නායක සහෝදරයාට අපේ ආචාරය

අගෝස්තු 27, 2020

මෙයට අවුරුදු විසි නවයකට පමණ පෙර එවකට නවයුගය පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ව සිටි (පසුකලෙක සරසවිය ප්‍රධාන කර්තෘ) එමෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියකු ද වූ අනුර බණ්ඩාර රාජගුරු තමන්ට චිත්‍රපටයක ලැබුණු අලුත් චරිතය පිළිබඳ මහත් උදම්ව කතා කළේය. ඒ අලුත් අධ්‍යක්ෂවරයකුගේ  චිත්‍රපටයකි. රූප ගත වෙමින් පැවැති චිත්‍රපටයක අධ්‍යක්ෂවරයා පිළිබඳ අභිරුචියෙන් වර්ණනා කිරීම සාමාන්‍යයෙන් එහි දායක වන පිරිසගේ සිරිත බැවින් ඒ පිළිබද වැඩි තැකීමක් කරන්නට වූයේ නැත. එහෙත් චිත්‍රපටය තිර ගත වද්දී මේ වර්ණනාව අතිශයෝක්තියක් නොවන වග පසක් විය.

මේ සිනමා කෘතිය එකදා වැහි නම් විය. අධ්‍යක්ෂ පරාක්‍රම ජයසිංහය. එයින් පසු පරාක්‍රම චිත්‍රපට තුනක් අධ්‍යක්ෂණය කළේය. එකදා වැහි මෙන්ම ඔහුගේ අවසන් චිත්‍රපටය වන කේ සරා සම්මාන රාශියක් දිනා ගත්තේය. එහෙත් පරාක්‍රම ජයසිංහ මෙරට රසිකයා වඩාත් හඳුනා ගත්තේ සිනමාකරුවකු ලෙස නොව කරන ලද එකම ටෙලිනාට්‍ය රඟපෑම නිසාය. ඒ පසුගිය වරේ මෙන්ම මේ වසරේ ද බොහෝ ප්‍රේක්ෂක අවධානය මෙන්ම සම්මාන ද දිනා ගනිමින් ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ලක්මාල් ධර්මරත්නගේ කූඹියෝ ටෙලි නාට්‍යයේ නායක සහෝදරයා හෙවත් සේනාධි තෙන්නකෝන් ලෙස කරන ලද රඟපෑමය.

පරාක්‍රම ජයසිංහ හෙවත් කේෂත්‍රයේ කාගේ ත් ආදරය දිනූ “පැකී” සිනමාකරුවකු වන්නට සිහින මැව්වෙකු නොවේ. 1953 වසරේ උපන් ඔහු අධ්‍යාපනය ලද්දේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේය. ඔහු ගේ පාසැල් සගයන් සමග චිත්‍රපට නැරඹුව ද ඒ කිසිවිටෙක සිනමාකරුවකු වීමේ අභිලාෂයක් ඔහු සුතු නොවිණ. ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරුන් වූ රාජ් රණසිංහ මෙන්ම තිලක් අතපත්තු ද පරාක්‍රමගේ සගයෝ වූහ. චිත්‍රපට නැරඹීම කොයි හැටි වෙතත් මේ යාළුකම නිසා පරාක්‍රම විවාහවනුයේ ද රාජ් ගේ සොහොයුරිය සුරම්‍යා සමඟය. රාජ් චිත්‍රපට නිෂ්පාදනයට අත ගැසූ තැන් පටන් ඒ චිත්‍රපට දර්ශන තලයට පැමැණෙමින් සයිඩ් සපෝට් එකක් දුන්නා විනා පැකී සිනමාකරණය ගැන වචනයකුදු පැවසුවේ නැත.

ඔහු තමාගේ ව්‍යාපාර ගොඩ නඟමින් දියුණු කරමින් කල් ගත කළේය. ටික දවසකින් තමන්ටම චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට ඔහු සැලසුම් කළේය. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය පැවරුණේ ඒ වන විට ක්ෂෙත්‍රයේ වැඩ කාරයෙකු ලෙස සහාය අධ්‍යක්ෂණයෙන්  හා සංස්කරණයෙන් නමක් දිනූ තරුණයෙකුටය. එය ඔහුගේ මුල්ම අධ්‍යක්ෂණය වීමට සැලසුම් විය. එහෙත් මොකක්දෝ හේතුවක් නැතුවම චිත්‍රපටය රූප ගත කරන්නට දවසක් තියා තරුණයා අධ්‍යක්ෂණයේ වගකීමට බෑ කීවේය. චිත්‍රපටය අතරමග නතර කරනවා ද නැත්ද යන්න නිෂ්පාදක ඉදිරියේ තිබුණු ගැටලුවයි.  නිෂ්පාදක විසින්ම අධ්‍යක්ෂණයේ වගකීම බාරගන්නා ලදී. මේ පරාක්‍රම එකදා වැහි චිත්‍රපටයෙන් නිෂ්පාදනයට අමතරව අධ්‍යක්ෂණයට ද පිවිසි අන්දමය.

සියල්ලෝම පුදුමයට පත්වුයේ පරාක්‍රම සතු සිනමා දැනුම ගැනය. තමා සමග සිටි මිත්‍රයා නිහඬ සිනමාවේ සිටි අද ඊයේ දකින සිනමා කෘති දක්වා දැන සිටි පරිපූර්ණ මිනිසකු බව ඔවුනට වැටහුණේ පැකී චිත්‍රපට ගැන කියන්නට කට අරින විටය. සිනමා සංගීතය රූප රචනය ආදි සියලු කරුණු ගැන ඔහු සතු දැනුම මවිත කරවන සුලු විය. එකදා වැහි සරසවිය සම්මාන උලෙළේ සම්මාන 8 ක් දිනා ගත්තේය. එයින් පසු පරාක්‍රම නිර්මාණය කළ චිත්‍රපටය චෙයරියෝ හොල්මන් චිත්‍රපටයයි. එය රාජ් රණසිංහ විසින් නිෂ්පාදනය කරන ලද්දක් වන අතර දින 6 ක් වැනි කෙටි කලක් ඇතුළත චිත්‍රපටය සම්පූර්ණ කිරීමට පරාක්‍රම සමත් විය. ඔහු ගේ තුන් වැනි චිත්‍රපටය වූ කේ සරා ප්‍රහසනාත්මක චිත්‍රපටයක් වූ අතර එය දෙරණ සිනමා උලෙළේ සම්මාන රාශියක් දිනා ගත්තේය. මේ චිත්‍රපටය බෙහෙවින් විවාද සම්පන්න විය.

චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ දී එහි සියලු අංග ගැන විශේෂ අවධානයක් යොමු කරන සිනමාකරුවකු හැටියට පරාක්‍රම පතළව සිටියේය. නළුවකු වශයෙන් ඔහු වඩාත් පතළවූයේ කූඹියෝ ටෙලි නාට්‍යයෙන් වුව එයට පෙර ඔහු නිශාන්ත ප්‍රදීප් ගේ වැලි සුළඟ චිත්‍රපටයේ ද සුළු චරිතයක් නිරුපණය කළේය.

එනේම ඉදිරියේ තිර ගත වීමට නියමිත දම්මිත් ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ බෆලෝ ටුවර්ස් චිත්‍රපටයේ ද පරාක්‍රම රංගනයෙන් දායකව ඇත්තේය. ඔහුගේ සිනමා කෘති ඔස්සේ බොහෝ දෙනෙකු සම්මානයන්ට පාත්‍රවුව ද ඔහු සම්මාන දිනා ගත්තේ නැත. සිනමාකරුවකු වුව ද ඔහු සම්මාන දිනා ගත්තේ කූඹියෝ ටෙලිනාට්‍යයේ කළ නායක සහෝදරයා ගේ රංගනයටය.

එය එවර රයිගම් ඇතුළු සම්මාන උත්සව රාශියකම ඇගැයීමට ලක් විය. පරාක්‍රම මියගිය පුවත අදහා ගත නොහැකි එකක් විය. ඔහු රෝගාතුරව සිටින බව කිසිවකු හෝ දැන සිටියේ නැත. අවම වශයෙන් සිය ළඟම සගයා වූ අසල්වැසි නිවසේ වෙසෙන මස්සිනා රාජ් පවා දැන ගත්තේ මිය යන්නට පැය කිහිපයකට මත්තෙන්ය. සිතා ගත නොහැකි තරම් දරා ගැනීමේ ශක්තියක් පරාක්‍රම සතුව තිබුණු වග පසුගිය 19 වැනි දින ඔහුගේ අවසන් සුසම් වාතලයට මුසුවද්දී සියල්ලන්ගේම සිතට නැඟුණු කාරණයයි.