අනාගත ලේලිය

ජූලි 22, 2021

ජැකී ෂ්රොෆ් අවසන් වරට දුටුවේ සල්මාන් ඛාන්ගේ 'රාධේ : යුවර් මෝස්ට් වෝන්ටඩ් භායි' චිත්‍රපටයෙනි. ජැකී එහි චරිත නිරූපණය කළේ දීෂා පතානිගේ වැඩිමහල් සහෝදරයා ලෙසිනි. මේ වන විට බොලිවුඩයේ තොරතුරුවලට අනුව දීෂා ජැකීගේ පුත් ටයිගර් ෂ්රොෆ්ගේ පෙම්වතියයි. ඔහු තම පුත් ටයිගර් සමඟ 'බාගී 3' (2020) චිත්‍රපටයේ රංගනයෙන් දායක වූයේ ද පිය - පුතු ලෙසිනි. ජැකී ෂ්රොෆ් සම්මුඛ සාකච්ඡාවකදී ඔහුගේ පුත් ටයිගර් ෂ්රොෆ් සහ ටයිගර්ගේ පෙම්වතිය වන දිෂා පතානි සමඟ වැඩ කිරීම පිළිබඳ ඔහුට හැඟෙන ආකාරය ගැන කතා කළේය.

ඔහු ඇය වෙනුවෙන් ප්‍රශංසා කරන අතර ඇය ආකර්ෂණීය තරුණියක බව පවසන්නේය. "ඇයට ඇත්තෙන්ම පිහිටා තිබෙන්නේ, සරල පෙනුමක්. විනයගරුක බව, ආචාර ධර්ම පිළිපැදීම නවක නිළියක ලෙස ඇයගෙන් දුටු විශේෂත්වයක්. ඇය ගාතියා කෑමට කැමතියි. මම ඇතැම් දිනවල ඇය වෙනුවෙන් දර්ශනතලයට ඒවා රැගෙන ගියෙමි" ජැකී පැවසීය.

ඔහු තම පුත් ටයිගර් සමඟ කළ රංගනය සිහිපත් කරමින් පවසා සිටියේ "අපි තිරය මත පියා-පුතා ලෙස රඟපෑවා. එයට අපගේ සැබෑ ජීවිතයද උපකාරී වුණා කීවොත් වඩා නිවැරදියි" යනුවෙනි. ජැකී ෂ්රොෆ් සම්මුඛ සාකච්ඡාව අවසන් කළේ තම පුතාට වැඩි ප්‍රශංසාවක් ලබා දෙමිනි. ඔහු පවසන්නේ ටයිගර් තිරය මත කරන දේ පුදුම සහගත බවයි. ඔහු විශ්වාස කරන්නේ තම පුතා අති දක්ෂ නළුවෙකු මෙන්ම නර්ථන ශිල්පියෙකු හා සටන්කරුවෙකු බවට පත්ව ඇති බවයි.