තේජා පූර්ව ප්‍රචාරය අරඹයි

මාර්තු 12, 2020

නිලන්ත හපන්වීර විසින් අධ්‍යක්ෂණය කළ තේජා චිත්‍රපටයේ පූර්වප්‍රචාරක කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි. අන්තර්ජාතික කාන්තා දිනයට සමගාමීව කොළඹ, කිළිනොච්චිය, කටුනායක සහ බියගම ඇඟළුම් සේවයේ නිරත කාන්තාවන් සමඟ එම පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්භ කෙරුණු අතර මැයි 01 වැනිදා සිට රීගල් ඇතුළු සීඊඑල් මණ්ඩලයේ සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. කම්කරු කාන්තා අරගලය තේමා කර ගනිමින් නිර්මාණය වී ඇති තේජා චිත්‍රපටයේ නීටා ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, අයිරාංගනී සේරසිංහ, චමිලා පීරිස්, අනුරුද්ධිකා පාදුක්ක, ශ්‍රීමාල් වෙඩිසිංහ, සුජානි මේනකා, අතුල පතිරණ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.


2020 සිග්නීස්ට නිර්මාණ ඕනෑ

 
සිග්නීස් 2020 (OCIC) ශ්‍රී ලංකා ආයතනය මඟින් සිනමා සහ ටෙලිනාට්‍ය නිර්මාණ ශිල්පීන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන සිග්නීස් (OCIC) උත්තමාචාර උලෙළ 2020 සඳහා නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදුකෙරේ. 
 
මෙවර සිග්නීස් උත්තමාචාර උලෙළේ දී සම්මාන සඳහා සලකා බලනු ලබන්නේ, 2019 වසරේ තිරගත වූ චිත්‍රපට, 2019 දෙසැම්බර් 31 වනදාට පෙර විකාශය නිමාකළ කොටස් 100කට නොවැඩි ප්‍රාසංගික ටෙලිනාට්‍ය සහ පසුගිය වසර 03 ඇතුළත නිර්මාණය කළ කෙටි චිත්‍රපට ය. 
සිය නිර්මාණ මෙම උත්තමාචාර සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් කිරිමට කැමති වෘත්තාන්ත චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට සහ නිෂ්පාදකවරුන්ට සිය නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා වන අයදුම් පත් සිග්නීස් ශ්‍රී ලංකා කාර්යාලයෙන් ලබාගත හැකිය. 
 
වෘත්තාන්ත චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ කෙටි චිත්‍රපට ජූරියේ නිරීක්ෂණය සඳහා එහි පිටපත් (Extenal Hard Disk සහ DVD පිටපත් කුනක්) සිග්නීස් ශ්‍රී ලංකා කාර්යාලය වෙත බාර දෙන මෙන් ඉල්ලා සිටියි. නිර්මාණ බාරගන්නා අවසාන දිනයන් වනුයේ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය 2020 අපේ‍්‍රල් 03 සහ කෙටි චිත්‍රපට - 2020 අපේ‍්‍රල් 17 වේ.
 
වැඩි විස්තර දුරකථන අංක 011 2693425 / 071 8069085  ඇමතීමෙන් හෝ කාර්යාලයට (19, බැල්කම් පෙදෙස, බොරැල්ල, කොළඹ 08) පැමිණීමෙන් ලබාගත හැකිය.