චාරුමතී

දෙසැම්බර් 2, 2021

රොඩ්නි විදානපතිරණ විසින් රචිත 'චාරුමතී' නවකතාව නිකුත් වී ඇත. තරුණයා පුවත්පතේ කර්තෘ, දිනපතා ලංකාදීප පුවත්පතේ විධායක මාධ්‍යවේදියෙකු ලෙසින් කටයුතු කරමින් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, ගී පද රචකයෙකු ලෙසින්ද කලා ලොවට අනගි මෙහෙයක් ඉටු කළ රොඩ්නිගේ කුලුඳුල් නවකතාව වන්නේ මෙම කෘතියයි. 'චාරුමතී' නවකතාවට පසුබිම්වී තිබෙන්නේ හදිසියේ රෝගාතුරව මෙලොවින් සමුගෙන ගිය ඔහුගේ ආදරණීය බිරියගේ ජීවිත අත්දැකීම්ය.

 


බේරෙ ගෙදර සිට

'බේරෙ ගෙදර සිට' කෘතිය ප්‍රවීණ පුවත්පත් කලාවේදිනී අනුල ද සිල්වා, වෘත්තීය පුවත්පත් කලාවේදිනියක ලෙසින් ඇය ලේක්හවුස් ආයතයේදී ලද අත්දැකීම් විස්තර කරමින් රචනා කළ කෘතියකි. නවකතා, කෙටිකතා, යොවුන් සාහිත්‍ය කෘති, චරිතාපදාන සහ පරිවර්තන කෘති රැසක් රචනා කර ඇති අනුල ද සිල්වා රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිකර ගත් ලේඛිකාවකි. 1964 වසරේ දී මිහිර ළමා පුවත්පතේ සහය සංස්කාරකවරියක ලෙසින් පුවත්පත් කලා ජීවිතය ඇරඹූ ඇය පසුව මිහිර පුවත්පතේ කතු පදවිය ද තරුණි පුවත්පතේ කතු පදවිය ද හෙබවුවා ය. 'බේරෙ ගෙදර සිට' කෘතිය එම්.ඩී. ගුණසේන ප්‍රකාශනයකි.


ලත අතුළ නගරය

'ලත අතුළ නගරය', ජගත් ජේ. එදිරිසිංහ විසින් රචිත නවතම කාව්‍ය සංග්‍රහය යි. පසුගිය වසර හතරක් පුරා ඔහු රචිත කවි එකතුවක් මෙලෙස නිකුත් වී ඇත. 'සිසිරයේ පිපුණු මල', 'රාජාලි පියාපත', 'වියෝලය දරාගත් මිනිසා' මීට පෙර ඔහු රචනා කළ කාව්‍ය සංග්‍රහයක් කිහිපයකි. 'කන්ද උඩ මාළිගාව' කෙටිකතා එකතුව සහ 'අසුර අඩවිය', 'ගිම්හාන සුළඟ', 'ඉස්කෝලෙ කාලේ', 'කාලාග්නි' ඔහු රචිත නවකතා අතර වේ.


මකරන් දඩයම

කාංචනා කුමාරි දොඩන්ගොඩ විසින් රචිත 'මකරන් දඩයම' නවකතාව නිකුත් වී ඇත. 'මකරන් දඩයම', ස්කැන්ඩිනේවියානු කලාපයේ ඇය කළ සංචාරයක් අතරතුර ලද අත්දැකීම් පාදක කොට ගෙන රචනා කර තිබේ. 'ඉතින් නික්ම යමි' කාංචනා කුමාරි විසින් රචිත පළමු නවකතාවයි.