වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
පොපිමල් දිනයට 27 දෙනෙකු ගැයූ ගී තුනක්

මෙම මස එකළොස් වැනිදාට යෙදෙන පොපි මල් දිනය නිමිති කරගනිමින් ඇන්ටන් ජේ.ප්‍රනාන්දු විසින් රචනා කළ ගීත කිහිපයක් එළිදක්වා තිබේ.
ඔහු ලියූ පළමු පොපි මල් ගීතය වූ “පළදින්න එක පොපි මලක් ” නිර්මාණ වන්නේ මෙරට ජනප්‍රියම ගායක ගායිකාවන් 27 දෙනෙකුගේ දායකත්වය තුළිනි. ඒ, විශාරද අමරසිරි පීරිස්, අයිවෝ ඩෙනිස්, කලාශූරී ලතා වල්පොල, ටී. එම්. ජයරත්න, විශාරද එඩ්වඩ් ජයකොඩි, මෙල්රෝයි ධර්මරත්න, මැක්ස්වෙල් ධර්මරත්න, ක්‍රිස්ටි ධර්මරත්න , රූකාන්ත ගුණතිලක, කීර්ති පැස්කුවල්, රාජු බණ්ඩාර, ලක්ෂ්මන් හිල්මි, විශාරද චරිතා ප්‍රියදර්ශනී, ප්‍රදීපා ධර්මදාස, සූරියකුමාර් මුත්තලගේ, එස්. කලාවතී, අනුර සේනානායක, රජිව් සෙබස්තියන්, භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, දුෂ්‍යන්ත වීරමන්, සංඛ දිනෙත්, තීක්ෂණ අනුරාධ, රමේෂ් උවයිස්, මහේෂ් ජයවර්ධන හා කෞශල්‍ය සාරානාත් කෝනාර යන ශිල්පීන් සමූහයයි. මෙම ගීතයේ සංගීත නිර්මාණය හා සංගීත සංයෝජනය කරන ලද්දේ මහේෂ් ජයවර්ධන විසිනි.
බෙදී වෙන්වුන යුග නිමා කරමින් - සැදී එකමුතු එක ධජෙ සෙවනින්
නොදී රුපුනගේ සිතලු සුන් කරමින් - මිදී අපි ඉමු එකලු වී සතුටින්
ඒ අපේ විරුවන් නිසා - දිවි පිදූ සොයුරන් නිසා
පළදින්න එක පොපි මලක්
දිවි පිදූ රණවිරුවන් සිහි කරමින්
රුපුන් හා යුධ වැඳුණු මුත් අප
අපම වැනි උන් හා
හිතට දිරි ගෙන මාන කෙරුවේ
දැයේ යහ උදෙසා
පලදින්න එක පොපි මලක් //
හෙළබිමේ නාමෙන් දිවි පිදූ විරුවන්ටා
දේශයේ දැවි වේදනාවන් - මිහිතලෙන් ඈතට ගියා
පින්බිමේ අභිමන් තකාපණ පිදූ විරුවන් නිසා
පලදින්න එක පොපි මලක් //
හෙළබිමේ නාමෙන් දිවි පිදු විරුවන්ටා
මන්කාත එම් වීරර්හලේ
විර්කාන්ත සෝදරර්හලායි
ඉන්රු අනිවෝම් පොපිමලරේ
උයිරිනෛයි මට්ට වීරර්හල්
නිනෛයි වාන්ජලී
පොපි මල් දිනය වෙනුවෙන් යුද විරුවන් සමරමින් නිර්මාණය වූ දෙවන ගීතයේ තනුව ලලිත් කුමාරගෙන් වන අතර සංගීතය හා ගායනය අසංක ශ්‍රී දිසානායක ප්රමුඛ ස්පන්දන සංගීත කණ්ඩායමයි.
තවකෙකු වෙනුවෙන් දිවිදුන් - ඒ උත්තම සොයුරන්ගේ
හද ගැහෙන නදින් පිපිදී
හිරු නැග එන හෝරාවේ - හිරු බැස යන හෝරාවේ
සිහි කරමු සැවොම එක්වී
ලෝහිත මල් දම් පළදා
යුතුකම් අපි ඉටු කරලා
කිසිදින නොමැරෙන විරුවෝ - ඒ අපෙ රණවිරුරෝ
අමතක නොම වෙන දරුවෝ - නිති අපි සිහි කෙරුවෝ
රුපුණගේ ඔද තෙද බල බිඳුවෝ
දිනු රට දැයේ ඉටු දිවියෝ
සිත සැනසුම නිති පැතුවෝ - සැනසෙන්න සදා විරුවෝ
තමුනගේ අද දින නොසිතා - අපෙ හෙට දිනක්ම සිතා
අඹු දරු මව්පියෝ නොබලා - අරමුණ වෙතම ගියා
රුපුණගේ ඔද තෙද බල බිඳුවෝ
දිනු රට දැයේ ඉටු දිවියෝ
සිත සැනසුම නිති පැතුවෝ - සැනසෙන්න සදා විරුවෝ
පොපි මල් දිනය සමරා මේ වසරේ නිකුත් වන නවතම ගීතය ගයනු ලබන්නේ ප්‍රවීණ ගායන ශිල්පී ධනපාල උඩවත්ත සමඟින් ඔහුගේ පුත් ගයාන් උඩවත්තයි. එසේම ප්‍රවීණ සංගීතවේදී අර්නස්ට් සොයිසා විසින් මෙය සංගීතවත් කර ඇත.
සුපතල ප්‍රංශයේ ප්ලාන්ඩර්ස් නිම්නයේ
යුධ බිම් ඉදී කෙරූ ජීවිත නැති කෙරූ
ගංගා ලෝහිත ගැලූ කාලය යළිඳු සිහි කෙරූ
දිනයකි එළැඹුණු සමරණ ඒ විරු
පසසමු පෙමින් නිරතුරු
සිහි කරන්න දැය වෙනුවෙන් දිවි දුන් රණකාමියෝ
තුති පුදන්න කල මෙහෙවර වෙනුවෙන් සොල්දාදුවෝ
ඒ බිම් තීරයේ රතු මල් පීදුනේ
ඔබගේ නාමෙන් සොහොයුරණේ
ලොව හිදිනා අප ලෙසිනා කාලය මත නොමියෙනා
යළි කිසිදා ලොව හමුවේ නාමය මතු නොදිරනා
ඒ බිම් තීරයේ රතු මල් පීදුනේ
ඔබගේ නාමෙන් සොහොයුරණේ
පොපි මල් ගීත පිළිබඳ ඇන්ටන් මෙසේ අදහස් දැක්වූවේය.
“පොපි මල් දිනය සිහිපත් කරමින් ගීත නිර්මාණයක් කිරීමට මා හට සිත්වුයේ , වසර ගණනාවක් පුරා එක්තරා කාලයකදී මාර්ගයන්හි අලෙවි කරන පොපි මල් සිහිවටන දැකීමෙන් අනතුරුවයි. මේ සම්බන්ධව කරුණු සොයා යාමේදී අප රටේ පොපි මල් දිනය පිළිබඳව ගීතයක් නිර්මාණය නොවී තිබීමත් , එසේ කළහොත් එහි විශාල වටිනාකමක් ඇති බවත් මට වැටහුණා. ඒ වගේම එසේ කිරීම මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ අපගේ වීරෝදාර රණවිරුවන් වෙත කරනා උපහාරයක් වන බවත් හැගුණා. මගේ අදහස මහේෂ් ජයවර්ධන වන මගේ මිතුරාට පැවසීමෙන් පසුව ඔහු මා ලියූ පද පෙළට ගී තනුවක් නිර්මාණය කළා. මුල්ම ගීතය සඳහා දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් 27 දෙනෙක් සහභාගි වුණා. එසේම ඊට පසුවත් ඒ වෙනුවෙන් මා ගීත දෙකක් නිර්මාණය කළා. එම නිර්මාණයන්ට සම්බන්ධ වුණ කිසිම කලා කරුවෙක් කිසිම මුදලක් අය කළේ නෑ. මෙහි වටිනාකම නිසාම ඔවුන්ගේ දායකත්වය හෘදයාංගම ලෙසම දැක්වූවා. ඒ සියලුම කලා කරුවන්ව මා ඉතාමත්ම කෘතවේදීව සිහිපත් කරනවා. එසේම පොපි මල් ව්‍යාපාරය මෙහෙය වන ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය මා විශේෂ ඇඟයීමකට ලක් කළා. එයත් කලා දිවියේ මා ලද භාග්‍යයක් ලෙස සලකනවා. මුල්ම ගීතය පටිගත කිරීමේදී එවකට ජෝනෙත් ශබ්දාගාරය භාරව සිටි ගරු. බෙනඩික්ට් ජෝශප් පියතුමා මේ කාර්යය සාර්ථක කර ගැනීම සඳහා දැක්වූ පූර්ණ සහයෝගය අමතක කරන්න බෑ. මොකද ශිල්පීන් සංඛ්‍යාව වැඩි නිසා මේ ගීතය නිම කිරීමට සෑහෙන කාලයක් ගත වූවා. ගරු බෙන්ඩික්ට් ජෝශප් පියතුමා තමයි මාගේ මාධ්‍ය ජීවිතයේ ගුරුතුමා ලෙස සලකන්නේ ”