ටෙලිවිෂනය ඩිජිටල් යුගයට

දෙසැම්බර් 30, 2021

 

මෙරට රූපවාහිනී විකාශන ඩිජිටල්කරණය ව්‍යාපෘතියේ නිල සමාරම්භක උත්සවය පසුගියදා (28) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි. ජපාන අන්තර්ජාතික සහයෝගීතා ආයතනයේ මූල්‍ය හා තාක්ෂණික ආධාර ඇතිව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය සැලසුම් කොට මෙහෙයවනු ලැබේ.

මෙරට ප්‍රථම රූපවාහිනී නාලිකාව 1979දී අප්‍රේල් මස 14 වැනිදා "ස්වාධීන රූපවාහිනී සේවය" නමින් ආරම්භ වුණු අතර එය කොළඹ අවට කිලෝමීටර පනහේ සීමාව තුළ පමණක් විකාශය විය. ඩිජිටල් භෞමික රූපවාහිනී විකාශය වෙත සංක්‍රමණය වීමෙන් නරඹන්නන් විකාශකයින් සහ රජය යන පාර්ශ්ව තුනටම ප්‍රතිලාභ අත් වෙයි. රූපවාහිනී සංඥා දුර්වලතා ඉවත් කිරීම නිසා සුපැහැදිලි දසුන් සහිත වැඩසටහන් නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයාට උදාවන අතර බහු රූපවාහිනී ඇන්ටනා ඉවත් කොට එක් ඇන්ටනාවකින් සියලු රූපවාහිනී නාලිකා ග්‍රහණය කර ගැනීමට හැකි වීම ඩිජිටල්කරණයේ වාසියකි.

ලොව පුරා රූපවාහිනී පද්ධතිය වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතී. මේ ප්‍රවණතාවට අනුගත නොවුණහොත් වර්තමානයේ භාවිත තාක්ෂණය යල්පැන ගිය එකක් බවට පත්වීම වැළැක්විය නොහැකිය. මෙම අභියෝගයන් ජය ගැනීම සඳහාත්, නාස්තිය පිටු දැක කාර්යක්ෂමතාව නැංවීම සඳහාත් රූපවාහිනී විකාශ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබීය.