වයස් පරතරයේ ගැටලුව

දෙසැම්බර් 2, 2021

අක්ෂේ කුමාර්, ධනුෂ් සහ සාරා අලි ඛාන් රංගනයෙන් දායක වන 'අත්‍රංගි රේ' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය පසුගිය සතියේ මුදාහැරුණි. මෙම චිත්‍රපටයේ රිකූ නම් තරුණිය විෂූ සහ සජීඩ් නම් තරුණයන් දෙදෙනෙකුට පෙම් කරන කතා පුවතක් ඇතුළත් වේ. සැබෑ ජීවිතයේ විසිහය හැවිරිදි සාරාට වඩා අක්ෂේ අවුරුදු 28ක් සහ ධනුෂ් අවුරුදු 12ක් වයසින් වැඩිමහල් වේ. පූර්ව ප්‍රචාරකපටය නිකුත් කිරීම සමඟ ඇතැමුන් අදහස් දක්වා තිබෙන්නේ මෙම වයස් පරතරයන් නිසා චිත්‍රපටය පසුබෑමට ලක්ව ඇති බවයි.

මෙයට පිළිතුරු දක්වමින් අධ්‍යක්ෂ මෙන්ම සම නිෂ්පාදකවරයෙකු ද වන ආනන්ද් එල් රායි කියා සිටියේ ප්‍රේක්ෂකයන් පැය දෙකක් චිත්‍රපටය නැරඹීමෙන් පසුව එයට ප්‍රතිචාර දැක්විය යුතු බවයි. 'අත්‍රංගි' යන්නෙහි තේරුම හාස්‍යජනක අමුතු සහගත බවත් එනිසා නළු නිළියන් මේ අයුරින් තෝරා ගැනීමට හේතුව කුමක්දැයි දැන ගැනීමට ජනතාව බලා සිටිය යුතු බවත් ඔහු පැවසීය. මෙම චිත්‍රපටයේ ත්‍රිකෝණ ආදර කතාවකට වඩා වැඩි දෙයක් ඇති බවත් ඔහු සඳහන් කළේය. ඒ අතර රායි විසින් සාරා හඳුන්වා දුන්නේ යොවුන් පරපුරේ නළු නිළියන් අතරින් විශිෂ්ටතම තැනැත්තියක ලෙසිනි. 'අත්‍රංගි රේ' චිත්‍රපටය ගැන පවසමින් සාරා ප්‍රකාශ කර තිබුණේ බොලිවුඩයේ දැවැන්ත තරුවක් වන අක්ෂේ සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලැබීම සිය රංගන දිවියේ ලද භාග්‍යයක් ලෙසයි.