මැල්කම් ප්‍රදිනාන්දු ගැන සමරු සටහනක්

දෙසැම්බර් 2, 2021

මොරටුවේ මැල්කම් ප්‍රදිනාන්දු යන නම ඇසු පමණින් සරසවිය පාඨකයන්ට නම් නුහුරු නුපුරුදු නොවේ. දශක ගණනක් පුරා පාඨකයෙක් ලෙසින් සරසවිය පුවත්පත සමඟ අත්වැල් බැඳගෙන සිටි මැල්කම්, කලා කටයුතු රැසකට සිය දායකත්වය ලබා දුන් කලාකරුවෙකි. මොරටුවේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට අනුබද්ධව පිහිටුවන ලද චින්තන කලා හවුලේ නාට්‍ය අධ්‍යක්ෂවරයා ලෙසින් ඔහු නාට්‍ය කිහිපයක්ම නිර්මාණය කළේය. ප්‍රවීණ නාට්‍යවේදී ධම්ම ජාගොඩ ඔහුගේ නාට්‍ය ආචාර්යවරයා විය.

'චාපා', 'උත්පලා' සහ 'වීරකම්' යනු මැල්කම්ගේ නාට්‍ය නිර්මාණ අතරින් කිහිපයකි. එම නාට්‍යවල කතා පිටපත, දෙබස් සහ ගීත රචනා ද ඔහුගේ ම විය. සරසවිය පුවත්පතේ හත්වැනි පිටුවට හත්දෙනෙකු පිළිබඳ ලිපිය සම්පාදනය කළේ ද මැල්කම් විසිනි. 1953 වසරේ නොවැම්බර් මස 12 වැනිදා උපත ලද මැල්කම් ප්‍රදිනාන්දු පසුගියදා දිවිසැරිය නිම කළේය. කලා තොරතුරු ඇතුළත් ලිපි එක්කොට අනාගත පරපුරේ දැන ගැනීම උදෙසා ඔහු කෘති කිහිපයක්ම සම්පාදනය කර තිබීම පැසසිය යුතු කරුණකි.

- යතේජා