බොලිවුඩයේ 23ක්

සැප්තැම්බර් 2, 2021

ප්‍රීති සින්ටා බොලිවුඩයේ ජනප්‍රියතම නිළියක ලෙස ජනාදරයට පත් වූ තරුවක්. 'චෝරි චෝරි චුප්කේ චුප්කේ', 'දිල් චාහ්තාහේ', 'අර්මාන්', 'කල් හෝ නා හෝ', 'කොයි මිල්ගයා', 'වීර් සාරා' ඇයගේ ජනප්‍රියතම චිත්‍රපට අතුරින් කිහිපයක්. ප්‍රීති බොලිවුඩයට පිවිසියේ ෂාරුක් ඛාන් සහ මනීෂා කොයිරාල ප්‍රධාන චරිත මැවූ මනිරත්නම්ගේ 'දිල් සේ' චිත්‍රපටයෙනි. එය සිදුවී මේ වන විට වසර 23 ක් ගත වී තිබේ. ඇය මෙතෙක් බොලිවුඩය තුළ කළ ගමන සිහිපත් කරමින් සිය ඉන්ස්ටග්‍රම් ගිණුමේ මෙසේ සටහන් කළාය. "වසර 23 ක චිත්‍රපට. ඔබ දේදුනු හඹා යාමට පුරුදු වී සිටී නම්, වැසි රහිත ජීවිතයක් සෙවනැල්ල නැති හිරු හා සමාන වේ. අද මම සිනමාවේ වසර23 ක් සමරන්නේ මගේ ගමනට දායක වූ සියලු දෙනාහට ගෞරවය පුදමිනි". ඇගේ රසිකයන්ට, මිතුරන්ට සහ උූපකාර කළ සැමට ස්තූති කරන ඇය, මෙසේ ද පවසන්නීය. "මට සහයෝගය දැක්වීම මෙන්ම අභියෝග කිරීම සහ හොඳ දැක්මක් වෙත මා තල්ලු කිරීම ගැන ඔබ සියලු දෙනාටම නිහතමානීව ස්තූතිවන්ත වෙනවා. එමෙන්ම විවේචකයන්ට ද මාගේ හෘදයාංගම ස්තූතිය හිමියි". ප්‍රීති සින්ටා රිදී තිරයෙන් අවසන් වරට දැකගත හැකි වූයේ 'මේන් ඕර් මිසිස් ඛන්නා' (2009), 'බයියාජි සුපර්හිට්' (2018) චිත්‍රපට වලිනි.