වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
මර්වින් සේනාරත්න සමුගනී

හාත්පස සිසාරා මොහිදින් බෙග් මාස්ටර්ගේ බුද්ධං සරණං ගීතය රැව් පිළිරැව් දෙමින් වෙසක් සමය ඇරැඹෙයි. තැන තැන තොරණ ඉදිවන්නට පටන් ගනියි. ඒවා රාත්‍රි කාලයට මනරම්ව බැබළෙයි. නරඹන්නෝ තොරණෙහි කතා වස්තුවට සවන්දීමට සැරසෙති. ඊට ප්‍රථම කර්තව්‍යයට දායක වූවන්ගේ නාමාවලිය අසන්නට ලැබෙයි. මර්වින් සේනාරත්න යනු එහි ඇති අනිවාර්ය නමකි. කතා වස්තුවේ කතා රචනය ඔහුගේය. මෙරට ඉදි වූ තොරණ අතරින් ඔබ කොයි තොරණ නැරැඹුවද මර්වින් සේනාරත්නගේ නාමය එතැනදී සවනට ඇසෙනු ඇත. මින් මත්තට ඔහුගේ නාමය එලෙස අපට නොඇසෙනු ඇත. ඒ අවුරුදු අනූ දෙකක් ආයුෂ විඳ ඔහු අප අතරින් සදහටම සමුගත් නිසාය. මර්වින් සේනාරත්න නාමය තොරණ අසලදී අසා සාමාන්‍ය ජනයා අතර ප්‍රචලිත වුව ද ඔහු ගුවන් විදුලි ඉතිහාසයේ ප්‍රකට චරිතයකි. 1928 ඔක්කෝබර් මස 10 වැනිදා උපන් මර්වින් ගුවන්විදුලි ගීත රචකයකු ලෙසට එක් වන්නේ 1948 වසරේදීය. ඉන් පසු ලේඛකයකු, ගුවන්විදුලි නාට්‍ය රචකයකු මෙන්ම කවියකු ලෙසද ක්‍රියාකාරී වේ. එච්. ආර්. ජෝතිපාල, චිත්‍රා සෝමපාල, පුෂ්පරාණි ආරියරත්න, ආචාර්ය නන්දා මාලිනී, ජී. එස්. බී. රාණි පෙරේරා ආචාර්ය දයාරත්න රණතුංග, මහාචාර්ය අමරා රණතුංග, මොහිදින් බෙග්, හරූන් ලන්ත්‍රා, ධර්මදාස වල්පොල, මිල්ටන් පෙරේරා, වසන්තා සන්දනායක, දයා හේමන්තා සන්දනායක ආදී ගායක ගායිකාවන්ට මර්වින් ගීත රචනා කොට තිබේ. පරම්පරා ගණනාවක් රසවිඳි තවත් පරම්පරා ගණනාවකට රස විඳින්නට හැකියාව තිබෙන ඉතාම ජනප්‍රිය ගීතයක් වන “අක්කෙ ටිකක් එන්නකෝ” ගීතය ඇතුළු තිලකාවි මගේ ප්‍රේම ලොවේ, මාගම් පුරේ ඉඳන්, පෙම් හදවත පාරවා, නොකියාම එදා, මහ රෑ යාමේ මේ ඇල්හේනේ මර්වින් රචනා කළ ජනප්‍රිය ගී ලැයිස්තුවේ තිබේ. සුගන්ධිකා, වීදිය බණ්ඩාර, දොලේලන්ද වැනි ගුවන්විදුලි නාට්‍ය රචනා කරන ලද්දේ ද සේනාරත්නයන් විසිනි. ඒ අතරින් සුගන්ධිකා නමැති ඓතිහාසික නාට්‍ය එකල ඉතාම ජනප්‍රියත්වයක් ඉසිලීය. මේ හේතුවෙන් වසර තුනහමාරකට ආසන්න කාලයක් ස්වදේශීය සේවයේ ප්‍රචාරය විය.
මර්වින් සේනාරත්න වෙසක් තොරණ කතා පිටපත් දහසකටත් වැඩි ප්‍රමාණයක් රචනා කොට තිබේ. එක් වසරක් තුළ තොරණ 25ක කතා වස්තු ලියමින් වාර්තාවකට ද හිමිකම් කියන්නේ සේනාරත්නයන්ය.
මර්වින් සේනාරත්න මහතාට දරුවන් දෙදෙනෙකි. ඔවුනගෙන් පුතණුවන් ජනප්‍රිය ලේඛකයකු වන මංජුල සේනාරත්නයි. දියණිය සේනානි සේනාරත්න වේ. මෙවන් වූ අගනා කර්තව්‍යයක් ඉටු කළ මර්වින් සේනාරත්නගේ අවසන් කටයුතු ඉකුත් දා කොට්ටාව පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.