දක්ෂතා සොයාගෙන තුරුණු ශක්ති එක්ක ගමට එන්න සූදානම්

ජාතික නාළිකාවේ අධ්‍යක්ෂ ජනරාල් (වැඩසටහන්) සුමේධ අතුලසිරි
නොවැම්බර් 18, 2021

අපේ ආකෘති දැන් වෙනස්

 

අපි මේ ගමන යන්නේ අපේ අනන්‍යතාව රැකගෙනයි

 

විද්වත් ප්‍රේක්ෂකයාට මෙන්ම තාරුණ්‍යයට කතා කිරීම අපේ අරමුණයි

 

රසවින්දනයට ඔබ්බෙන්වන ගුණාත්මකභාවයත් සමඟ ප්‍රධාන ධාරාවේ නාළිකා ටෙලිනාට්‍ය හා වැඩසටහන් නිෂ්පාදනය කරන්නේ කෙසේද? මේ පිළිබඳ සොයා බලන්න සරසවිය අප සිතුවා. ඒ ගැන කතා කරන්න සරසවිය අපි මුලින්ම තෝර ගත්තේ ජාතික නාළිකාව. ඒ ගැන ජාතික නාළිකාවේ අධ්‍යක්ෂ ජනරාල් (වැඩ සටහන්) සුමේධ අතුලසිරි සරසවිය අපට අදහස් දැක්වූයේ මේ විදිහට.

ජාතික රූපවාහිනිය ඔස්සේ ටෙලිනාට්‍යයක් විකාශය කරන ක්‍රියාවලිය සිදු කෙරෙන්නේ කොහොමද?

එයට වෙනමම ක්‍රියාවලියක් තියෙනවා. නිෂ්පාදකවරයා අපට ටෙලිනාට්‍යයක් රැගෙන ආවම එහි මුල් කොටස් පහළොව මාධ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවකට යොමුකරනවා. එම කමිටුවේ ලකුණු දීමේ නිර්ණායක තිබෙනවා. එහිදී කතාවේ අන්තර්ගතය පිළිබඳව මෙන්ම කාර්මික පැත්ත පිළිබඳවත් අවධානය යොමු කෙරෙනවා. ලකුණු මට්ටම අනූව වෙන්කරන ටෙලිනාට්‍ය නාමාවලියක් අප සතුයි. ඒ මත පදනම්ව අපි අපේ බෙල්ට් එකට ගැළපෙනවනම් එය විකාශය කරන්න අවශ්‍ය වැඩකටයුතු කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනෙ උපරිම ලකුණු ලබාගත් සෑම ටෙලිනාට්‍යයක්ම ජාතික රූපවාහිනීයෙන් විකාශය කරන්න අපි බැදී නැහැ.

 

ඔබ ඔය සඳහන් කරන කමිටුවෙ සාමාජිකයන් කවුරුන්ද?

මෙම කමිටුව තුළ විශ්වවිද්‍යාල මහාචාර්යවරු, කථිකාචාර්යවරු ඇතුළුව ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් ඇති සාමාජිකයින් පිරිසකගෙන් සැදුම්ලත් එකක්. සැමවිටම මෙහි එකම පිරිසක් සිටින්නේ නැහැ. එය වරින්වර වෙනස්වෙනවා. නිර්මාණයක ගුණ දොස් විමසීමට ලංකාවේ කමිටු පත්කරලා නෑ. මේ කමිටුවට ඕනම නිර්මාණකරුවෙකුට තමන්ගේ නිර්මාණය ‍යොමුකර එය කුමන මට්ටමේ එකක් දැයි බලාගන්න පුළුවන්. ඇතැම් නිර්මාණකරුවෝ ඒ සහතිකය ලබාගන්නවා. ඔවුනට එය හොඳ අභිප්‍රේරණයක් තවත් නිර්මාණ කාර්යයක නියැළෙන්නට.

 

මොනවද ඔය කියන නිර්ණායක?

කතාව, තිර රචනය, නාට්‍යයමය ගුණය, අවස්ථා සම්බන්ධ වගේම නිර්මාණාත්මක වටිනාකම, සංකල්පීය අපූර්වත්වය, අධ්‍යක්ෂණයේ නිපුණත්වය, රංගන කෞශල්‍යය, ආඛ්‍යානය හා ආකෘතියේ නව්‍යතාව, කැමරාකරණය, ආලෝකකරණය, සංකේත භාවිතාව, සංස්කරණය ශබ්ද පරිපාලනය, දර්ශන තල භාවිතය, වේශ නිරූපණය, කලා අධ්‍යක්ෂණය, සංගීතය ආදී වශයෙන් කතාව වගේම කාර්මික පැත්ත පිළිබඳවද අවධානය යොමුකරනවා. මේ සියලුම නිර්ණායකයන්ට ලකුණු ලැබෙනවා.

 

මේ කියන ඇතැම් නිර්ණායක දිහා බැලුවම නවක නිර්මාණකරුවන්ට අසාධාරණයක් වනවා කියලයි හැඟෙන්නේ?

එහෙම චෝදනාවක් තිබෙනවා.නවක නළු නිළියන්ට, නිර්මාණකරුවන්ට අවස්ථාව දිය යුතුයි. ඒ ගැන කතාබහකයි ඉන්නේ. තරුණ කණ්ඩායම් වගේම ප්‍රවීණයන් සම්බන්ධ කරගතයුතුයි කියන තැන අප ඉන්නවා.

 

යම් ටෙලිනාට්‍යයක් විශිෂ්ට වෙන්න නම් එයට උපරිම ලකුණු කොපමණ ලැබිය යුතුද?

ලකුණු සියයෙන් බලනවිට ලකුණු අසූපහකට ඉහළ නාට්‍යයක් නම් එය විශිෂ්ට යැයි සැලකෙනවා. හැටපහට වැඩි නිර්මාණශීලී නාට්‍ය මධ්‍යම මට්ටමටයි වැටෙන්නේ. හැට පහට අඩුවෙන් ලබාගන්නා නාට්‍ය අපි හිතනවා විකාශයට සුදුසු නැහැකියලා. එහෙත් සමහර නාට්‍ය නිෂ්පාදකවරු කියනවා ඔවුන් අනුග්‍රාහකයෙක් සොයාගෙන නාට්‍ය පෙන්වන්නම් කියලා. එහෙම ආවත් ඒ ඒ බෙල්ට් එකට නොගැළපෙන නාට්‍යයක් නම් අපි විකාශය කරන්නේ නැහැ. නාට්‍යය විශිෂ්ට වූ පමණින් ම එය විකාශය කරන්නෙත් නැහැ.

ටෙලිනාට්‍ය ආරම්භ කළ මුල් කාලයේ රූපවාහිනිය ඔස්සේ විකාශය වූ විශිෂ්ට යැයි සම්මත හා සම්මානයට පත් වූ ටෙලිනාට්‍යවල තිබුණ රසය හරය දශක ගණනක් ගෙවී ගියත් තවමත් ප්‍රේක්ෂකයාට අමතක නැහැ. අද ප්‍රේක්ෂකයාට එදා ටෙලිනාට්‍ය නැවත දකින්න විදින්න අවස්ථාවක් තියෙනවාද? ඒ වෙනුවෙන් ජාතික නාළිකාවට වගකීමක් තියෙනවා නේද?

ඒ වගකීම අප අපේ කර මතට අරගෙන තියෙනවා හේතූ ගණනාවක් නිසා. ඉන් පළමුවැන්න විකාශයට සුදුසුම නාට්‍ය නොමැතිකම හා මේ වසංගත කාලයේ නිෂ්පාදකවරු නාට්‍ය නිෂ්පාදනයට යොමු නොවීම රූ ගත කිරීම් සිදු කිරීමට නොහැකිවීම ආදී ගැටලු රාශීයකට ටෙලි නාට්‍ය නිර්මාණකරුවන්ට මුහුණ දීමට සිදු වීම හේතුවෙන් ඒ කාලයේදී විකාශය වෙමින් තිබූ නාට්‍යයත් නතර වුණා. 2020 අප්‍රේල් සිටම විකාශය වූ නාට්‍ය විකාශය කිරීමට පියවර ගත්තා.ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන කඩුල්ල වගේ සමහර ටෙලිනාට්‍ය අපි ළඟ නැහැ. ඒවා රූපවාහිනියේ නිෂ්පාදන නොවේ. වර්තමානයේ ඒවා ප්‍රචාරය කිරීමට සුදුසු මට්ටමේ නොවෙයි තිබෙන්නේ. ඉස්සර නාට්‍ය විකාශය වුණේ සතියට එකයි. ඒ නිසා බොහෝ නාට්‍යවල උපරිම කොටස් විස්සක් විසි පහක් තිබුණේ. ලංකාවේ මුලින්ම ආරම්භ කළ මෙගා නාට්‍යය දූ දරුවෝ. එය කොටස් පනහට එහා තිබුණ නාට්‍යයක්. එයත් මේ වනවිට විකාශය කිරීමට සොයා ගැනීමට පවා නොහැකි මට්ටමකයිතිබෙන්නේ. විවිධ හේතූ නිසා ඇතැම් නාට්‍ය විනාශවෙලා තිබෙනවා. කොහොම නමුත් රූපවාහිනිය නිෂ්පාදනය කළ දෑකැති මුවහත, බොරළු පාර, සිරි සිරිමල්, වසන්ත කුසලානය ආදී නාට්‍ය අප විකාශය කරනවා. ඒ වගේම අපේ තිබුණ ඔෂීන් වගේ විදේශීය නාට්‍ය සහ නන්දන වින්දන වගේ පරණ වැඩසටහන් විකාශය කෙරෙනවා.

 

අනෙක් අතට මෙයට ප්‍රතිවිරුද්ධ චෝදනාවක් එන්නත් පුළුවන්. ජාතික රූපවාහිනිය හැමදාම පරණ නාට්‍ය පෙන්න පෙන්න ඉන්නවා. අලුත් නිර්මාණවලට තැනක් නෑ කියලා. ඒ ගැන ඔබට මොනවද කියන්න තිබෙන්නේ?

ඉස්සර ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය පමණක් වූ නාළිකා වෙනුවට අද රූපවාහිනි නාළිකා බොහොමයක් ඇවිත්. අද ප්‍රේක්ෂකයා වෙනස් වෙලා. අද රසවින්දනය වෙනස් වෙලා. නාට්‍යයක් විශිෂ්ට වුවත් ඒවා ජනප්‍රිය නැහැ. අපේ උත්සාහයත් ගුවන් කාලයෙන් වැඩි ආදායමක් ඉපැයීම. නාට්‍යයේ රසය වගේම මේ නාට්‍ය ජාතික නාළිකාවෙන් විකාශය වන නිසා අනිවාර්යයෙන්ම නාට්‍යයේ ගුණාත්මකභාවය පිළිබඳවත් සිතිය යුතුමයි.

බොහෝ නාළිකා ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය ඔවුන්ම කරන්න පටන් අරන්. ඇයි ජාතික රූපවාහිනිය එය නොකරන්නේ?

අපියි මුලින්ම ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්‍රියාවලියට අත තිබ්බේ. සම්මාන ලැබූ නාට්‍ය විශාල ප්‍රමාණයක් අප සතුයි. නම ගිය නිර්මාණකරුවන් රාශියක් බිහිවුණෙත් ජාතික නාළිකාව නිසා. පසුගිය කාලයේදීයී ඔය ප්‍රශ්නය මතු වුණේ. එළියට ගිහින් නාට්‍යයක් නිර්මාණයට කාලයක් නොවේ මෙය. අනෙක් අතට අපිට ජාතික වගකීමක් තිබෙනවා එළියේ වෘත්තීමය වශයෙන් නිර්මාණකරණයේ නියැළෙන නිර්මාණකරුවන්ගේ නිර්මාණ විකාශය කිරීමට. එහෙම නොවුණොත් ඔවුන්ගෙන් විශිෂ්ට ගණයේ නිර්මාණ ගිලිහෙනවා. ජනමාධ්‍ය ඇමැතිතුමාගේ උපදේශය නම් ආයතනයෙන් පිට නිර්මාණකරුවන්ට අවස්ථාව ලබාදෙන්න කියන එකයි. එය කර්මාන්තයට ලොකු සහයෝගයක්.

 

ජාතික නාළිකාවේ වැඩසටහන් ආකෘතීන් වෙනස් වෙලා?ඇයි එවැනි තීරණයක් ගන්න හිතුවේ?

ජාතික රූපවාහිනියට ලබන වසරේ පෙබරවාරි මාසයට අවුරුදු හතළිහක් වෙනවා. පවතින මාධ්‍ය තරගකාරීත්වයත් එක්ක අපි හිතුවා සංස්කෘතියට හානියක් නොවන ආකාරයට යම් යම් වෙනස්කම් කරන්න. එහිදී ආකර්ෂණීයබව වැඩිවෙලා තියෙනවා. ඒ නිසාම ප්‍රේක්ෂකයා වැඩි වශයෙන් අප සමඟ එකතු වෙලා තියෙනවා. එය හොඳ ප්‍රවණතාවක්. පසුගිය වසරේ අප සමීක්ෂණයක් කළා එහිදී මතු වූ ප්‍රධානම කාරණය නම් අප සමඟ එකතුවන්නේ ඉහළ රසවින්දනයක් ඇති අධ්‍යාපනයක් ඇති මැදිවියට පත් ව ඇති ප්‍රේක්ෂකයා. අපි හිතුවා මේ ප්‍රේක්ෂකයා රැකගන්න ගමන්ම අපේ ප්‍රමිතිය හා ගුණාත්මක බව රැකගෙන තාරුණ්‍යයට තව ටිකක් ළඟ වැඩසටහන් කරන්න. එය අතිශය සාර්ථකයි. එහි ආරම්භක වැඩසටහන කෝක් රෙඩ්. එය සංගීතමය වැඩසටහනක්. ගීත රසවින්දනය හුරු කිරීම අරමුණු කරගනිමින් අපේ සිංදුව, බයිලා සාදය වගේ වැඩසටහන් නිර්මාණය කළා. ඒවට හොඳ ප්‍රතිචාර තිබෙනවා.

 

දරුවන් වෙනුවෙන් ජාතික රූපවාහිනීය ජාතික කාර්යයක නියැළෙනවා?

ජාතික රූපවාහිනියේ අපි කිසිවිටෙකත් අනාගත පරපුර අමතක කර නැහැ. බොහෝ නාළිකාවල දවල් එකේ සිට විකාශය වෙන්නේ දෙමළ හෝ හින්දි චිත්‍රපට. මේවායේ ප්‍රචණ්ඩත්වය වැඩියි. දෙමාපියන් දරුවන්ට මේ චිත්‍රපට බලන්න දෙන්නේ නෑ. අපි හිතුවා ඒ කාලය දරුවන් වෙනුවෙන් වෙන් කරන්න. අපි පටන්ගත්තා ඒ කාලයට සංගීත වැඩසටහනක්. එය ඉතාම සාර්ථකයි. ඒ වැඩ සටහනට කතා කරන්නේ පොඩි දරුවෝ. සවස 2.00 සිට 5.00 වන තුරුම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ළඟ එන අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අපි පුනරීක්ෂණ වැඩසටහන් ආරම්භ කළා. මේවයේ උගන්වන්නේ ලංකාවේ ජනප්‍රියම ටියුෂන් ගුරුවරු. කොළඹ ළමයට වගේම ගමේ ළමයටත් මේ ගුරුවරුන්ගෙන් ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම නේත්‍රා ටීවී පාන්දර 4.00 සිට රාත්‍රී 12 වන තුරු පැය 18 ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරලා තියෙනවා.

 

'කාටූන් නම් ජාතික රූපවාහිනිය තමයි' මෙහෙමත් කාලයක් තිබුණා. ඇයි දැන් දොස්තර හොඳහිත වගේ කාටූන් විකාශය නොවෙන්නේ?

පරණ කාටූන් බලන්න ලොකු කුඩා භේදයකින් තොරව සියලු දෙනාම කැමැතියි. ඒවායේ රූප මෙන්ම හඬ සහ වචන ඉතාම සිත් ගන්නා සුලුයි. පිටරටවල නිමැවෙන මේ කාටූන් සිංහල දෙබස් මුසු කරන්නේ ජාතික රූපවාහිනිය. ඒවා අපේ නිෂ්පාදන. දැන් එවැනි කාටූන් මිලදී ගැනීමට විශාල මුදලක් වැය කළ යුතුයි. ඒ නිසා එතැනට යන්න අපහසුයි.

 

වෙනත් නාළිකා මඟින් බිහිවන තරු පසුකාලීනව ඔවුන්ගේ නිෂ්පාදන කාර්යයන් සඳහා යොදා ගන්නවා. ජාතික නාළිකාවට එහෙම වැඩපිළිවෙළක් නැද්ද?

ඔබ හරි. 2016 සිට මේ දක්වා ජාතික නාළිකවේ කිසිදු නිෂ්පාදන කාර්යක් සිදු වෙලා නෑ. ඒ නිසා ඒ අවස්ථාව දෙන්න පුළුවන් වෙලා නෑ. ඔවුන් වෙනත් නාළිකවල නිර්මාණ කටයුතුවල නියැළෙනවා.

 

සමාජ මාධ්‍ය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නාළිකාවලට ප්‍රබල අභියෝගයක් වී ඇති කාලයක ඒ අභියෝගයට ජාතික නාළිකාව කොහොමද මුහුණ දෙන්නේ?

ජාතික රූපවාහිනියත් ඒ තරගයට එකතුවෙලා තියෙන්නේ. අපේ විශේෂත්වය අපි අපේ සංස්කෘතිය හා සභ්‍යත්වය අපේකම රැකගෙනයි තරග කරන්නේ. පසුගිය කාලයේ අපට ඒ තරගයට එකතුවෙන්න වැඩපිළිවෙලක් තිබුණේ නෑ. ඒත් දැන් ඒ වැඩ පිළිවෙල ක්‍රියාවට නංවා තිබෙනවා.

 

අනාගතේ මොනවගේ වෙනස්කම්ද ජාතික නාළිකාවෙන් අපිට දකින්න පුළුවන්?

අනූව දශකයේ අග භාගයේ බිහි වූ ලංකාවේ පළවෙනි රියැලිටි අත්දැකීම තුරුණු ශක්තී නැවත ජාතික තරුණසේවා සභාව හා එක්ව සංවිධානය කෙරෙනවා. එය එළඹෙන 26 වැනිදාට යෙදෙන යෞවන සම්මාන උලෙළ හා සමගාමීව ආරම්භ කෙරෙනවා. හැකියාව පෙන්වන්න කොළඹට එන තරුණයා වෙනුවට ඔවුන්ගේ ගමටම ගිහින් ඔවුන් සොයා ගන්න අපි සූදානම්.