කිරන් රායි ශ්‍රී ලංකාවට

ජූලි 9, 2020

 

බ්‍රිතාන්‍යයේ සුපිරි මෝස්තර නිරූපණ ශිල්පියකු සහ මෝස්තර පිළිබඳ ජනමාධ්‍යවේදියකු වන කිරන් රායි ශ්‍රී ලංකාවට බොලිවුඩ් සිනමාව ගෙන ඒමේ කටයුත්තක නිරත වී සිටියි. බ්‍රිතාන්‍ය ආයෝජක රැල්ෆ් පෙරෙයිරා සමඟ එක්ව ඔහු ලොව නන්දෙසින් දක්ෂයින් රැසක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මීට ප්‍රථම ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂ ලුවී වැන්ඩර්ස්ට්‍රාටන් සමඟ පැරචූට් නම් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ආයෝජනය කළේ ද මේ දෙදෙනාය.

මේ දෙදෙනා මෙවර ආසියාවේ සිටින වඩාත්ම බලපැම් කළ හැකි 100 දෙනා සම්බන්ධ වැඩසටහනක් කිරීමට සූදානම්ව සිටිති. මේ යටතේ බොලිවුඩ් ගායකයින් වන රහත් ෆටේ අලී ඛාන්, අද්නන් සාමි, අනුෂ්කා ශංකර්, උදිත් නාරායන්, අලී සෆීර්, ක්‍රිකට් වීරයින් වන වසීම් අක්‍රම්, ෂොයිබ් මලික් සහ ඔහුගේ බිරිය වන සානියා මිර්සා ආදී පිරිස සමඟ ශ්‍රී ලංකාවේ භාතිය සන්තුෂ්, උමාරියා, ගෙහාන් ඇන්ඩ් බ්ලොක් සහ රයනී යන අය සම්බන්ධ කර ගැනීමට නියමිතය.

දින 15කින් සිදු කිරීමට නියමිත මේ වැඩසටහනට සම්බන්ධවීමට ලැබීම තමන්ට ඉමහත් සතුටක් බව මේ දෙදෙනා කියති. ලොවවටා සිටින විවිධ තරු ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත අතර ඒ අය ශ්‍රී ලාංකික ශිල්පීන්ට හඳුන්වා දීමට ද නියමිත යැයි රායි කීවේය. ශ්‍රී ලංකාව මේ ආකාරයෙන් ලොවට විවෘත කිරීමට ලැබීම සතුටක් යැයි රැල්ෆ් කීවේය.