වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
රතු පාට ත්‍රිවිලර් 101 ක් යොදා ගෙන

ආදරේට ආදරෙන් හේමාල්-උද්දික-පූජා-ශේෂාද්‍රි එක් වෙති
රතු පැහැ ත්‍රිරෝද රථ එකසිය එකක් එක පෙළට තබමින් විචිත්‍රවත් අන්දමින් රූප රාමුවක් සකස් කරමින් අති දැවැන්ත සිනමාපටයක ගීතයක රූපගත කිරීමක් ඉකුත් දා පිටකොටුව අවටදී සිදු කෙරිණ. දින හතරක් පුරා කොළඹ අවට ප්‍රදේශ කිහිපයකදී මෙම ගීතය රූප ගත කොට ඇති අතර එය ඇතුළත් වනුයේ ආදරේට ආදරෙන් යනුවෙන් නම තැබු චිත්‍රපටයකටය. යෞවනයේ හද බැඳගත් සිනමා තරුවක් වූ හේමාල් රණසිංහ ඇතුළු පිරිස මෙම ගීතයට මනස්කාන්ත අන්දමින් රැඟුමන් ඉදිරිපත් කොට තිබිණ. ඔහු සමඟ සරසවිය සම්මාන දිනූ පූජා උමාශංකර්, උද්දික ප්‍රේමරත්න සහ ශේෂාද්‍රි මෙහි ප්‍රධාන චරිත රංගනයේ යෙදෙති. මේ වන විට කාර්යබහුලම සහාය අධ්‍යක්ෂවරයා වන ඩොනල්ඩ් ජයන්ත ආදරේට ආදරෙන් හි සහාය අධ්‍යක්ෂවරයාය. සුපර් සික්ස්, මායා ආදී දැවැන්ත සිනමාපට නිෂ්පාදනය කළ ආර්. සදේශ් කුමාර් ආදරේට ආදරෙන් හි නිෂ්පාදකවරයා මෙන්ම අධ්‍යක්ෂවරයාය. චිත්‍රපටයේ නර්තන අධ්‍යක්ෂණය මෙන්ම කැමරා අධ්‍යක්ෂණය සඳහා ඉන්දීය ශිල්පීහු එක්ව සිටිති. හේමාල් රංගනයෙන් දායක වූ ගීතය බාචි සුසාන් විසින් ගයනු ලැබීය. එම ගීතයේ රූපගත කිරීමට පමණක් ලක්ෂ පනස් පහකට අධික මුදලක් වැය වූ බව සහාය අධ්‍යක්ෂවරයා සරසවියට පැවසීය.