ජාතික චිත්‍රපට සංස්ථාවේ පනස් වසර උත්සවය හෙට

ජනවාරි 20, 2022

සිංහල කථානාද සිනමාවට වසර 75ක් සපිරෙන අවස්ථාවේදී ජාතික චිත්‍රපට සංස්ථාවට ද පනස් වසරක් සම්පූර්ණ වේ. ඒ වෙනුවෙන් ප්‍රධාන උත්සවය හෙට (ජනවාරි 21) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වේ.

එම අවස්ථාවේදී සිංහල සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා ආචාර්ය සුමිත්‍රා පීරිස් වෙත ගෞරව සම්මානයක් පුද කිරීමට නියමිතව ඇත. තවද චිත්‍රපට සංස්ථාවේ සිනමා ඩිප්ලෝමාව ලබා නිර්මාණකරණයට පිවිස අන්තර්ජාතික ඇගයීමට ලක් වූ අධ්‍යක්ෂවරුන් අට දෙනෙකු ඇගයීමට ලක් කිරීමට ද කටයුතු යොදා ඇත. ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ අභිවෘද්ධියට විශ්‍රාම වැටුප් පිරි නැමීමට ජාතික චිත්‍රපට සංස්ථාව කටයුතු යොදා ඇති අතර එය සංකේතවත් කරමින් ජ්‍යෙෂ්ඨ කලාකරුවන් 25 දෙනෙකු හට විශ්‍රාම වැටුප් පිරිනැමීම ද මෙම අවස්ථාවේදී සිදු කෙරෙනු ඇත. මෙරට ප්‍රකට සිනමා රචකයෙකු වූ ආතර් යූ. අමරසේනගේ ' සිංහලයේ මහා සිනමා වංශය' දෙවැනි කොටස සංස්ථා ප්‍රකාශනයක් ලෙස දොරට වැඩීම සහ චිත්‍රපට සඟරාවේ විශේෂ කලාපය නිකුත් කිරීම ද එදින සිදු කෙරේ.

ජාතික චිත්‍රපට සංස්ථාවට ද පනස් වසරක් සපිරීම නිමිති කොට ගෙන තවත් විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක වීමට නියමිතව ඇත. කැලණියේ පිහිටා ඇති සරසවි චිත්‍රාගාරයේ එදාමෙදාතුර භාවිත කළ උපකරණ යොදා ගනිමින් සිනමා කෞතුකාගාරයක් ස්ථාපිත කිරීම මෙන්ම තැපැල් දෙපාර්තුමේන්තුව හා එක්ව මුද්දර පහක් නිකුත් කිරීම ද සිදු කෙරේ. රේඛාව චිත්‍රපටයේ ඡායාරූපයක් ඇතුළුව සිනමාවේදී ටෝනි රණසිංහ, සංස්ථාවේ ප්‍රථම සාමාන්‍යාධිකාරී ඩී. බී. නිහාල්සිංහ, මහාචාර්ය සුනිල් ආරියරත්න හා ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණියගේ රුව රැගත් මුද්දර ඒ අතර වේ.