වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
Can You Hear Me නිරෝධායනයේ

ඉකුත් ඔක්තෝබර් තිස් වැනිදා ෂූටිං ආරම්භ කළ කැන් යූ හියර් මී නාට්‍ය කණ්ඩායමට මුහුණ දෙන්න සිදු වූයේ නොසිතූ විරූ අත්දැකීමකටය. බණ්ඩාරවෙල තිබුණු ඔවුන්ගේ දර්ශන තලයට පැමිණි පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කීවේ වහාම රූ ගතකිරීම් නවත්වන ලෙසයි. එතැන් පටන් සිදුවූ දේ පිළිබඳ නාට්‍යයේ අධ්යක්ෂ සුනිල් කොස්තා අපට පැවසුවේ මෙවැනි කතාවකි.
අපි ෂූටිං කළේ පෞද්ගලික ඉඩමක තිබුණු නිවෙසක. ඉකුත් තිස් වැනිදා අපි ෂූටිං ආරම්භ කළා. ගමේ කිහිපදෙනෙක් 119 ට කෝල් කරලා අපි මේ කරන ෂූටිං එක ඔවුනට කරදරයක් කියලා. ටික වේලාවකින් පොලිසියෙන් සහ පී එච් අයි මහත්වරු ආවා. ඔවුන් හිතලා තියෙන්නේ කොළඹට ඇඳිරි නීතිය දැම්මට පස්සේ අපි එහෙන් පැනල මෙහෙට ඇවිත් ෂූටිං කරනවා කියලා. අපි පැහැදිලිව කිව්වා එහෙම එකක් නැහැ, මේක මේ කලින් ප්ලෑන් කරලා නළු නිළියෝ ගෙන්වලා, නියමිත දර්ශන තලයේ මේ රූපගත කිරීම් කරන්නේ කියලා. ඔය අතරේ හිටියා ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු කියා ගත්තු කෙනෙක්. ඒ කෙනා ළඟ හැඳුනුම්පතක්වත් තිබුණේ නැහැ. ඔහු බලෙන්ම වගේ ඇවිල්ලා ශලනි තාරකා කියන දේවල් ෆෝන් එකෙන් ෂූට් කළා. මොකක් ද ඔහුට එහෙම කරන්න තියෙන අයිතිය. මං හිතන්නේ ශලනි මේ ගැන කිසි දෙයක් දන්නෙ නැහැ.
මේ වීඩියෝ එක හරහා අති දැවැන්ත මඩ ව්‍යාපාරයක් ගෙනිච්චා කියලයි මට හිතෙන්නේ. කෙටියෙන්ම කිව්වොත් ශලනිවත් නොමරා මැරුවා. ඔය අතරේ අපි සියල්ලන්ව නිරෝධායනයට යොමු කළා නවාතැන් ගෙන හිටපු හෝටලයේම. අපි හැමෝම පී. සී. ආර්. පරීක්ෂණයට ලක් කළා. ගිය සඳුදා රිපෝට් එක ආවා අපි සියලු දෙනාම නෙගටිව්. දැන් මේ නාට්‍ය කණ්ඩායමේ අපි නිරෝධායනයට ලක් කරලයි තියෙන්නේ. මම කියන්නේ මෙච්චරයි. කැන් යූ හියර් මී කියන්නේ දිනපතා විකාශය වන නාට්‍යයක්. අනික අපි රූගත කිරීමකට අවශ්‍යය සියලුම ලියකියවිලි රැගෙනයි මේ නාට්‍යය රූගත කිරීම් කළේ. අපි කොටස් විස්සක් එක දිගට ෂූට් කරන්න ප්ලෑන් කළා. දැන් ඒ මොකවත් නැතුව අපි මෙහෙම හොටලේකට හිර වෙලා ඉන්නවා. අපි සියලු දෙනාටම කෑම බීම ඉඳුම් හිටුම් වියදම දවසට ලක්ෂයක් විතර යනවා. අපේ නිෂ්පාදකතුමාගේ අතින්නේ ඒ මුදලුත් යන්නේ. ඒත් පාඩු ගැන කවුරුත් වගේ වගක් කතා කරන්නේ නැහැ.
මං කියන්නේ මේකයි අපි අවශ්‍ය ලියකියවිලිත් අරගෙන ආවා නම්, පී. සී. ආර්.පරීක්ෂණයත් නෙගටිව් නම් ඇයි අපිට මෙහෙම කරන්නේ. මෙහෙම ගියොත් අපිට වෙන්නේ ඒ නාට්‍යය නවත්තලා දාන්න. මේ මොහොතේ රජය අරන් තියෙන තීරණ නිවැරදි කියලා මම හිතනවා. අපිට රට වහමින් වැඩ කටයුතු කරගෙන යන්න බැහැ. දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක කොරෝනා එක්ක ජීවත් වෙන්න තමා අපිට සිද්ධ වෙලා තියෙන්නේ. හිතු හිතු මනාපයට එහෙම ටෙලි නාට්‍ය රූපගත කිරීම් නවත්වන්න බැහැ. මේකෙන් කීදෙනෙක් යැපෙනවද. ඔවුන් ගැන කවුරුත් බලන්නේ නැහැනේ. මං මේ වෙලාවේ කාගෙන්වත් උදව් ඉල්ලන්නේ නැහැ. නාට්‍යකරුවන් විදිහට අපිට අපේ පාඩුවේ වැඩ කටයුතු කරගෙන යන්න දෙන්න. බොහොම සෞඛ්‍යාරක්ෂිතව අපි රූගත කිරීම් සිද්ධ කළා. ඉදිරියටත් ඒක එහෙමයි.