වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
අධ්‍යක්ෂ හා නළුවා අතර සම්භෝගය සාර්ථක නම් බිහිවන්නේ හොඳ චරිතය නමැති දරුවා

පට්පට් ගාලා සම්තිං එකක් ගන්න සූරසේනට මඟ පෑදුණේ සාගරයක් මැද ඉඳන් ආව නිසාය. දශක හතරක් රාස්ස පරාස්සයෙක් ලෙස වේදිකාවේ හිටියත් ඔහු සැබෑ ජීවිතයේ පින්කම්වලට බෙහෙවින් යොමු වූවෙකි. මේ ඒ පරස්පරතා ඔබට වේදිකාවෙන් සිනමාවෙන් සහ රූපවාහිනියෙන් ගෙනෙමින් නව නළු රසයෙන් ආනන්දවත් කර ප්‍රඥාව කරා මෙහෙයවන්නට සතළිස් දෙවසරක් පුරා වෙහෙසුණු ප්‍රවීණ රංගවේදී ශ්‍රියන්ත මෙන්ඩිස් සමඟ සරසවිය වෙනුවෙන් යෙදුණු කෙටි පිළිසඳරකි.
අපි ඔබේ විවාහ සංවත්සරයට මුලින්ම සුබ පතනවා... කතාවට මම ආරම්භයක් දුනිමි.
ස්තූතියි... ඔව්... අවුරුදු 35ක් කියන්නේ විවාහ දිවියක ලොකු ජයග්‍රහණයක්. කුටුම්භය ඒ කියන්නේ අඹු දරුවන් රැකගෙන ඔවුන්ගේ අවශ්‍යතා සමඟ ආදරය මේ වගේ වකවානුවක නොඅඩුව පවත්වා ගන්නවා කියන්නේ අසීරු කටයුත්තක් වුණත් අපි එය මුළු කාලය පුරාම රඳවාගෙන ආවා. තව කාලාන්තරයක් ඒ අයුරින්ම මේ ගනුදෙනුව කරන්න එකඟ වෙමින් තමයි අපි ඉන්නේ (සිනාසී) ඒත් අපට මාධ්‍ය තුළ දකින්න ලැබෙන්නේ වෙනත් දේවල්නේ මේ කාලේ. ඉතින් ඒවා ගැන කලබල නොවී මධ්‍යස්ථව, පැසුණු සිතින් අවබෝධයෙන් යන ගමනක් මෙය.
ඔබ කීවා වගේම මාධ්‍යවල දකින්න අසන්න ලැබෙන දේවල් අනුව කලා ක්ෂේත්‍රයේ නියැළෙන දෙදෙනකු විවාහය සාර්ථකව ගෙන යෑමට බලපාන කරුණු මොනවාද?
සරලවම දෙදෙනාම එකම ක්ෂේත්‍රයේ වීම අපට හරි වටිනවා. මම ව්‍යාපාරිකයකු වෙලා කුසුම් නිළියක් වුණා නම් හෝ ඇය වෙනත් වෘත්තියක නියැළෙන අතර මම නළුවකු වුණා නම් අඩුවැඩි වශයෙන් සමාජීය ප්‍රශ්න අපට බලපාන්නට තිබුණා. ඒත් අප දෙදෙනාම එකම වෘත්තියේ නිසා දෙන්නාම තේරුම් ගන්නවා අපේ රංගනය පවතින්නේ ඇක්ෂන් කට් කියන වචන දෙක ඇතුළේ පමණයි කියලා. ආදරය කළත් වෙන මොන දේ කළත් ඒ සම්බන්ධය එතැනින් අවසන් කරන්න ඕනෑ. හැබැයි කරන රංගනය හරියටම කරන්නත් ඕනෑ. එය තේරුම් ගත්තාම කලාකරුවන්ගේ ජීවිතවල අර්බුද අඩු වෙනවා. ඔබ මේ සාකච්ඡාව කරන්නෙත් අපි දෙදෙනා වේදිකාවේ ආදරය කර අවසන් වූ මොහොතක.
හැබැයි බොහෝ වේලාවට නළු නිළියන් යොදා ගැනීමේදී මම මගේ නෝනාවම යොදා ගත්තාම ප්‍රශ්න අඩුයි. මට ඕනෑ විදිහට ඇය හසුරුවන්න පුළුවන්. ඇයට ප්‍රවාහන පහසුකම්, ඇඳුම් පැලඳුම් ආදී සියල්ල ඇයට සපයන්න මට පුළුවන්. එවිට වෘත්තීමය ජීවිතයත් පහසුයි සාර්ථකයි. අනෙක් පැතිවලින් එන ප්‍රශ්නත් අඩුයි.
මේ වෙද්දි ඔබ දෙපළ මුනුපුරු මිනිබිරියන්ගේ සුරතලුත් බලනවා?
ඔවු. විවාහයේ ලොකුම දායාදය දරුවන්. මගේ දූලා දෙන්නාගෙන් ලොකු දුව විවාහකයි. ඇයටත් දැන් දියණියක් සිටින නිසා අපි දැන් සීයලා ආච්චිලා වෙලා. එයිනුත් අපි විශාල තෘප්තියක් ලබනවා. මොකද ඒකත් ජීවිතේ එක්තරා උසස්වීමක් ලැබුණා හා සමානයිනේ. ඉතින් අපි මේ ගෙවන්නේ ජීවිතේ හරිම සුන්දර අවදියක්. එය දෙවියන්ගෙන් ලැබුණු ත්‍යාගයක් ලෙසයි මම නම් සලකන්නේ.
අපි ඒ සතුටින්ම හැරෙමු නන්නත්තාර දෙසට?
නන්නත්තාරවල හැම දෙයක්ම වෙනස්. එහි අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි නාට්‍යයේ පෙළ අපට ලබා දුන්නාම මමත් මේ ගැන ප්‍රශ්න කළා. ජයන්තත් මමත් අතර තිබෙන්නේ වෙනම මානවීය බැඳීමක්. ඒ වගේම ජැක්සන් ඇන්තනිත් අපේ ඒ බැඳීමේ කොටසක්. එහෙත් ඔහු අද යහනක වැතිර සිටිනවා. අපි සියලු දෙනා ඔහුට නිරෝගී සුවය පතනවා.
ඇත්තෙන්ම අධ්‍යක්ෂවරයා සහ නළුවා අතර සම්භෝගය සාර්ථක වුණොත් තමයි චරිතය නැමැති යහපත් දරුවා බිහිවන්නේ. ජයන්තත් මමත් අතර මෙතෙක් සිදු වූ ඒ සම්භෝග සියල්ල සාර්ථකයි. ඒ නිසා නන්නත්තාර ටෙලි නාට්‍යයේ චරිතයත් අංගවිකල දරුවකු නොවන බව මට නිසැකයි. ජයන්ත කියන්නේ සූර, සූක්ෂ්ම වගේම බොහොම භයානක අධ්‍යක්ෂවරයෙක්. මම එහෙම කියන්නේ ඔහු බොහොම නරුම විදිහට නළුවා සූරාකන නිසා. (සිනාසී) මම ඒ කියූ වචනවල පිටත තේරුම නෙවෙයි ගත යුත්තේ. ඔහු නළුකම අපට යෝජනා කරන විදිහ පිළිබඳවයි එයින් කියැවෙන්නේ. ඔහුගේ මනස් කුහරය තුළ බිහි වුණ චරිතය නළුවාගේ රංගනය සූරාකමින් එළියට ඇද ගන්න ඔහු කෙතරම් දක්ෂවනවාද යන්නයි එයින් මම කියන්න උත්සාහ කළේ. ඒ වගේම ජයන්ත විනයබද්ධ, ක්‍රියාශීලී තමන්ට ඕනෑ දේ කෙසේ හෝ කරගන්න දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. එනිසා ඔහු සමඟ වැඩක් කළ සැමවිටම මට ඔල්වරසන් මැද අර ආඩම්බරකාර පඩිපෙළ නඟින්නට අවස්ථාව ලැබුණා. එනිසා ජයන්ත සමඟ වැඩ කිරීම අමාරු වුණත් හරිම සුන්දරයි.
ප්‍රවීණ රංගවේදී බුද්ධදාස විතානාච්චි සහ ඔබ වසර ගණනාවකට පසු යළි පුංචි තිරයේ?
ඔවු. ඔහු එදා මගේ විරුද්ධවාදී මස්සිනා. අද මගේ උපදේශක. ඒ උපදේශක පුද්ගලයකු හැටියට හරිම යහපත්. එහෙත් ඔහුගේ ක්‍රියාවලියේ ඇතුළාන්තය හරිම භයානකයි. ඔහුගෙන් වගේම මේ නන්නත්තාර කතාවෙන් පෙන්වන්නේ අපේ මේ ජීවිතයේ අනෙක් පැත්ත. සැම මිනිසකුටම ජාගර සිතිවිලි රැසක් තිබෙනවා. ඒවා වසාගෙන සිටින සළු පිලි ඉරාදමා මානවයා සම්පූර්ණයෙන් නිරුවත් කිරීමයි නන්නත්තාර මඟින් ජයන්ත කරන්න උත්සාහ කරන්නේ. මේ ගඳගසන මිනිසුන් අතර නේද අපිත් ජීවත් වෙන්නේ කියලා අපට ප්‍රවෘත්ති බලනකොට පැහැදිලි වෙනවානේ. මේ තරම් දුර්ජන, අධම, ම්ලේච්ඡ අය සමඟද සමාජයේ අපි ගනුදෙනු කරන්නේ කියලා අපටම සිතෙනවානේ. ජයන්ත නන්නත්තාර ඔස්සේ කෝට් ඇඳගෙන ඉන්න මේ මිනිසුන්ගේ අභ්‍යන්තරය විවරණය කරනවා. එය නිර්මාණයකින් පෙන්වීම ඉතාම අසීරු කටයුත්තක්. ඒ නිසාම එහි රඟපෑමත් අමාරු වැඩක්. හැබැයි ඒ කාර්යයට මම කැමැතියි.
ඔබ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂවරයා ගැන කියූ විශේෂණපද සාධාරණීකරණය කරන්නේ කෙසේද?
ඔහු අපට පෙළ ලබා දුන්නේ රූපගත කිරීම්වලට මාසයකට පමණ පෙර සිටයි. ඇතැම් නිර්මාණවල වගේ ඒවා ෆැක්ස් එකේ ඒ වෙලේ ආවේ නෑ. රූගත කිරීම්වලට සූදානම් වෙද්දි උදේ පාන්දරින් අපි නැඟිට මූණකට හෝදාගෙන ලකලෑස්ති වී හැමෝම දිග මේසයකට එක්රොක් වෙනවා. අපි හැමදෙනා අතම තිර රචනය තිබෙනවා. සියලු දෙනා ඒ දිග මේසේ ඉඳගෙන තමන් අද නිරූපණය කරන්න නියමිත දර්ශනය පෙරළගන්නවා. මුලින්ම ජයන්ත අප සියල්ලන්ට ඇහෙන්න ඒ පෙළ කියවනවා. වර්තමානයේ සමහර නළුවන් තමන්ගේ දෙබස් ටික ජංගම දුරකථනයේ දාගෙනනෙ එන්නේ. එහෙම බෑ. සෝමවීර සේනානායක නම් විශිෂ්ට ලේකඛයා නිතර කියූ දෙයක් තමයි පිටපතක එක දර්ශනයක් කියන්නේ මුල මැද අග සහිත එක නාට්‍යයක් වගේ කියන දෙය. ඉතින් ජයන්ත කියවූ පසු අපි පෙළ කියවනවා. එක දෙබසක වචනයක් අකුරක්වත් වෙනස් වෙන්න බෑ. අඩු වැඩි වෙන්න බෑ. ඒ දෙබස, ජයන්තගේ මනස් කුහරය තුළ තැන්පත් වූ දෙබසමයි. එහි හැඩය ගුණය තිබෙන්නේ ඒ වචනවල විතරමයි. කොපමණ වෙලාව ගියත් ඔහු තකන්නේ නෑ. අද දර්ශන කීයක් ගන්න තිබෙනවාද කියන දෙය ඔහුට වැදගත් නෑ. ඔහු සතුටු වනතුරු අපි ඒ දෙබස් කිව යුතුයි. ඊට පසුවයි අපි අංගරචනය කර දර්ශන තලයට යා යුත්තේ. එහෙම නැතිව කාර් එකෙන් බැස්ස ගමන් මෙක්අප් දාලා කටට එන දෙබස් කියන්න බෑ. එහෙම කළ නිසානේ ප්‍රේක්ෂකයා සාලේ පුටුවෙන් නැඟිටලා යන්න පුරුදු වුණේ. පළිඟු මැණිකේ කියන්නේ රූපවාහිනියේ තුන්වැනි ටෙලි නාට්‍යය. එය ලංකාවේ ජනගහනයෙන් සියයට 70ක් නැරඹුවා. අපි නන්නත්තාර ඔස්සේ කරන්න යන්නෙත් නැවත ටෙලි විෂනයේ අලුත් මානයක් සොයා යෑමයි. එය සාර්ථක වෙයි කියා සිතෙනවා.
නළුවා මැටිපිඩක් විය යුතුයැයි සමහරු කියනවා. එහෙත් නිකම්ම මැටි නළුවන්ට රඟපෑමක් නැතැයි තවත් අය කියනවා? කොහොමද ඔබ මේ මැටිපිඩ පදම්කරගන්නේ?
නළුවකු චරිතයට ආරූඪ වනවා, සමාරෝපණය වනවා, ආවේශ වෙනවා ආදි වශයෙන් අපි කියන්නේ චරිතය සමඟ එකඟ වීමයි. මේ පුද්ගලයා තමන්ගේ වෘත්තියෙන් සන්නද්ධ විය යුතුයි. ඒ සඳහා ඔහුට පරිචයක්, හැදෑරීමක් තිබිය යුතුයි. රංගනය කියන්නේ සම්පූර්ණයෙන්ම ශාස්ත්‍රාලීය කටයුත්තක්. ඒ අවබෝධය නොතිබුණොත් ශරීර අභ්‍යන්තරයේ ප්‍රශ්නවලට පවා මුහුණ දෙන්න ශිල්පියාට සිදුවන්න පුළුවන්. ඒ නිසා තමයි නළුකම අධ්‍යයනය කළ යුත්තේ.
මම ගෙදරදී චරිතය හදාරලා ඒ පිළිබඳ කරුණු සොයාගෙන මට අවශ්‍ය පරිදි චරිතය හදාගන්නවා. මොකද නළුවා අධ්‍යක්ෂවරයාගේ මැටි පිඩක් වගේ කීවට අර කීවා වගේ නිකම්ම ගොම්මැටි වෙන්න රංගශිල්පියකුට බෑ. පදම් වුණ මැට්ටෙන් අඹන චරිතය හරි ලස්සනයි. පදම් වූ මැටිවලින් පදම් වූ මිනිසෙක් හදන්න පුළුවන්. රංගනය ඇකඩමික් කියන්නේ ඒ නිසයි.
වර්තමානයේ රංගනය උගන්වන පාසල් හරියට තිබෙනවා. ඒ අය මේ දේවල් කොයිතරම් ඉගෙනගෙන රංගනයට සම්බන්ධ වෙනවාද කියන එක නම් හැබැයි අපි දන්නේ නෑ.
ඔබ රංගනය හැදෑරූ අයෙක්?
ඔවු. මම නෝබට් ජෑන් මයර් නම් ජර්මන් ජාතික ගුරුවරයාගෙන් මුලින්ම රංගනය හැදෑරුවේ. ඔහු කීවේ හොඳ නළුවෙක් වන්න කලින් හොඳ මිනිහෙක් වෙයන් කියලා.
මොන විදිහට රංගනයට ආවත් කැපවීම අත්‍යවශ්‍යයි. මගේ මුල්ම සිනමා රංගනය කළේ ගාමිණි ෆොන්සේකා මහත්මයාගේ සාගරයක් මැද චිත්‍රපටයට. ඒ කාලේ අපි පැඟිරෝ. දුහුනෝ. එතුමා මගේ දිහා බලලා කීවා ‘හ්ම්... හොඳ මුහුණක්. හොඳට හිටියොත් දුර ගමනක් යන්න පුළුවන්‘ කියලා. ඒකෙ තේරුම මොකක්ද? හොඳට ඉන්නවා කියන්නේ පස්පවු දස අකුසල් නොකිරීමම නෙවෙයිනේ.... මේ ක්ෂේත්‍රය තුළ ගෞරවාන්විත වන්න බොහෝ දේ තිබෙනවා. පස්සේ තමයි මටත් ඒ දේවල් තේරෙන්න ගත්තේ. අපි අපේ ක්ෂේත්‍රය පිළිබඳ මීට වඩා ගෞරවාන්විතව සිතන්න ඕනෑ. මම මගේ පන්තියෙන් ඉහළ අයට වගේම පහළ අයටත් ගෞරවය ලබා දෙනවා. එවිට තමයි අපට ගෞරවාන්විතව ඉන්න පුළුවන් වන්නේ. මම හොඳම නළුවා සම්මාන 21ක් වේදිකාව, සිනමාව සහ ටෙලි නාට්‍ය කියන ක්ෂේත්‍ර තුනෙන්ම ලබා තිබෙනවා. එත් මම ‘පොර‘ කියලා කවදාවත් හිස උදුම්මගෙන නෑ. අපි වර්තමාන පරපුර අපේ දරුවන් වගේ අයත් සමඟත් කිසි භේදයකින් තොරව සහයෝගයෙන් කටයුතු කරනවා. වසර 42 ක් පුරා මාධ්‍ය තුනේම ගමන් කරන්නේ ඒ ආකාරයෙන්. ඒක මට හරි සතුටක්. මම මානවයෙක් ලෙස කළ යුතු වැඩ කොටසක් මේ සංසාර ගමන තුළ තිබෙනවා. එය අවසන් කළ යුතුයි. ඒ නිසා ඒ කොටස ඉටු කරමින් මම හොඳ මිනිසා සොයාගෙන යන චාරිකාවක යෙදෙනවා.
ඒ ක්ෂේත්‍ර තුනෙන් ඔබ වඩා ළෙන්ගතු කුමකටද?
ඔය ක්ෂේත්‍රත්‍රයම හරියට දරුවෝ තිදෙනෙක් වගේ. ඒ නිසා ක්ෂේත්‍ර තුනටම මම ළෙංගතුයි. ඒත් අද විෂයය නිර්දේශයට පවා අයත් නාට්‍යයක් තමයි මම මේ රඟපාමින් ඉන්නේ. රාස්ස පරාස්ස. මීට වසර 42කට පෙර මම එහි රඟපාන්න ගියේ. අදටත් මම එහි රඟපානවා. මම හිතන්නේ කවුරුත් නැතිව ඇති එහෙම එකම චරිතයක් මේ තරම් කාලයක් රඟපාන. අද මම එය රඟපාන්නේ ගෞරවයක් වශයෙන්. රෝහණ දන්දෙණියගේ මනස් කුහරයේ ඇතිවුණු ඒ චරිතය පසුව විමලරත්න අදිකාරී 80 දශකයේ රාස්ස පරාස්ස නමින් ගෙනැත් හොරණ උඩුව ප්‍රදේශයේ රූගත කරලා රූපවාහිනියේ පෙන්වූයේ. ඒ කාලේ තමයි පළිඟු මැණිකේ රූපවාහිනියට එන්නේත්. ධම්ම ජාගොඩයන් කියා තිබෙනවා එහි සූරසේන චරිතයට ‘අර පරාස්ස කතාවේ යකාව හොයලා දෙනවාකො අයිසේ‘ කියලා. ඉතින් සූරසේන තමයි මගේ හිතේ රැවුපිළිරැවු දෙන්නේ. අද මම පූර්ණක යක්ෂයාගේ චරිතය කරන්නේ ගෞරවයක් ලෙස කීවේ එහි ප්‍රධාන චරිතය කරන්නේ අපේ නාට්‍ය පාසලින් උගත් දරුවකු වීම නිසයි. අපි ඊළඟ පරපුරත් බද්ධ කරගෙන මේ ක්ෂේත්‍රයේ කටයුතු කරන්නේ ඒ ආකාරයටයි. අපේ දරුවන්ට, අපේ ජනතාවට සමීපව කටයුතු කරද්දි ඔවුන්ගේ අත්පොළසන් හඬින් අපි නිරෝගී වනවා ශක්තිමත් වනවා. ඒ නිසා දෙබස් මතක හිටින තාක්කල් මම වේදිකාවේ රැදෙන්න කැමැති ඒ සජීවී ගුණය නිසා. එය හරියට තිත්ත කුසලානය අමෘතය සේ පානය කරනවා වගේ.
මේ ක්ෂේත්‍රවල රංගනයේ වෙනස ඔබ දකින්නේ කෙසේද?
ඒ ඒ ක්ෂේත්‍රවලට රංගනයේ හැඩතල තුනක් තිබෙනවා. ඒත් හැඟීම එකයි. මගේ හදවතට දැනෙන දේ එකයි. ආකෘතිකමය වශයෙන් වෙනස්. ටෙලි රූපරාමුව ඉතා කුඩයි. සිනමා රංගනයේදී නළුවාටත් තාක්ෂණික ඥානය තිබීම වැදගත්. වේදිකාව සජීවී බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
ඔබ ජ්‍යෙෂ්ඨ ශිල්පියකු ලෙස රූපවාහිනියේ ඇතැම් නිර්මාණවලට දායක වීම පිළිබඳ විවේචන තිබෙනවා?
ලෝකේ විවිධ චරිත වර්ග තිබෙනවා. හාස්‍ය, ශෝකාන්ත, ඛේදාන්ත, පවුලේ කතා ආදි වශයෙන් වගේම ඒවයේ නව නළු රසයෙන්ම රඟන්න අවස්ථා තිබෙනවා. මම මේ දිනවල තාත්තාගේ චරිතය කරනවා එක නාට්‍යයක. තවත් එකක මැරයාගේ චරිතය කරනවා. හෙට අනිද්දා එනවා මෝඩ මැරයෙකුගේ චරිතයක්. තව එකක් කොමඩි මැරයෙක්. තවත් එකක මැර විතරයි. ඉතින් ප්‍රේක්ෂකයාට පුළුවන් තමන් කැමැති චරිතය තිබෙන නාට්‍යයක් නරඹන්න. ඒත් අපට රංගන ශිල්පීන් ලෙස වෘත්තීයමය ස්වභාවය, හැඩය අනුව වගේම ආර්ථික අර්බුදය අනුව වැඩ කරන්න සිදුවනවා. ඒ කොයි දේ ලැබුණත් එය රහට කරන්න පුරුදු වෙන්න ඕනෑ. ඒකයි මම කලිනුත් කීවේ රංගනය ශාස්ත්‍රාලීයයි කියලා.
මෙගා නිර්මාණ ගැන ඔබේ අදහස?
අපි ඉන්නේ ආර්ථික අවපාතයක. රට තුළ එවැන්නක් ක්‍රියාත්මක වෙද්දි විනෝදාස්වාදය සඳහා ඇති තැන්වලට ජනතාව යන එක නතර වෙනවා. ඒ වෙලාවට කලාව වැඩක් නැත කීවාට කලාවෙන් වැඩක් ඇත. යහපත් දරුවෙක් බිහි කරන්න කලාව ඕනෑ. කලාව මානසික ආහාරයක්. එය මෙගාද නැත්ද යන්න වැඩක් නෑ. කොටස් කීයද කියලා තීරණය කරලා ලක්ෂ ගණනක් බලන මාධ්‍යයක පුන්නක්කු දෙන්නත් බෑනේ. ඒ නිසා චූටි හරි පණිවිඩයක් දෙන්න පුළුවන් නම් මිනිස්සු එය බාර ගන්නවා. 1965 යුගයේ ගුවන්විදුලි කොමිසන් සභාව පැවසුවා රූපවාහිනී නාලිකා ප්‍රධානීන් බුද්ධිමත් නොවුණොත් විශාල අර්බුදයකට රූපවාහිනිය මුහුණ පානවා කියලා. වසර හැටකට කලිනුයි ඒ කීවේ අද දවසේ සිදු විය හැකි දේ ගැන අනාවැකිය. ඒ නිසා තමයි අපි හොඳ දෙයක් නිර්මාණය කරන්න උත්සාහ කළ යුත්තේ. නළුවා සතු යුතුකමත් ඒ යහපත් දේ සඳහා උපකාර කිරීමයි.
ඔබ සිනමාවටත් සම්බන්ධයි?
චිත්‍රපට ගැන කතා කරද්දි පාස්කු ප්‍රහාරය නිසා ප්‍රේක්ෂාගාරය අහිමි වුණා කියලා කොටසක් කියද්දි තවත් අය කියනවා ඊට පෙර සිට සිනමාව පසුබැස්සා කියලා. කොහොම වුණත් අපට ඒ අර්බුදකාරී සමයෙන් පසු දිගින් දිගටම අපේ රාත්‍රී සමාජය අහිමි වුණා. මිනිස්සු සවස 6 -7 වෙද්දි ගෙවල් ඇතුළට රිංගා ගන්න පුරුදු වුණා. චිත්‍රපට ශාලා වැසී ගියා. ඒත් අපට අතහරින්න බෑ. නැවත ප්‍රේක්ෂාගාරය ගෙන්වා ගත යුතුයි. අපි ඉතිහාසය හඳුනා ගතහොත් ටෙලිවිෂනය ලෝකේ ව්‍යාප්ත වෙද්දි චිත්‍රපට අඩුවුණා. එවිට චිත්‍රපටකරුවන් ටෙලි විෂනයෙන් ලබන්න බැරි අත්දැකීම් වන ටයිටැනික්, ස්ටාර්වෝස් වැනි චිත්‍රපට හදන්න ගත්තා. යුගයේ අඅවශ්‍යතාව සමඟයි චිත්‍රපට හදන්න ඕනෑ. එවිට නැවත චිත්‍රපට බලන්න ප්‍රේක්ෂකයන් රොක් වෙනවා. ඒ සඳහා නව සංකල්ප, වස්තු බීජ, ප්‍රස්තුත අවශ්‍යයි. ඒවායේ පෙළ හරියට ලියැවීමත් අවශ්‍යයි. අද ප්‍රේක්ෂකයාට පරණ ආකෘතියෙන් චිත්‍රපට හදලා වැඩක් නෑ. අලුතෙන් හිතන්න පුළුවන් නව අධ්‍යක්ෂවරු, නළු නිළි පරපුරක් අපට ඉන්නවා. දැන් අවශ්‍ය බලධාරීන් ඒ ගැන අවධානය යොමු කිරීමයි.
නව පරපුරේ නිර්මාණ පිළිබඳ ඔබේ අදහස?
අපි ස්වර්ණමය යුගය ලෙස හඳුන්වන 70 දශකයේ දුහුනන් කාලේ චිත්‍රපට බැලුවේ ශාලාවල දොරවල් කඩාගෙන ගිහින් බැල්කනිවල මකුණො කකා. ඒ බයිස්කෝප් පිස්සුවට. ඒත් වර්තමානයේ ආත්ම ප්‍රකාශන පමණක් හදන පිරිස එය ගෙදර ඉඳගෙන හුදෙකලාව උලෙළවලට යොමු කරලා සම්මාන දෙකක් විතර අරගෙන සැනසෙනවා. ඒවා මහා පරිමාණයෙන් ජනාකර්ෂණය දිනා ගන්නේ නෑ. ඒ ඇයිද මන්දන්නේ නෑ.
අපි හැත්තෑව දශකය හඳුනා ගන්නවා නම් ඉතිහාසයේ විච්ඡේදනය කරලා වර්තමානයේ නැවත ජනාකර්ෂණීය සිනමාවකට යන්න පුළුවන්. එහෙම අධ්‍යක්ෂවරු කර්මාන්තයට අත්‍යවශ්‍යයි සිනමාවෙන් ගිලිහී ගිය ප්‍රේක්ෂකයන් යළිත් අසුන් මත ඇද බැඳ තබන්න.
ඔබ මේ වනවිට තනතුරු කීපයකුත් දරනවා?
මම ඉතිහාසයේ ගුරුවරයකු ලෙස අවුරුදු 33ක් සේවය කළා. විවිධ ආයතනගතව වැඩ කළා. 2010-2015 කාලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලයේ සහ කලා මණ්ඩලයේ සභාපතිධුර දරමින් කටයුතු කළා. මේ වෙද්දි නාඩා නැතහොත් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ සභාපති ලෙසත් කටයුතු කරනවා. අප සැමවිටම නියැළෙන්නේ ජනරාශී ඒකරාශී කර මුදල් එකතු කිරීමේ ක්‍රියාවලියක. චිත්‍රපටවලට වුණා වගේම නාට්‍යවලටත් සමාජීය ප්‍රශ්න නිසා සෙනඟ ආවේ නෑ. අපි කරන්නේ විකුණුම් ක්‍රියාවලියක්. එහිදී කලාකරුවන් දෙස අපට සානුකම්පිතව බලන්න සිදුවනවා. මොකද ඔවුන්ටත් මේ ප්‍රශ්නය එකම විදිහට බලපෑවා.
මේ සියල්ලට පිළිතුරු ලෙස අපි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඉදිරියටත් ඒ ක්‍රියාවලිවල කොටසක් ලෙස දෙසැම්බර් 8 වැනිදා සිට 11 වැනිදා දක්වා තියෙටර් 7 පොළ ලෙස කලාපොළක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. සංගීත සන්දර්ශනයකුත් පවත්වන්න පියවර ගනිමින් ඉන්නවා.
ආර්ට් ඇන්ඩ් ලයිෆ් නාට්‍ය වැඩමුළුව කොවිඩ් නිසා අඩාළ වුවත් අපි යළි එය ආරම්භ කරන්නට කටයුතු යොදනවා. ඒ වගේම නිර්මාණ කාර්යයන්ට අමතරව අපි නාඩා ආයතනයෙන් විවාහ මංගල්‍ය සඳහා පැකේජයක් ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. එහිදී අෂ්ටක, ජයමංගල ගාථා, වීඩියෝ, නිශ්චල ඡායාරූප ආදිය ඇතුළත්ව සේවා සැපයීමට අපේ ආයතනය සැදී පැහැදී ඉන්නවා. කලාකරුවන්ට මෙන්ම සමස්ත සමාජයට මේ ආයතනය හුරු කරවීමයි එහි අරමුණ. සියලු දෙනා ගරු කරන ප්‍රිය කරන තැනක් බවට මේ සෞන්දර්ය නිකේතනය පත් කිරීම අපේ වගකීම.
ඒ වගේම විවිධ සමාජසේවා කටයුතුවල යෙදෙන්නත් මම කාලවේලාව සොයා ගන්නවා. මගේ තනි හිතයි මමයි ඒවා ක්‍රියාත්මක කරනවා. පුණ්‍ය කටයුතු කරනවා. වයසින් මුහුකුරා යද්දි ඒවාත් එපැයි ඈ...(සිනාවක්) කොරෝනා සමයේ අපි කලාකරුවන් 300කට නොමිලේ එන්නත් ලබා දුන්නා. අවුරුදු සමයට කලාකරුවන්ට වියළි සලාක ලබා දෙනවා. සිංහ සමාජය සමඟ එක්ව බඩු මලු, රෝදපුටු ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා. මේ වගේ බොහෝ දේ කළත් ඒවා මුහුණු පොතේ හෝ වෙනත් තැන්වල සටහන් කරන්න මම සූදානම් වුණේ නෑ. මොකද ඒවා කර්තෘ අඥාත ප්‍රකාශනනේ. පුළුවන් තරම් අනෙක් අයව විවේචනය කරන අය තමන් සමාජය කළ සේවය කුමක් ද කියා පළමුව සිතිය යුතුයි. එනිසා මගේ සිතට එකඟව මම කරන ඒවා මගේ පින් පොතට පමණයි. මගේ සිතිවිලි සමඟ ඒවා විශ්වයේ සැරිසරනවා ඇති. කවදා හෝ මම විශ්වයේ සැරිසරන විට ඒවා මට සිහිවේවි.
ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කියමු?
ස්වාධීන රූපවාහිනියේ අලුත් නිර්මාණයකින් ඉදිරියේ ප්‍රේක්ෂකයන් හමුවන්නට සූදානම්. ධවල ගොසරෑවිය නමින් අශෝක ආතාවුදහෙට්ටි නිර්මාණය කිරීමට නියමිත ටෙලි නාට්‍යයට බරපතළ ලෙස කැප වීමට සිදුවෙනවා ලබන වසරේ රූගතකිරීම්වලදි. ඒ අතර වේදිකා නාට්‍යත් කරමින් ඉන්නේ. චිත්‍රපට නම් තරමක් අඩුයි. ඒ හැරුණාම මිනිසාට සේවය කරන මිනිසුන් ඇති යහපත් සමාජයක් බිහි කිරීමට යහපත් අරමුණු ඇතිව අපට හැකි දෙයක් කිරීමයි අප කරමින් ඉන්නේ.
සේයාරූ - නිශ්ශංක විජේරත්න