සෙල්මන් භෝයි

සැප්තැම්බර් 16, 2021

 

සල්මන් ඛාන් බොලිවුඩයේ ජනප්‍රිය තරුවක වුවද විවිධ ගැටුම් ඇති කර ගනිමින් අත්අඩංගුවට පත් වූ අවස්ථා ද බොහෝ වේ. 2002 වසරේදී සල්මන් ඛාන්ගේ වඩාත්ම මතභේදයට තුඩු දුන් අවස්ථාව වූයේ පහර දීමේ සිද්ධියයි. මුම්බායි මහාධිකරණය 2015 දී සල්මන් ඛාන් ඒ සම්බන්ධ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය. කෙසේ වෙතත්, මෑතකදී එම සිද්ධිය පදනම් කරගෙන වීඩියෝ ක්‍රීඩාවක් දියත් කර ඇති අතර එහි නම 'සෙල්මන් භෝයි' ය.

සල්මන් ඛාන් විසින් 'සෙල්මන් භෝයි'නම් ජංගම යෙදුම් ක්‍රීඩාව තහනම් කරන ලෙසට මුම්බායි සිවිල් අධිකරණයට ඉල්ලීමක් කළේය. ගූගල් ප්ලේ තුළ ඇති සෙල්මන් භෝයි ක්‍රීඩාව තමාගේ නම සහ අනුරුවක් පෙනෙන පරිදි නිකුත් කිරීම තම ප්‍රතිරූපය විනාශ කිරීමේ අරමුණින් කෙරූවක් බව පවසමින් සල්මන් එහි සංවර්ධකයින්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණි. ඒ අනුව ක්‍රීඩාවට ප්‍රවේශ වීම තාවකාලිකව තහනම් කරන ලෙස පසුගියදා අධිකරණය නියෝග කළේය. එම ක්‍රීඩාව බෙදා හැරීම, දියත් කිරීම, නැවත ආරම්භ කිරීම සහ ප්‍රතිනිර්මාණය කිරීම හෝ නළුවාට අදාළ වෙනත් ඕනෑම දෙයක් නතර කරන ලෙස ද අධිකරණය නියෝග කළේය. ගූගල් ප්ලේ සහ අනෙකුත් සියලුම වේදිකා වලින් ක්‍රීඩාව ඉවත් කරන ලෙස අධිකරණය විසින් නිෂ්පාදකයින්ට නියෝග කර ඇත.