ජයලලිතාගේ කැලළ කන්ගනාට ඉතුරු වෙලා

දෙසැම්බර් 2, 2021

අභාවප්‍රාප්ත තමිල්නාඩු මහ ඇමතිනී සහ හිටපු නිළි ජයලලිතාගේ ජීවිතය පදනම් කරගත් 'තලෙයිවි' චිත්‍රපටය විචාරක ප්‍රතිචාර ඉහළින් දිනූ චිත්‍රපටයක් බවට පත් වී තිබේ. එහි රංගනය වෙනුවෙන් කන්ගනා රනවුත් පසුගියදා පැවති ඉන්දීය ජාතික සම්මාන ප්‍රදාන උලෙළේදී හොඳම නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වූවාය. 'තලෙයිවි' තුළින් ජයලලිතාගේ ජීවිතයේ විවිධ පැතිකඩ විදහා දක්වන අතර තරුණ වියේදී නිළියක් ලෙස දෙමළ සිනමාවේ මුහුණුවර කරා යන ගමන මෙන්ම විප්ලවවාදී නායිකාවකගේ නැගීසිටීම ද පෙන්නුම් කරයි.

චිත්‍රපටය වෙනුවෙන් කන්ගනා ඇයගේ බර සකස් කර ගැනීම නිසා ශරීරයේ "ස්ථිර සලකුණු" ඇති වූ ආකාරය ගැන මෑතකදී සිහිපත් කළාය. "මාස 6 ක් තුළ කිලෝග්‍රෑම් 20ක් වැඩිකර මාස 6 ක් ඇතුළත ඒ සියල්ල අඩු කර ගැනීම නිසා අවුරුදු තිහක ජීවිත කාලය තුළදී මගේ ශරීරයේ බොහෝ දේ අවුල් විය" ඇය ඉන්ස්ටග්‍රම් සටහනක් තබමින් පැවසුවාය.

කන්ගනා බොහෝ දේ වෙනුවෙන් කතා කරන්නට ගොස් චෝදනා ලබන අයුරු පසුගිය කාලයේ අපට නිරන්තරයෙන් අසන්න ලැබුණි.

පසුගිය සතියේදී සීක් ප්‍රජාවට අපහාස වන ආකාරයේ භාෂාවක් භාවිතා කළ බවට චෝදනා කරමින් ඇයට එරෙහිව දිල්ලි සික් ගුර්ද්වාරා කළමනාකරණ කමිටුව විසින් ඛාර් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කරන ලදී. ඉන්ස්ටග්‍රම් සටහනකින් කන්ගනා තම සංස්කෘතියට එරෙහිව අපහාසාත්මක අදහස් පළ කළ බවට එම චෝදනාවේ සඳහන් වේ.

ඇය මීළඟට දකින්නට ලැබෙන්නේ 'ධකාඩ්' චිත්‍රපටෙයනි. එහි ඇය ප්‍රහාරක ගුවන් නියමුවරියක ලෙස චරිතය නිරූපණය කරන්නීය. 2016 වසරේදී එරට සටන්කාමී භූමිකාවන් සඳහා කාන්තාවන් යොදා ගත්තේ ඉන්දියානු ගුවන් හමුදාවයි. මෙම චිත්‍රපටය ඒ සමඟ බැඳී තිබේ. තවද ඇය 'තේජාස්'' චිත්‍රපටයේ රූගත කිරීම්වලට ද දායක වී සිටී.