අයියාගේ අලුත් ගීත ළඟදීම එළිදකී

සුනිල් වෙනුවෙන් පියල්ගෙන් පොරොන්දුවක්
සැප්තැම්බර් 16, 2021

 

 

ඔහු සුනිල් පෙරේරා නම් විය. ජීවන ගමනේ 69 වැනි සැතපුම් කණුව අබියස ඔහු රටම පිනවා රටම නලවා රටම හඬවා යන්නටම ගියේ සුවහසක් ආදරණීය රසිකයන්ගේ, හිතමිත්‍රාදීන්ගේ සෝ සුසුම් මධ්‍යයේය.

සුනිල් පෙරේරා පූරාවෘත්තයකි. යුගයකි. සංගීත කණ්ඩායම් ක්ෂේත්‍රයේ අඩසියවසක් පුරා අඛණ්ඩ ජනප්‍රියත්වක් දිනාගත් ලක් දෙරණේ එකම සංගීත කණ්ඩායම ලෙස ජීප්සීස් ප්‍රමුඛ සුනිල් පෙරේරාගේ නාමය ඉතිහාස ගත වී අවසන්ය. සුනිල් ආන්දෝලනාත්මක චරිතයකි. ඔහුගේ නිර්මාණ තුළ දිස්වූයේ ප්‍රාසංගික බව සහ ප්‍රහසනයයි. ඔහුගේ ගීතවල නිමැයුම්කරු මෙන්ම ගීතයට අමුද්‍රව්‍ය සපයන්නා ද ඔහුය. ඒ අමුද්‍රව්‍ය පදමට ගෙන පත අට එකට සිඳුවා විවිධ හැඩතල ඔස්සේ පදවැල් අමුණන්නේ චන්ද්‍රදාස ප්‍රනාන්දුය. සත්සර රටාවේ නිර්මාපකයා ද සුනිල්මය. සුනිල්ට අවශ්‍ය වුයේ ගීතය ගැයෙන භාෂාව හෝ එහි සාහිත්‍ය රසයක් නොවේ. ගීතයේ අන්තර්ගතය තුළ තිබිය යුතු සමාජ විවරණයයි.

සුනිල් දේශපාලන ව්‍යුහය තුළ තිබූ අඩුලුහුඬුකම් සිය නිර්මාණ තුළින් උපහාසත්මක ලෙස විවේනය කළ අභීත කලාකරුවෙකි. දුකේ දී සංවේදී වන මුදු මොළොක් හදවතක් ඇති සුනිල් ආදරය කළේ ජාතී ආගම් භේදයකින් තොර සමස්ත ජනසමාජයටමය.

සුනිල්ගේ වියෝව මා සිත දැඩි ලෙස කම්පනයට පත් කළ සිදුවීමක් විය. ඒ වසර තිහක කාලයක් පුරා ඔහු හා අප අතර, කලාකරුවකු සහ මාධ්‍යවේදියෙකු අතර පවතින සබඳතාවයෙන් ඔබ්බට ගිය පෞද්ගලික මිත්‍රත්වය හේතුවෙනි.

සුනිල්ගේ ජීවිතයේ ගජ මිතුරා වූයේ ඔහුට වඩා සත් වසරක් බාල සොහොයුරා වන පියල්ය. මේ අකලංක මිත්‍රත්වයත්, සොයුරු පෙමත් නිසාම පියල්, සුනිල් ගැන දන්නා දේ බොහෝය. අපි ඔහුගෙන්ම සුනිල් ගැන අසා දැන ගනිමු.

 

පියල් ඔබ සුනිල්ව දකින්නේ කොහොමද?

පුරා වසර 45ක් මගේ දුක සැප බෙදාගනිමින් මගේ සෙවණැල්ල සේ මා ළඟින්ම සිටි මගේ සමීපතමයා. මගේ කලණ මිතුරා, සොහොයුරා වගේම අයියා මට තාත්තා කෙනෙක් වුණා. අඩුම තරමේ දින දෙකකට වතාවක්වත් අපි දෙන්නා මුණ ගැසෙනවා. වසර 45ක ඇසුරේ ඔහු සමඟ නොහොඳ නොක්කාඩු වූ දිනයක් මගේ මතකයට එන්නේම නැහැ. අයියා මට කියපු දෙයක් තමයි “ මල්ලි සහෝදරයෝ ගහ මරා ගන්නේ සල්ලිවලට ඉඩකඩම්වලට. ඒත් අපි දෙන්නා අතරේ ඒ වගේ දෙයක් කිසිදාක සිදුවෙන්න බැහැ. මට වටින්නේ මුදල් නොවෙයි මල්ලිව. ඒ නිසා මම හම්බ කරන සෑම මුදලකින්ම 50%ක් මල්ලිට දෙනවා. අයියා ඒ පොරොන්දුව මිය යන තෙක් ඉටු කළා. වෙළෙඳ දැන්වීම්වලින් අයියා පෞද්ගලිකව ඉපැයු මුදලින් සහ දුර පළාත්වල තනිවම සිංදු කියලා හම්බ කළ මුදලින් පවා සියයට පනහ මට දුන්නා. මුදල් වැඩියෙන් ලැබෙන කොට තණ්හාවක් ඇති වෙනවා. ඒත් සුනිල් අයියාට කිසිදු තණ්හාවක් තිබුණේ නැහැ. අයියාගෙන් උගත් පාඩමක් ලෙස මම හම්බ කළ මුදලිනුත් 50%ක් අයියාට දෙන්න මම තීරණය කළේ අප දෙදෙනා තුළ තිබූ ඒ සහෝදර බැම්ම නිසයි.

 

සුනිල් අයියාගේ චර්යා රටාව කෙබඳු ද?

සුනිල් අයියා තුළ චරිත ගණනාවක් ජීවත් වෙනවා. වේදිකාවේ අයියාව දකින්නේ කෙළිලොල් විනෝදකාමී චරිතයක් ලෙස මුත් ඔහු මුදු මොළොක් හදවතක් ඇති දුක වේදනාව හොඳීන් හඳුනන සංවේදී කෙනෙක්. අයියවයි මාවයි සසඳද්දි බොහෝ අය හිතන්නේ අයියා දළදඬු සැර පරුෂ පුද්ගලයෙක් කියලා. නැහැ... මගේ ජීවිතයේ මට වැරදුණ තැන්වලදී අයියා මම වෙනුවෙන් කොතරම් අඬලා තියනවාද? එයාගේ පෞද්ගලික ජීවිතයේ යම් යම් අවස්ථාවලදී පවා එයා අඬලා තියනවා.

පියල් අතිශයින් සංවේදී වුවා සේ මට හැඟුණි.

දෙනෙතේ කඳුළු පුරවාගෙන ඔහු අයියාගේ වියෝව වෙනුවෙන් ඉකිබින්දේ දරාගත නොහැකි සොවිනි.

 

සුනිල් ත්‍යාගශීලි කෙනෙක්.ඔහුගෙන් ලද උපකාර පිළිබඳ කෘතඥතාවය පළ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා සටහන් තබා තිබුණා. පියල් ඒ පිළිබඳ බොහෝ දේ දන්නවා ඇති?

සුනිල් අයියා අසරණ නැති බැරි මිනිස්සුන්ට නිරන්තරයෙන් උදවු කළ කෙනෙක්. ඔහු උදවු කරන බව කාටත් පවසන්නේ නැහැ.

ජීප්සීස් කණ්ඩායමේ උන්තතිය පිණිස ලබා දුන් දායකත්වයට තුටු පඬුරු ලෙස වසර 10 - 8 - 5- 3 ආදී වශයෙන් ජීප්සීස්හි හිටපු සාමාජිකයන්ට ඔවුන් සේවය කළ වසර ගණනට අනුරූපීව සන්තෝසමක් වශයෙන් මුදල් ලබා දුන්නා. ඔවුන් බැන්ඩ් එකේ සිටින කාලයේ නිසි ආකාරයට මුදල් ගෙවා සේවය ලබා ගත්තත් සන්තෝසමක් වශයෙන් මෙලෙස ඔවුන්ට ගෙවීමට අයියා තීරණය කළා. රෝහල්ගත වී නිවෙසට පැමිණි වහාම අයියා කළ මුල්ම කාර්යය වූයේ මේ අයට මුදල් යැවීම. සමහරුන්ට ලක්ෂ 12 ලක්ෂ 8 වැනි මුදලක් පවා ලැබී තිබෙනවා. මෙය ලංකාවේ කිසිම බැන්ඩ් එකක් සිදු කරලා නැහැ.

 

සුනිල් පෙරේරා අපේ ගායන ශිල්පීන්ට පූර්වාදර්ශයක් ලබා දීලා අවසන් ගමන් ගියේ. ඔහු ගැයූ ගීතවලට කර්තෘ භාගය වරක් දෙවරක් නොව ගී ගයන හැම වාරයකම ගෙවපු කෙනෙක් නේද?

අයියා ගීත රචකයන්ට හොඳ ගෙවීමක් කරලා තමයි සිංදුව ලබා ගන්නේ පේළි දෙකද, පේළි හතර ද ලිව්වේ, එය මුළු ගීතයක් සේ සලකා එයාට මුළු මුදලම ගෙවනවා. ජීප්සීස් පිටරට සංචාරයේ ගිය සෑම වාරයකදීම ගීත රචකයන්ට කර්තෘ භාගය ලබා දෙනවා. ප්‍රසංගවලට ගිහිල්ලා උපයන මුදලින් පවා කර්තෘභාගය ලබා දෙනවා. රෝහල්ගත වෙලා නිවෙසට පැමිණි දිනට පසුදින චන්ද්‍රදාස ප්‍රනාන්දුට එන්න කියලා, කර්තෘ භාගය ලබා දුන්නා. සුනිල් අයියාගේ උපන් දිනයට පාටි ගන්නේ නැහැ. එක්තරා පිරිසක් තෝරා ගෙන ඒ අයට මුල්‍යමය ත්‍යාග පිරිනමනවා. සැප්තැම්බර් 14 අයියාගේ උපන් දිනය ඒත් මේ වසරේ අයියාගේ උපන් දිනය එළඹෙන්නට පෙර සැප්තැම්බර් 01 වැනිදාම උපන් දිනය වෙනුවෙන් මුදල් ත්‍යාග පිරි නැමුවේ අයියා උපන් දිනය වෙනකම් මෙලොව ජීවත්ව නොවන බව ඔහුට දැනුණ නිසාවත් ද? ඒ බව ඩබ්ලිවු. ජයසිරි ඔහුගේ ජ්ඕ ගිණුමේ සටහන් කර තිබෙනවා.

 

සුනිල් තමන්ටම ආවේණික වූ ගායන ශෛලියක් ඉදිරිපත් කළා. ඔහුගේ විලාසිතාකරණයේත් ඒ ආවේණික ලක්ෂණ මතු වුණා නේද?

අයියා රසිකයන් ඇමතුවේ ගී ගායනා කළේ මනා පෞරුෂත්වයකින් යුත් ගැඹුරු හඬකින්. ඒ හඬේ හාස්‍යයක් ගැබ්ව තිබුණා. ඔහු ශබ්ද නඟා වචන ප්‍රකාශ කරනවා. සමහර වෙලාවට රිද්මය ගැන නොතකා ගීතයට අනුරූපීව වචන ඉදිරිපත් කරනවා. හාස්‍යජනක ස්වරූපයෙන් ඉදිරිපත් කරද්දී ප්‍රේක්ෂකයා එම ගීත ආදරයෙන් වැලඳ ගන්නවා. අයියාගේ ගායනය තුළ තිබෙන විශේෂ ලක්ෂණයක් තමයි සජීවි බව. අයියා මට හැමදාම කියන දෙයක් තමයි මල්ලී මට සිංදු කියන්න බැහැ. මට තියෙන්නේ ටකරන් කට හඬක් කියලා. අයියාගේ ඩාන්ස් එක පවා එයාටම ආවේණික වූ එකක්. එය නර්ථන පාසලකින් ඉගෙන ගන්න පුළුවන් නර්ථනයක් නොවෙයි. අයියාගේ ඇඳුම පැලඳුම පවා විචිත්‍රවත්. විවිධ වර්ණ යොදාගෙන ඇඳුම් නිර්මාණය කරන්නේ. නොගැළපෙන වර්ණ පවා මිශ්‍ර කරලා ඇඳුම් අඳීන්නේ. ඇඳුම නිසා ඔහු තවත් කැපි පෙනුණා කියලා මට හිතනෙවා.

පියල් අපි අතීතයට පොඩ්ඩක් යමුද? ජීප්සීස් පටන් ගත්තේ කොහොමද?

අපේ තාත්තා ඇන්ටන් පෙරේරා තමයි ජීප්සිස් කණ්ඩායමේ පුරෝගාමීයා. තාත්තා නැත්තම් ජීප්සීප් කණ්ඩායමක් නැහැ. තාත්තා මුලින්ම කැමැති වුණේ නැහැ, සංගීත කණ්ඩායමක් පටන් ගන්නවාට. තාත්තාට ඕනෑ වුණේ අපේ පවුලේ කොල්ලෝ පස්දෙනා උගතුන් කරන්න. ලොකු අයියා නිහාල් ගණකාධිකාරීවරයෙක්.

සුනිල් අයියා ඩොක්ටර් කෙනෙක්, නිමල් අයියා සහ ලාල් අයියා ඉංජිනේරුවන් දෙදෙනෙක්. මම පොඩි නිසා මා ගැන එතරම් බලාපොරොත්තු තබා නැහැ. සුනිල් අයියා ඒ/ඹ් හොඳීන් සමත් නොවුණ නිසා ඩොක්ටර් සිහිනය බොඳ වී ගියා. පවුලේ දහදෙනාගෙන් හොඳට ඉගෙන ගන්න පුළුවන් සුනිල් අයියට.

 

තාත්තා අකැමැති නම් කොහොමද ජීප්සීස් ආරම්භ කළේ?

සුනිල් අයියාට පාසල් කාලේ ඉඳලා තිබුණේ සංගීත පිස්සුව. නිතර නිතර සුනිල් අයියා ගිටාර් ගහනවා. අපේ තාත්තා සින්දු අහන්න හරිම කැමැතියි. සුනිල් අයියා ගිටාර් ගහලා සින්දු කියන කොට තාත්තා හරියට රසවිඳීනවා. තාත්තා බය වුණා අයියා සංගීතයට යොමු වෙයි කියලා. ඒ නිසා තාත්තා තරයේ අකැමැති වුණා. තාත්තා හැම වෙලේම කියපු දෙයක් තමයි සංගීතකාරයන්ට සල්ලි නැහැ උඹලට ෂෝ එකකට ගියාම පැටිස් එකක් කාලා තමයි ඉන්න වෙන්නේ කියලා. තාත්තා කොච්චර අකැමැති වුණත් සුනිල් අයියාට ඕනෑම වුණා බැන්ඩ් එකක් දාන්න. අන්තිමේදී තාත්තා එකඟ වුණා. හැබැයි බැන්ඩ් එක කරනවා නම් හරියට කරන්න ඕනෑ ලංකාවේ “නම්බර් වන්“ බැන්ඩ් එක බවට පත් කරනවා නම් මම සහයෝගය දෙන්නම් කියා කොල්ලෝ පස් දෙනාට අවවාද නීති රිති පද්ධතියක් දැම්මා. ගිටාර්, ඩ්‍රම්ස්, ඕගන් මේ සියලුම වාද්‍ය භාණ්ඩ උගන්වන්න අදාළ ගුරුවරු ගෙනාවා. කට හඬ පුහුණුවට ජෝයී ප්‍රදීනන්දුව ගෙනාවා. ශබ්දගාරයක් හැදුවා මේ සියල්ල කළේ රත්මලානේ අපේ මහගෙදර.

 

තාත්තාගේ අණසක යටතේ දරුවෝ පස් දෙනා නිසියාකාරව සංගීතය හැදැරුවා ද?

ඔව්. දිනපතා පස්දෙනාම ශබ්දාගාරයට ගිහිල්ලා සංගීතය පුහුණුවිම් කළ යුතුයි. හරියට කන්තෝරුවක් වගේ. උදේ 9.00ට පුහුණුවීම්වලට යන්නම ඕනෑ. පොතක් තියෙනවා පොතේ නම ලියලා වේලාව දලා අත්සන් කරන්න ඕනෑ. 10.30ට තේ දෙනවා. 12.30ට දවල් කෑම දෙනවා 2.00 වන තුරු විවේකය. 2.00 - 5.00 දක්වා පුහුණුවීම් කළ යුතුයි. වැරදිලාවත් 9.00 පහුවුණොත් පඩියෙන් කපනවා. මාසයකට සැරයක් පඩියක් වශයෙන් එක්කෙනෙකුට රු.200ක් දෙනවා. අපේ තාත්තා රෑට පොඩි අඩියක් ගහනවා. ඒ වේලාවට තාත්තා කියනවා අපිට සින්දු කියන්න කියලා. අපි බෑන්ඩ් එක සවස 5.00න් පස්සේ සින්දු කියනවාට තාත්තා අපට අතීකාල දීමනා ගෙවනවා. තාත්තාට අවශ්‍ය වුණා අපි සින්දු කියනවා ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන්ට පෙන්වන්නට. විජය කොරෙයා, ඩෙස්මන්ඩ් ද සිල්වා, රාජ් සෙ‍නෙවිරත්න ආදි හිතවතුන්ට එන්න කියලා පුතාලගේ හපන්කම් පෙන්නනවා තාත්තා බැන්ඩ් එක වෙනුවෙන් නොකළ දෙයක් නැහැ. ප්‍රචාරක කටයුතු පවා තාත්තා තමයි කළේ. තාත්තාගේ එකම බලාපොරොත්තුව ජීප්සිස් ලංකාවේ ප්‍රසිද්ධ බෑන්ඩ් එක බවට පත් කරන්න. ජීප්සීස් කියලා බෑන්ඩ් එකට නම තිබ්බෙත් තාත්තා.

 

ජීප්සීස්ලට ප්‍රසංග සඳහා මුලින්ම ආරාධනා ලැබුණේ කාගෙන්ද?

තාත්තා අපට කිව්වා අපට මඟුල් ගෙවල් දෙකක්, බර්ත්ඩේ පාටි තුනක් ලැබිලා තියනවා කියා. අපි සතුටින් ගියා සෙල්ලම් කරන්න. මඟුල් ගෙදරට ජීප්සීස් හා පුරා කියා ර්‍ථතචර කළා. අපට හරි සතුටුයි. අපට පෙනෙන්න ඒ අය තාත්තාට සල්ලි දුන්නා. තාත්තා අපි පස් දෙනාට ඒ සල්ලි බෙදුවා. දවස් කිපයක් ගියාම තමයි අපට කතාව ආරංචි වුණේ. තාත්තා ඒ අයට සල්ලි දීලා තියෙනවා අපට පෙනෙන්නට දෙන්න කියලා. අපට පස්සේ තේරුණා. තාත්තා එහෙම කළේ අපිව ධෛර්යමත් කරවන්න කියලා.

 

සුනිල් පෙරේරාගේ චතුර කථිකත්වය ප්‍රසංග වේදිකාවේ ඔහුට ලබා දුන්නේ විශාල ඉල්ලුමක්. සුනිල් කුඩා කල සිට මුඛරි කෙනෙක්ද?

අයියා තරුණ කාලේ මුඛරි නැහැ. ප්‍රසංගයක චතුර ලෙස කතා කළ යුතු ආකාරය පිළිබඳ එතරම් දැනුම්වත්කමක් තිබුණේ නැහැ. ඒ නිසා තාත්තා විජය කොරෙයාට එන්න කියලා ප්‍රසංගයකදී හඬ නඟා ප්‍රේක්ෂකයන් කුල්මත් වන අන්දමට කතා කළ යුතු ආකාරය පිළිබඳ ගුරුහරුකම් ලබා දුන්නා. සුනිල් අයියා වේදිකාවේ විරාජමානව වැජඹෙන්නට ඒ ගුරුහරුකම් මනා පිටිවහලක් වුණා.

අපි මුලින්ම ගායනා කළේ ඉංග්‍රීසි සිංදු, පස්සේ සුනිල් අයියාට අවශ්‍ය වුණා සිංහල සින්දු කියන්න. ‘ළිඳ ළඟ සංගමය සහ අම්මා අම්මා මේ මට‘ අපේ ප්‍රථම ගීත දෙකයි. මේ අතරවාරයේ ර්‍ණඕඉඡ්අඍඡ්අ පත්තරේ තිබුණා ජනප්‍රිය සංගීත කණ්ඩායම තේරීමේ තරගයක්. ඒ තරගයෙන් ජනප්‍රියම සංගීත කණ්ඩායම ලෙස තේරී පත්වුණේ ජීප්සීස්. ඒ කාලේ ලංකාවේ ජනප්‍රියම බැන්ඩ් එක බවට ජීප්සීස් පත් වනවා තාත්තා දැක්කා. එය තාත්තාට විශාල සතුටක්. අපි තාත්තාගේ බලාපොරොත්තුව ඉටු කර දුන්නා.

 

තාත්තා මට ඇනපු ටොක්ක තාත්තා වෙනුවෙන් ගැයූ මේ උපහාර ගීතය එළි දැක්වුයේ තාත්තා ජීවතුන් අතර සිටියදීද?

තාත්තා මිය ගියාට පසු තාත්තාගේ වටිනාකම අපට තදින් දැනුණා. සුනිල් අයියා තීරණය කළා තාත්තා වෙනුවෙන් උපහාර ගීතයක් ගයන්නට. මේ ගීතයේ කෝරස් එක ලිව්වේ එම්.එස්. ප්‍රනාන්දු. සුනිල් අයියා ර්.ඉ. ප්‍රනාන්දුට මුදල් දීලා කෝරස් ඉල්ලාගෙන චන්ද්‍රදාස් ප්‍රනාන්දුට කියලා අයියාට අවශ්‍ය පරිදි අනෙක් පද ලියාගත්තා.

එදා මට පෙනුණේ ඔබව හතුරෙක් වාගෙයි තාත්තේ

අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගේ තාත්තේ

දෙවියන් වඳීනා දෑතින් දෙපා වදින්නම් තාත්තේ

අපේ තාත්තා තමයි ජීප්සීස් කණ්ඩායමේ කළමනාකරු. ඒ දවස්වල ඕනෑම බෑන්ඩ් එකක් මඟුල් ගෙවල්වල ර්‍ථතචර කරද්දී ඒ කණ්ඩායම්වලට හෝටලෙන් කෑම දෙන්නේ නැහැ. ඒත් අපේ තාත්තා තමයි ඒ තත්ත්වය වෙනස් කළේ. ජීප්සීස් කණ්ඩායමට ආහාරය ලබා දෙන්නට කියා තාත්තා යෝජනාව ගෙනවා. පස්සේ තමයි සියලුම බෑන්ඩ්වලට හෝටල්වලින් ආහාර ලැබුණේ.

 

ඔබලාගේ මව ඩොරීන් පෙරේරා වෙනුවෙන් ගීයක් නිර්මාණය කළා නේද?

ඔව් සුනිල් අයියා අම්මාගේ 90 වැනි උපන් දිනයට ජීප්සීස් පවුලෙන් අම්මාට දෙන තෑග්ගක් හැටියට ගීතයක් නිර්මාණය කළා. සුනිල් අයියා, මම, නිමල් අයියාගේ පුතා ලන්ත්‍රා, සුනිල් අයියගේ පුතුන් සජිත්, ගයාන් හා මගේ පුතා ලෝරන්ස් එක්වෙලා ගීතය ගායනා කළේ. උපන් දිනය දවසේ අපේ මහ ගෙදර ගිහින් දරු මුණුබුරෝ 43 දෙනම අම්මා වටකරගෙන මේ ගීතය ගැයුවා අම්මාට හරිම සතුටුයි.

ඔබ - අපේ ශක්තියයි - ඔබ අපේ අභිමානයි

අම්මේ ඔබ හඳක් වගේ අපේ දිවිය එළි කරයි

‘කුස්සිය‘ කියලා තව සින්දුවක් අපි කළා. එය නම් කළේ පවුලේ ගීතය කියලා. ඒ සින්දුවේ විෂුවල් එකට අපේ පවුලේ සියලුම සාමාජිකයන් ගැහැනු පිරිමි පුතාලා - දුවලා මුණබුරු - මිණිබිරියෝ 45 දෙනාම පෙනී සිටියා. අපේ අම්මත් ඒ සිංදුවට ඩාන්ස් කළා. පොල් ගානවා, මිරිස් අඹරනවා, එළවළු කපනවා, පොල් බිඳීනවා, අතු ගානවා මේ සියල්ලෙන්ම සමන්විත වූ ගීතයක්. සින්දුවේ නම ''කුස්සියේ අප නටන්නේ.“

 

අප රටේ ප්‍රබුද්ධයන්, ආචාර්යවරු, මහාචාර්යවරු, සුනිල් ඇතුළු ජීප්සීස් සමච්චලයට ලක් කරමින් විවේචනය කළා. පීචං බයිලා කාරයෝ ලෙස හංවඩු ගහලා පුවත්පත්වල ලිපි පළ කළා. ඒවාට සුනිල් මුහුණ දුන්නේ කොහොමද?

අයියා ඒවා තුට්ටුවකටවත් මායිම් කළේ නැහැ. අපට අපහාස කරලා ලිපි පළ කළ අයට, උස්වත්ත සමාගමින් ජුජුබ්ස් ඇතුළු රස කැවිලි පාර්සලයක් සමඟ ලියුමක් යනවා. “ඔබතුමා අපට නොමිලේ ලබා දුන් ප්‍රචාරයට ස්තුතියි“ මේ ත්‍යාගය බාරගන්න යනුවෙන්. ඒ පාර්සලය ලැබුණාට පස්සේ මාස 6ක් විතර යනකම් පත්තරවලින් අපට බනින්නේ නැහැ. බනින බනින වාරයට අයියා ජුජුබ්ස් පාර්සල් යවනවා. අයියා ළඟ පොතක් තියෙනවා ඒ පොතේ ජීප්සීස්ට, අයියාට බනින ලිපි කපලා අලවලා පරිස්සම් කරලා තියාගෙන ඉන්නවා. හැබැයි අයියාව වර්ණනා කරන ලිපි එකතුවක් එයා ළඟ නැහැ.

 

එක්තරා ගායන ශිල්පියෙක් සුනිල්ට අපහාසත්මකව කතා කරලා ඔහුව අපහසුතාවයකට පත් කළා කියා දැනගන්න ලැබුණා. එහි සත්‍යක් තිබෙනවාද?

ඔව් ඔස්කා සංගමයේ පැවැති රැස්වීමකදී එක්තරා ගායකයෙක් “ජීප්සීස්ගේ කාලේ ඉවරයි උඹලා දැන් නාකියි. උඹලා වැළලී යන කාලය“ කියලා අයියාට ප්‍රසිද්ධියේ අපහාස කරලා තියෙනවා. ඒ අවස්ථාවේ සුනිල් අයියා අඬලා තියෙනවා. අයියා ඒ අභියෝගය, ජයගත්තේ මාස 5ක් ඇතුළත ‘අයි ඩෝන්ට් නෝ වයි‘ කියන ඇල්බම් එක කරලා. මේ ඇල්බම් එක අතිශයින් ජනප්‍රිය වුණා. කවුරු අපහාස කළත් අයියා දරාගෙන සිටියා.

 

ඔබ ටික කලක් ජීප්සීස් කණ්ඩායමෙන් ඉවත්ව සිටියා නේද?

මම විවාහයෙන් පසු එංගලන්තයට යන්නට තීරණය කළා. සුනිල් අයියා කැමැති වුණේ නැහැ. අවසානයේ දී එයා මගේ කැමැත්තට ඉඩ දුන්නා. අපි දෙන්නා සමුගත් දවස අපි දෙන්නටම හරිම වේදනාකාරි වුණා. සුනිල් අයියා එදා මාව බදාගෙන හොඳටම ඇඬුවා. ඒත් මම අවුරුද්දකින් නැවත ලංකාවට එන්න තීරණය කළා. මම සුනිල් අයියාගෙන් ඇහුවා මාව ජීප්සීස් කණ්ඩායමට නැවත සම්බන්ධ කරගන්නවා ද කියා. අයියා එක පයින්ම ඒකට කැමැති වුණා.

 

ජීප්සීස් කණ්ඩායමේ විනය, සාමාජිකයන්ගේ මුල්‍යමය ස්ථාවරත්වය, පිළිබඳ සුනිල් පෙරේරා විශේෂ අවධානයක් යොමු කළා නේද?

ජීප්සීස් කණ්ඩායම තුළ අයියා හොඳ නායකයෙක්. පුහුණුවීම්වලට පැමිණීමේ වේලාවේ සිට පුහුණුවීම් නිමාවන තෙක් දැඩි අධීක්ෂණයකින් කටයුතු කළා. වේලාවට ගරු කළ යුතුයි. කාලය නාස්ති නොකළ යුතුයි. කණ්ඩායම තුළ විනයක් පවත්වා ගත යුතුයි. යම් කිසි වරදක්, අඩුපාඩුවක් සිදු වුණොත් අයියාට තරහා යනවා. ඒත් ටික වෙලාවකට පමණයි. සමහර වේලාවට බැන්ඩ් එකේ අයට එන්න කියලා පැය 4 -5 සතුටු සාමිච්චියේ යෙදෙන අවස්ථා තියෙනවා. අයියා ජීප්සීයට ආදරය කළා. ජීප්සීස්ගේ අඛණ්ඩ ජනප්‍රියත්වයත් ඒකයි. අයියාට තියෙන්නේ තාත්තාගේ ගති ලක්ෂණ. තාත්තාගෙන් ලද ගුරුහරුකම් මත අයියා බෑන්ඩ් එක හොඳීන් කළමනාකරණය කළා. අයියාට අවශ්‍ය වුණා සාමාජිකයන්ට හොඳ මුල්‍යමය ස්ථාවරත්වයක් ලබා දෙන්න. එය ඔහු අතින් සියට සියයක්ම ඉටු වුණා. සාමාජිකයන්ගේ පෞද්ගලික කටයුතු සඳහා අයියා නොපැකිළව ඉදිරිපත් වෙලා විවිධ ආකාරයෙන් සහයෝගය ලබා දුන්නා.

 

ඔබ ගයන ‘පෙම් ලොවේ‘ ගීතය ඍධඪජඥ ර්‍ථපඪදබ කණ්ඩායමට සහ බිලි ප්‍රනාන්දුට ගායනා කිරීමට සුනිල් අවස්ථාව ලබා දුන්නා. මෙම ගීතයට රධභබභඡඥ එකෙන් විශාල ලයික් සංඛ්‍යාවක් ඔවුන් ලබාගත්තා. ජීප්සීස්ගේ ගායනයට වඩා මෙම ගීයට වැඩි ජන ප්‍රසාදයක් ඔවුන් දිනාගෙන තිබෙනවා නේද?

අයියා නව පරපුරට අතහිත දුන්න කෙනෙක්. දක්ෂතා තිබූ නවකයන්ට අපේ ගීත දීලා තිබෙනවා. අයියාට ඕනෑ වුණේ අපි ගීතය ගැයූ ආකාරයට වඩා නවතාවයකින් වෙනස් ආකාරයට ඔවුන් ඉදිරිපත් කරනවා දකින්නට. අපේ ගීත වෙන අය නවතාවයකින් ගයලා ජනප්‍රිය වෙනකොට අයියා ඊර්ෂ්‍යා කළේ නැහැ. ඔවුන්ට ස්තූති කරලා ඔවුන් ධෛර්යවත් කළා. අයියා ඒ ගීත අහලා සතුටු වුණා. අයියා හැම වෙලේම කියන්නේ තරුණ කොල්ලන්ව අපි ඉදිරියට ගේන්න ඕනෑ කියලා. සුනිල් අයියා 70 දශකයේ සිට 2021 දක්වා සියලුම පරම්පරාවන් පිනවූ කෙනෙක් බවට හොඳම සාක්ෂිය අයියාගේ වියෝව නිසා කඳුළු සැළූ ලොකු, කුඩා, තරුණ, මහලු සියල්ලන් සිටීමයි.

 

සුනිල්ට දක්ෂ ගායන හැකියාවෙන් යුත් පුතුන් දෙදෙනෙක් ඉන්නවා. තාත්තාගේ අඩි පාරේ යමින් ජීප්සීස් කණ්ඩායමට ඔවුන් සම්බන්ධ කර ගැනීමට සුනිල්ට අවශ්‍යතාවයක් තිබුණේ නැද්ද?

අයියා හැම වෙලේම පුතාලට කිව්වේ තමන්ගේ දෙපයින් නැඟිටින්න කියලා. ස්වයං නිර්මාණ බිහි කළේ නැත්තම් තමන් අස්ථාවරයි කියලා. ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන්නේ පුතාගෙන් අලුත් දෙයක්. තාත්තාගේ සින්දු නොවෙයි. තමන් ස්වයං නිර්මාණවලින් ජනප්‍රිය වුවාට පසු තාත්තාගේ සින්දු කිව්වට කමක් නැහැ. අයියා පැවසුවේ එයයි. ඩැඩී කියන ලංකාවේ ජනප්‍රිය බෑන්ඩ් එක ආරම්භ කළේ අයියාගේ දෙවැනි පුතා ගයාන්. තරුණ පරපුර අතර අතිශයින් ජනප්‍රිය බැන්ඩ් එකක් බවට ‘ඩැඩී‘ පත්වුණා. නව නිර්මාණ ගණනාවක් ගයාන් එළි දැක්වුවා. ගයාන් ගීත නිර්මාණය කරද්දී අයියා වගේ විෂූවල් එක ගැන හරියට උනන්දු වුණා. ගයාන් හැමදාම කිව්වෙත් මට තාත්තාගේ සින්දු නොකියා තනියම බෑන්ඩ් එකක් දාලා ජනප්‍රිය වනවා කියලා. අයියා ඩැඩී බෑන්ඩ් එක දැකලා අතිශයින් සතුටු වුණා. පසුව ගයාන් සංගීතය හදාරන්නට ඇමරිකාවට ගියා.

ලොකු පුතා සජිත් බෑන්ඩ් එකක් පටන් ගත්තා. එකේ නම ‘නයින්ටි නයින්‘ ඔහුට හොඳ ගායන හැකියාවක් තිබෙනවා.

 

ජීප්සීස් කණ්ඩායමේ අයිතිය සුනිල්ටයි පියල්ටයි නේද? සුනිල් අප අතරින් සමු ගත්තා. පියල් ජීප්සීස් බෑන්ඩ් එක දිගටම පවත්වාගෙන යනවාද?

ඒ ගැන සිතන්න පුළුවන් මානසිකත්වයක නොවෙයි මම ඉන්නේ. අයියාගේ හදිසි වියෝව මාව දැඩිලෙස කම්පනයට පත්කළා. ඒ දුක මට දරාගන්න බැහැ. මම කිසිදු තීරණයක් තවම අරගෙන නැහැ.

 

ජීප්සීස් කණ්ඩායමට ඉදිරියේදී ප්‍රසංග බහුල වශයෙන් ලැබී තිබෙනවා නේද?

ඔව් 2022 දෙසැම්බරය වෙනකල් අපට මංගල උත්සව, ප්‍රසංග, ච්ඪදදඥප ච්චදජඥ, 31ඵබ ව්ඪඨඩබ ච්චදජඥ යනාදී ප්‍රසංග ගණනාවක් ලැබී තිබෙනවා. අපි ඒ සඳහා අත්තිකාරම් අරගෙනත් ඉවරයි. 2022 පෙබරවාරියේ එංගලන්තේ ප්‍රසංගයක් සඳහා ආරාධනා ලැබී තිබෙනවා. බො‍හෝ අය අපට කියන්නේ ඒ අයගේ මංගල උත්සවයට සුනිල් වෙනුවෙන් ජීප්සීස්ලට සෙල්ලම් කරන්න කියා. අපේ හිතවතුන් සියල්ලන්ම කියන්නේ ජීප්සීස් පවත්වාගෙන යන්න කියලා. ජීප්සීස් කියන්නේ සුනිල්, සුනිල් කියන්නේ ජීප්සීස්. අපි කවුරුවත් නැතැත් සුනිල් අයියා විතරක් හිටියත් ජීප්සීස් පවත්වා ගෙන යන්න පුළුවන්. ඒකයි සත්‍යය.

 

සුනිල් පවුලේ තොරතුරු?

අයියාගේ බිරිඳ ගංගා. සුනිල් අයියාට දරුවෝ හතර දෙනයි. දරුවන්ගේ නම් පටන් ගන්නේ ස -රි -ග -ම අකුරුවලින් වැඩිමහල් පුතා සජීත් විවාහකයි. විවාහ වී සිටින්නේ ඩැල්රීන් සුඛී ගේ දුව සහනි සමඟ. සජිත්ට දියණියන් දෙදෙනෙක් සිටිනවා. සජිත් හිටියේ සුනිල් අයියාත් එක්ක. දෙවැනි දුව රිහානා විවාහ වී සිටින්නේ දාස පවුලේ බාල සහෝදරයා පූණ්‍ය සමඟ. රිහානාට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. පුතයි දුවයි. ගයාන් සහ මනිෂා අවිවාහකයි. ගයාන් මේ දවස්වල ඉන්නේ ඇමරිකාවේ. රිහානා ඉන්නේ එයාගේ මහත්තයාගේ ගෙදර. අයියාගේ මරණින් පස්සේ ගයාන් ලංකාවට ආවා.

 

පියල්ගේ තොරතුරු

මම විවාහකයි. බිරිඳ රෝස්මරී, මගේ දුව ශාලට් එයා වෛද්‍යවරියක්. දුව විවාහවෙලා. දුවගේ සැමියාත් වෛද්‍යවරයෙක්. පදිංචිය එංගලන්තේ. මට පුතෙක් ඉන්නවා. එයා ලෝරන්ස් අවිවාහකයි.

 

සුනිල් රෝහල්ගත වී නැවත පැමිණි පසු අලුත් නිර්මාණ කරන්න බලාපොරොත්තුවක් තිබුණාද?

අයියාගේ හිතේ බලාපොරොත්තු ගණනාවක් තිබුණා. ගාලු පාර කියලා අයියා සින්දුවක් කළා. ගාලුපාර කියලා ප්‍රසංගයක් පවත්වලා ඒ ප්‍රසංගයේ ගාලු පාර ගීතය එළි දැක්වීමටයි අයියාගේ බලාපොරොත්තුව තිබුණේ. ප්‍රසංගය කරන ආකාරයත් මට කිව්වා. ‘ඇනියට නැඟ බලපන්‘ කියලා ගීතයක් අයියා ගායනා කර අවසන්. මම බලාපොරොත්තු වනවා හැකි ඉක්මණින් මේ ගීත දෙක එළි දක්වන්න.

 

සුනිල් එයාගේ පෞද්ගලික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වුණාද?

ඔව් අයියා දිනපතා ව්‍යායාම් කරන කෙනෙක්. මේ ඛ්ධමඪඤවලින් පෙණහලු ආරක්ෂා කරන්න අයියා දිනපතා හුස්ම ගැනීමේ ව්‍යායාමය පවා කළා. අවාසනාවකට අයියා එන්නත් දෙක ලබා ගෙන තිබුණේ නැහැ.

ජීප්සීස්ට අවුරුදු 50 පනින අවස්ථාවේ අයියාට උපහාර ප්‍රසංගයක් පවත්වන්නට මම ලක ලැස්ති කරලා තිබ්බා. අවාසනාවකට කොරෝනා ප්‍රශ්නය නිසා නොහැකි වුණා. පසුකාලීනව රට යථා තත්ත්වයට පත් වූ පසු අයියා වෙනුවෙන් උපහාර උත්සවයක් පවත්වන්න මම බලාපොරොත්තු වෙනවා.

ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!

වාද නැතී, භේද නැතී

ලස්සන ලොව හෙට අපට උදා වේවා!

සුනිල් පැතූ ලෝකය එයයි.

ආදරණීය සුනිල් ඔබට සුව නින්දක්!