සැප්තැම්බර් පොත් දැක්ම මෙවර දෙසැම්බරයේ

පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති උපාලි වනිගසූරිය
සැප්තැම්බර් 16, 2021

 

 

මේ කෙමෙන් කෙමෙන් ගෙවී යන්නේ පොත් මාසයයි. පොතට පතට ආදරය කරන්නන්ට පොත්වල සුවඳ විඳීමින්, ‌පොත් පිටුවල සුවය ඇඟිලිතුඩුවලින් විඳීමින් තමන් කැමැති පොතක් තෝරා ගැනීමේ ආශාව ඇහැට නොපෙනෙන වෛරසයකට යටපත් කරගෙන තව කොතෙක් කලක් සිටින්නට වේවිද? පොත් ලියන්නන්ට කුමක් සිදු වී ඇත්ද? පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති උපාලි වනිගසූරිය මහතාගෙන් විමසමු.

 

කොළඹ පොත් ප්‍රදර්ශනයට මේ වසරේ මොකක් වෙයිද?

අපි හැම විටම උත්සාහ කළේ එක වසරක් හෝ මඟ නොහැර පොත් ප්‍රදර්ශනය තබන්නයි. ඒ නිසා මේ වසරෙත් 17 වැනිදා සිට දින දහයක් අපි බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්‍ත්‍රණ ශාලාව වෙන් කර තබා ගත්තා. ඒත් පවතින තත්ත්වය මත එය පවත්වන්න වන්නේ නැහැනෙ. කොහොම වුණත් අපි බලාපොරොත්තු අතහැර නැහැ. සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලැබුණා සියලු දෙනාම එන්නත්කරණය කරලා රෝගී තත්ත්වය මැඩ පැවැත්වුණොත් දෙසැම්බර් මාසයේ ප්‍රදර්ශනය පවත්වන ලෙස. එනිසා දෙසැම්බර් මාසේ මැද හරිය පහු වුණාම නත්තලට කලින් දින හතක පමණ ප්‍රදර්ශනයක් කිරීමට තමයි සියලු කටයුතු සූදානම් කරගෙන ඉන්නේ.

 

මේ වෙද්දි පොත් මුද්‍රණය මොන වගේ තත්ත්වයකද තිබෙන්නේ?

බොහෝ ප්‍රකාශකයන් පොත් මුද්‍රණය නොකර ඒ සඳහා ලෑස්ති පිට ඉන්නේ. මොකද වැඩි දෙනෙක් පොත් ප්‍රදර්ශනය ඉලක්ක කරලානේ පොත් මුද්‍රණය කරන්නේ. අනෙක මුද්‍රණාලවල සේවකයන් ගෙන්වා ගැනීමේ ගැටලුවකුත් මේ දිනවල තිබෙනවා. සමහර ලේඛකයන් පොත් හතර පහ ලියලා තිබෙනවා. මමත් දෙකක් ලියා සූදානම් කරගෙන ඉන්නේ. ඒ සියල්ල තීරණය වන්නේ පවතින තත්ත්වය සමනය වන ආකාරය අනුවයි.

 

මේ තත්ත්වය පොත්වල මිල ගණන්වලට කොහොමද බලපාන්නේ?

ඇත්තෙන්ම පොත්වල මිල නම් වෙන වාරවලට වඩා වැඩි වෙයි. මොකද කොළවල මිල සියයට පනහකටත් වැඩියෙන් ඉහළ ගිහින්. වෙනදාට රුපියල් 3200ක් වුණු ජීඑස්එම් 70 කොළ රීම් එකක් මේ වෙද්දි රුපියල් 4900 දක්වා ඉහළ ගිහින්. ඒ නිසා කඩදාසි ප්‍රශ්නය දරුණුවට දැනෙනවා. අපි කඩදාසි ආනයනය කරන්නේ ඉන්දියාව, ඉන්දුනීසියාව, චීනය වැනි රටවලින්. පවතින තත්ත්වය නිසා ඒ ආනයන කිරීම්වලදිත් ගැටලු මතුවෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් පොතක මිල නියම කරන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ. මොකද කඩදාසිවල සහ මුද්‍රණයට අදාළ අනෙක් සියලු දේවල මිල අනුව වෙනදා රුපියල් 500ක් මිල නියම කළ පොතක් දැන් 650ක් පමණ මිල කළ යුතු තත්ත්වයක් උදා වෙලා. මේ සියල්ලේ බර පාඨකයන්ටත් දැනෙයි.

 

දේශීය කඩදාසි නිෂ්පාදනයෙන් යම් සහනයක් ගත හැකිද?

වාලච්චේනේ සහ ඇඹිලිපිටියේ කම්හල්වල තවම නිපදවන්නේ ෆයිල් කවර වැනි දේවලට සුදුසු තරමක් ගොරෝසු, සිමෙන්ති කොළ වැනි කඩදාසි වර්ග පමණයි. තවම ඔවුන් ඉන්නේත් පර්යේෂණ මට්ටමේ. ඒවා පොත් මුද්‍රණය කරන්න සුදුසු නැහැ. ලංකාවේ 70 ජීඑස්එම් වගේ කොළ නිපදවන්න පුළුවන් වුණොත් නම් තත්ත්වය වෙනස් වෙන්න තිබුණා.

 

ඒ ගැන පොත් ප්‍රකාශකයන්ගේ සංගමයෙන් අදාළ බලධාරීන් සමඟ කතා කළාද?

ඔවු. අපි දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. අනෙක් කඩ සාප්පු වගේ පොත් සාප්පුවලටත් දිනකට පැයක් හෝ දෙකක් විවෘත කරන්න අවසර දෙන්න කියලා. එවිට අත්‍යාවශ්‍ය කෙනකුට හෝ ඇවිත් පොතක් පතක් ගන්න අවස්ථාව ලැබෙනවානේ. පාසල් දරුවන්ටත් පොත් ගැනීමට නොහැකි වීම විශාල පාඩුවක්. අනෙක් අතට පොත් කියවන්න පුරුදු වී සිටින අයට එය නැති වීම විශාල මානසික ආතතියක්.

 

පොත් මිල ඉහළ ගියත් ලේඛකයන්ට ලැබෙන කර්තෘ භාගය එකමයි?

එහිදී සිදු වන්නේ මුද්‍රණ පිරිවැය දරන්න අපහසු නිසා වෙනදා පොත් දාහක් දෙදාහක් පමණ කරන මුද්‍රණ පන්සියයට පමණ අඩුවන එක. එවිට එය ලේඛකයන්ගේ කර්තෘ භාගයටත් බලපානවා. සම්මත කර්තෘභාගය සියයට දහයක් වුවත් ප්‍රවීණ ලේඛකයන්ට ඊට වඩා ප්‍රතිශතයක් ලබා දීමට බොහෝ ප්‍රකාශකයන් කටයුතු කරනවා.

 

මේ වන විට බොහෝ දෙනා ඔන්ලයින් ක්‍රමයට පොත් ගෙන්වා ගැනීමට හුරු වී සිටිනවා?

ඔවු අපි දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා සමඟත් ඒ පිළිබඳ කතා කළා. ඔන්ලයින් ක්‍රමය විධිමත් කරන්නත් එතුමා පොරොන්දු වුණා. ඒවගේම මුද්‍රණ අමුද්‍රව්‍ය සියල්ලේම මිල ඉහළ ගිය නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ කඩදාසිවලට එහෙම අය කරන වැට් බද්ද හෝ අඩු කරන්න කියලා. පොත් ප්‍රකාශකයන්ට හෝ මුද්‍රණ අමුද්‍රව්‍යවලට බදු රහිත සහන මිලකට කෝටාවක් දෙන්න පුළුවන් නම් ඒක විශාල සහනයක් වෙයි මේ ක්ෂේත්‍රයට වගේම පාඨකයන්ටත්.

 

ඔන්ලයින් ක්‍රමයට පොත් ගැනීම පොත් ප්‍රදර්ශනයට බලපෑමක් කරයිද?

නෑ. එච්චර අලෙවියක් එයින් සිදු වන්නේ නැහැ. ඔන්ලයින් ක්‍රමයට මුළු රටේම අය හුරු වෙලාත් නැහැ. අනෙක පොත් රාශියක් අතපත ගාලා බලලා තමන්ට අවශ්‍ය පොත ඒ වෙලේ ගන්නවා වගේ ආස්වාදයක් නෙවෙයි ඔන්ලයින් ක්‍රමයට පොතක් මිල දී ගන්නවා කියන එක. දැනටත් මරදානේ බොහෝ පොත් සාප්පුවලින් සතියේ දින තුනක් පමණ ඔන්ලයින් ක්‍රමයට හෝ දුරකථන මඟින් පොත් මිල දී ගන්න අවස්ථාව සලසා දී තිබෙනවා.

 

සමහරු තමන්ගේ නිර්මාණ මුහුණු පොත වැනි සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන්නත් පෙලඹිලා?

ඒත් මම හිතන්නේ ප්‍රවීණයන් බොහෝ දෙනා මුහුණු පොත එතරම් භාවිත කරන්නේ නැහැ. තමන්ගේ ප්‍රකාශන පිළිබඳ ප්‍රචාරයක් ලබා ගන්න මුහුණු පොතේ යමක් පළ කරනවා පමණයි.

 

බොහෝ දෙනා නිවෙස්වලම සිටීම නිසා නිර්මාණ වැඩියෙන් ලැබීමේ ප්‍රවණතාවක් දකින්න ලැබෙයිද?

එහෙමමත් නෑනේද? බොහෝ දෙනා නිවෙස්වල හිටියට නිර්මාණයක් කරන්න තරම් මානසික තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. මම වුණත් කන්තෝරුවට ගියත් ඔහේ බලාගෙන ඉඳලා ආපහු ගෙදර යනවා. බොහොම කම්මැළි, කලකිරුණු හැඟීමක් නිර්මාණකරුවන් තුළ වුණත් පවතින්නේ. වෙනදා දින චර්යාව සම්පූර්ණ වෙනස්නෙ. හරි පාළුවක් දැනෙනවා. උදාහරණයක් විදිහට 2020 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උලෙළට නවකතා 109ක්, කවිපොත් 60ක් වගේම යොවුන් නවකතා සහ කෙටිකතා පොත් 30 ගණන බැගින් ඉදිරිපත් වුණා. මෙවර 2021ට එයින් අඩක්වත් මුද්‍රණය වෙලා නැතුව ඇති කියලයි මට හිතෙන්නේ.

 

ඒත් සම්මාන උලෙළ පැවැත්වෙනවානේ?

ඔවු. එය නොවැරැදීම පවත්වනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සුළු පිරිසක් හෝ සහභාගී කරවාගෙන ලේඛකයන්ට දෙසැම්බරයේදී සම්මාන ලබා දීමට අවශ්‍ය සියලු පියවර අපි සූදානම් කර තිබෙන්නේ.

 

ඔබ පාඨකයන්ට මේ මොහොතේ දෙන පණිවිඩය?

කිසිම විදිහකින් බලාපොරොත්තු අතහැර ගන්න එපා. අපි කෙසේ හෝ මේ වසරේත් පොත් ප්‍රදර්ශනය පවත්වන්න පියවර ගන්නවා.