතුන් වුණාම රණ්ඩු සරුවල් ඇතිවෙනවා?

මෙහෙමයි ඇය මගෙත් එක්ක රණ්ඩු සරුවල් ඇති කරගෙනම නැහැ. කවුරුවත් ඒක විශ්වාස කරන එකකුත් නැහැ. මම ඒකටත් එක සිද්ධියක් කියන්නම්. ඔන්න අපි කැම්පස් යන කාලේ දිනයක උදේ නමයට හම්බුවෙමු කියලා දාගත්තා. ඉතින් ඇය මට හරියටම නමයට දුරකථන ඇමතුමක් දෙද්දී මම රත්නපුරේ ගෙදර හොඳටම නිදි. එදා මම ඇහැරෙද්දිත් එකොළහට විතර ඇති. ඇය හරියට නමයට නුගේගොඩට ඇවිල්ලා. ඉතින් මම දඩිබිඩි ගාලා නැගිටලා බස් එකක නැග්ගා නුගේගොඩට එන්න. ඇය මම බස් එකට නැග්ගා කියලා කියපු වෙලාවේ ඉඳලා එන සෑම අවිස්සාවේල්ල බස් එකක් දිහාම බල බල ඉඳලා තියනවා. ඇය බස් එකට නැගලා මං ගාවින් වාඩි වුණා. වාඩිවෙලා මම හිතුවේ මගෙත් එක්ක රණ්ඩු වෙලා කච කච ගහලා කියවයි කියලා. නමුත් ඇය එක දෙයයි ඇහැව්වේ. දන්නවද මොකක්ද කියලා. ඔයාද මමද පිරිමියා කියලා. එතනින් එහාට වචනයක්වත් කතා කළේ නැහැ. මට උත්තරත් නෑ. හිතාගන්න පුළුවන් නේද ඇය කොතරම් තැන්පත් සහ බුද්ධිමත් එක්කෙනෙක්ද කියලා.

 

ගංගා කොහේ කෙනෙක්ද?

ඇය කිරිඳීවැල. මගේ තාත්තාත් කිරිදිවැල ගම් ප්‍රදේශයේ හැදුණේ වැඩුණේ. ඉතින් තාත්තගේ අල්ලපු ගමේ තමයි ගංගගෙ අම්මලා. තාත්තා එහෙම ඇගේ පවුලේ උදවිය දන්නවා. දුරින් පොඩි නෑ කමකුත් තියෙනවා කියලා අපි යාළු වුණාට පස්සේ දැනගන්න ලැබුණා. ඉතින් මේ හිතවත්කම් හින්දා කොයි වෙලාවකදීවත් ගෙවල්වලින් ප්‍රශ්න ඇති වුණාණේ නැහැ.

 

කොහොමද ඔබේ ගුරු ජීවිතය සහ රංගන ජීවිතය ගෙවෙන්නේ?

ඒක මගේ ජීවිතේ ලබපු හොඳ අත්දැකීමක්. ගුරුවරයෙක් කියන්නේ වෙනම අත්දැකීම් සමුදායක් ලැබෙන වෘත්තියක්. කරන්ගොඩ මහා විදුහලයේ තමයි මම උගන්වන්නෙ. ඒක ගමක තියෙන පුංචි ඉස්කෝලයක්. මට කොළඹ ඉස්කෝලවලට එන්නටත් අවස්ථාවක් හම්බ වුණා. ඒත් මම ගමේ ඉස්කෝලෙයි තෝරගත්තේ. අපේ මේ දවස්වල ඔන්ලයින් ඉගැන්වීමේ වැඩ කටයුතු කරනවා. ඔන්ලයින් කරන්න බැරි අයටත් ඒ කියන්නේ ඒ තාක්ෂණ පහසුකම් නැති අයව හොයාගෙන ගිහිල්ලා ඔවුන් ළඟම ගෙදරකට හරි යොමු කරලා අපි ඒ ඔන්ලයින් ක්ලාස් වැඩේ කරනවා. ගුරු වෘත්තිය ඉතා සුන්දරයි. ඒ වගේම මම මේ දවස්වල කොළඹ ඉතාලිය නාට්‍යයේ රඟපානවා.

 

කවදා විතරද විවාහ වෙන්න හිතාගෙන ඉන්නේ?

ඇත්තටම මේ ජූනි මාසේ තමයි අපි හැමෝටම කියලා විභාගයට සූදානමින් හිටියේ. නමුත් ඒක සැප්තැම්බර් වගේ සිදුවේවි. තවම නිශ්චිත දිනයක් නෑ. රටේ වාතාවරණය යම්තාක් දුරට යහපත් වෙච්ච ගමන්ම අපි විවාහ වෙන්න තමයි සූදානමින් ඉන්නේ.