අපේ වැඩවලින් සමාජයට මෙහෙවරක් ඉටුවෙන්න ඕනෑ

ජුනි 1, 2023

 

 

සමාජීය වශයෙන් මතු වන බොහෝ කාරණා නූතන සමාජ මාධ්‍ය ඔස්සේ වේගවත් ජන අවධානයකට ලක්වීම නැවැත්විය නොහැකි වී ඇත්තේ එකී මාධ්‍ය එකිනෙකට නොදෙවැනි වූ ස්වකීය අනන්‍යතාවන් ගොඩනඟා ගනිමින් ඉතා සියුම් හා නිර්මාණාත්මක ලෙස එකී කාරණා ඉදිරිපත්කරන බැවිනි. එසේ ඉතා සියුම් නිර්මාණ ශෛලින් ඔස්සේ සිය පණිවිඩය ප්‍රේක්ෂකයා වෙත යොමුකළ සුවිශේෂ නිර්මාණකරුවන් තිදෙනකු සිය සමාජ මාධ්‍ය හැසිරවීම පිළිබඳ අද කතා බහට එක් වේ.

මේ වනවිටත් විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් නිර්මාණ රාශියක් ඉදිරිපත් කර ඇති ඔවුන් මරු ත්‍රිබල ලෙස හැඳීන්වූ පමණින් ඔබට හඳුනාගත හැකි වනවාද ඇත.

ධම්මික සියසූරිය, අසිත් අශේන් හා මයුර මහේෂ් ‘මරුත්‍රිබල’ යූ ටියුබ් චැනලයේ නිර්මාපකයන් ලෙස, පවතින සමාජීය කාරණා ‘මරු ත්‍රිබල’ සිය යූ ටියුබ් මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන්නේ කෙසේදහා එහි අරමුණු පිළිබඳ කළ පැහැදිලි කිරීමකි මේ

 

 

ඔබේ යූටියුබ් චැනලය පිළිබඳ මුලින් කතා කරමු

මරු ට්‍රිබල ලෙසින් තමයි අපේ යූ ටියුබ් චැනලය ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන් කොවිඩ් අවධියේ අපේ ව්‍යාපාර කටයුතුවලින් මදක් මිදී ඉන්න කලයේ තමයි අපට මෙබඳු දේකට යොමුවෙන්න මුලින්ම් අදහසක ඇති උණේ අපේ මූලික අවධානය යොමුවන්නේ හාස්‍යමය අංශයෙන් නිර්මාණ කිරීමටයි. එහිදී සමාජයමය පණිවිඩයක් දෙන්නත් ඒ වගේ සමාජයේ කාලීන සිදුවීම් ගැන කතා කරන්නත් තමයි අපි මූලිකව අවධානය යොමුකර තිබෙන්නේ ඉදිරියේ අපේ නිර්මාණ තවත් සුවිශේෂීව ප්‍රේක්ෂකයන්ට වඩා සමීප වන ආකාරයෙන් ඉදිරිපත් කරන්න තමයි අරමුණු කරගෙන ඉන්නෙ.

මරු ට්‍රිබල යූටියුබ් චැනලයේ ඔබේ කාර්ය භාරයන් කොහොමද සැලසුම් වෙන්නේ?

මෙහි කටයුතු සියල්ලක් සැලසුම් නිර්මාණ කරන්නේ හා ඉදිරිපත් කරන්නේ අපි තිදෙනා විසින්මයි. කතාව සැලසුම් කිරීමේ සිට පිටපත ලිවීම, නිරූපණය, සංස්කරණ කටයුතු සිදු කිරීමේ සිට සියලු අංශවල කටයුතු මෙහෙයවනු ලබන්නේ අප තිදෙනාමයි. ඒ සියල්ල අපේ අත් දැකීම් තුළින්ම ගොඩා නඟාගත් දේවල් වීම විශේෂයි.

චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඇති ඔබේ අදහස පිළිබඳත් කතා කරමු?

ඔව්. අපට චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අදහසකුත් තියෙනවා. එයත් ටිකක් සුවිශේෂ කාර්යයක්. මොකද එය රූගත කරන්න බලාපොරොත්තු වන්නේ ජංගම දුරකතනය ඔස්සේයි. ච්ඍච් චිත්‍රපටයක් විදියට කරන්න බලාපොරොත්තු වන මෙය සුපුරුදු ලෙස අප තිදෙනාගෙ අත්දැකීම් හා අදහස් කැටිකොට නිර්මාණය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.

මෙබඳු නිර්මාණ හරහා ඔබට විශාල සමාජ සත්කාරයන් පවා ඉටුකරන්ටත් ඉඩකඩක් නිර්මාණය වී තිබෙනවා නේද?

ඔව්. උදාහරණයක් විදියට ප්‍රවාහන අධිකාරිය වෙනුවෙන් අපට ලස්සන නිර්මාණයක් කර දෙන්න හැකි වුණා. ඒ හරහා මිනුවන්ගොඩ කොළඹ දිවෙන මාර්ග අංක දෙසිය හැටපහ බස් සේවාව කාර්යක්ෂම සේවාවක් බවට පත් කර දෙන්න අපේ නිර්මාණය දායක වුණා. එය අපේ මරු ති‍්‍රබල යූටියුබ් චැනලය ඔස්සේ වාගෙම අනෙකුත් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුණ නිසා ඒ ගැන බොහෝ දෙනෙක් කතා කළා.

මරු ත්‍රිබල නිර්මාණකරුවන් ලෙස ඔබ වෙන් වෙන්ව ගන්න කැමැතියි. මයුර මහේෂ් ඔබේ තොරතුªරු කතා කරමු.

මම මයුර මහේෂ්. චිත්‍රපට හා ටෙලිනාට්‍යවලට සම්බන්ධයි. සටන් නළුවකු හා සටන් අධ්‍යක්ෂවරයකු විදියටත් කටයුතු කරන කෙනකු විදියටයි වැඩි දෙනකු ක්ෂේත්‍රයේ දන්නේ. ඒ වුණත් දැනට වෙනත් රැකියාවක නිරත වන නිසා කලාවේ නිරත වන වෙන්න තියෙන කාලය නම් සීමිතයි. කෙසේ වෙතත් මරු ත්‍රිබල සාමාජිකයකු වීම පිළිබඳ විශාල සතුටක් ඇති බව තමයි මේ වෙලාවෙ විශේෂයෙන් කියන්න කැමති.

අසිත් අශේන් ඔබේ තොරතුරු මොනවාද?

මම මගේම ව්‍යාපාරයක මේ වන විට නිරතවී ඉන්නේ. ඒ අතරේ සංගීත කණ්ඩයාමක (සිග්නේචර් සංගීත කණ්ඩායමේ) වාදක ශිල්පියකු විදිහටත් කටයුතු කරනවා. මම ඩ්‍රම්ස්, ඔක්ටපෑඩ් වාදනය කරන අතර තුර ගීත ගායනයේ තමයි මූලිකව කරන්නේ. මේ වෙද්දි මම මගේම ගීත කීපයකුත් නිර්මාණය කර තිබෙනවා. ඒ ගීතත් ඉදිරියේදි ඉදිරිපත් කරන්න කැමැත්තකින් ඉන්නවා. ඒ අතර චිත්‍ර ශිල්පයකු විදියටත් මට රසික අවධානයක් තියෙනවා.

ධම්මික සියසුරිය කොහොමද ඔබව හඳුන්වා දෙන්නේ?

මරු ති‍්‍රබල පිටපත රචනා වෙන්නේ මගේ අතින්. ඒ අතර ගීත රචනයත් මා අතින් සිදු වෙනවා. ගීත ගායනයටත් නැඹුරුවක් තියෙන නිසා ඒ පිළිබඳත් උනන්දුවක් ඇතිව කටයුතු කරනවා.

මරු ත්‍රිබල නිර්මාණ ගොඩනැඟෙද්දී මතකයෙන් බැහැර නොවූ අත්දැකීම් පිළිබඳත් කතා කරමු.

වතාවක් මරු ත්‍රිබල යූටියුබ් නිර්මාණයක් රූගත කිරීම වෙනුවෙන් අපි අල්ගම ප්‍රදේශයේ දිය ඇල්ලක් වෙත ගමන් කර එහි අපේ රූගත කිරීම් සිදු කළා. එහි අපි පැය ගණනක් පුරා මුළුමනින්ම අපේ රූගත කිරීම සිදු කර අවසන් කොට නැවත පැමිණෙද්දී කිසිදු පුද්ගලයකු ඒ අවට නොසිටීම පිළිබඳ අප විමතියට පත්වුණා. රූගත කිරීමේ කාලය පුරා එහි සිටියේ අප පමණයි.

කෙසේ වෙතත් රූගත කිරීම් ඉවර කර නැවත පැමිණෙන විට ගම්වාසින් පුදුමයට පත්ව සිටින ලෙසක් අප දුටුවා. ඔයාලා මොකක්ද කළේ. ඔය හරියේ කිඹුල්ලු ඉන්නවා.අපි නම් ඔය ඇල්ලට බහින්නෙත් නෑයි ඔවුන් කීවා. ඇත්තටම ඒ වනවිටත් අප එහි පැය දෙක තුනක් ගත කර තිබුණා. ඒ වගේ අපි ඕනෑම රූගත කිරීමකට ඒ ඒ දර්ශනතල මැනවින් තෝරා බේරා ගන්න සෑම විටම උත්සුක වෙනවා. කලබලේට, හදිසියට, තේමාවට අනුකූලව නොවන පසුබිම් රූගත කිරීම් සඳහා යොදා ගන්නේ නැහැ. මෙය අපේ සතුට වෙනුවෙන් ආරම්භ කළේ.නමුත් අපේ නිර්මාණ හැම විටම හරියට කරන්නයි අපි උත්සුක වන්නේ. මිනිත්තු කීපයක දර්ශනයක් වෙනුවෙන් වුණත් අදාළ දර්ශන තල උපයෝගී කරගනිමින් නිර්මාණයක් හරියටම කරන්නයි අපි නිතරම කැප වෙන්නේ. ඊට වැය වන කාලය, මහන්සිය හෝ මුදල ගැන අපි හිතන්නේ නැහැ. මොකද එහෙම කළොත් විතරයි නිර්මාණයක් ගුණාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. අපි හැම විටම අපේ නිර්මාණ ගැන ගොඩක් සැලකිලිමත්. අපි ඉදිරිපත් කරන හැම නිර්මාණයකම තේමාවේ සිට ඉදිරිපත් කිරීම දක්වා සෑම පියවරක් තෙක්ම මනා කැපවිමක් දරනවා. එය අපට විඩාවක් නොවේ සතුටක්. අන් අයට මේ නිර්මාණ ඉදිරිපත් කරන්නේ අපිත් ඉන් විශාල සතුටක් ලබමින්. අපට ඕන මිනිස්සු මේ ගෙවන රළු දිවිය මැද ඔවුනට එක මොහොතකට හෝ සතුටක් ගෙන දෙන්නයි. ඒ වගේම ඉදිරියේදී වඩා නවීන මෙවලම් යොදා ගෙන හොඳ නිර්මාණ ටිකක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්නයි. ඒ වගේ ම වෘත්තීය මට්ටමින් මෙය තව තවත් දියුණු කරන්නයි. මේ වන විටත් අප සමඟ විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා. විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ පිළිගැනීම අපට ඉතා වැදගත්.

විශේෂයෙන් නිර්මාණකරුවන් තිදෙනෙක් විදිහට එක්ව කටයුතු කරමින් සතුට විමෝදාස්වාදය සමඟ අවිවේකීව දුවන සමාජයට පණිවිඩයක් දෙන්න දරන මේ උත්සාහය තවදුරටත් වර්ධනය කර ගැනීමයි අපේ මූලික පැතුම වෙන්නේ.

 

 

සමුද්‍රිකා වර්ණකුල

[email protected]