යූටියුබයේ සමනයි විජියයි

පෙබරවාරි 3, 2022

යූටියුබ් පරිශීලනය කරන ඔබ ඇතැම් අවස්ථාවකදී ඔවුනගේ වීඩියෝ නිර්මාණ දැක තිබෙන්නට පුළුවන. සමනයි විජියයි නමින් නිර්මාණය වූ ඒවා හාස්‍යෝත්පාදක කතාංග ලෙසට ඔබ වෙත ගෙන එයි. හාස්‍යයටම පමණක්ද නොව සමාජයට පණිවුඩයක්ද දෙමින් සමනයි විජියයි ඔබව පිනවයි. මෙලෙස එම චරිත නිරූපණය කරන දෙදෙනා පසුගිය පසුගියදා සරසවියට ආවෝය. ඒ ඔවුනගේ තතු විත්ති ඔබ වෙත ගෙන ඒමේ අරමුණෙනි. මේ ඔවුන් පිළිබඳ ලියැවුණු සටහනකි. පළමුව අප කතාබහට එකතු කර ගත්තේය සමනා ලෙස රඟපාන සමන් කුමාර ගමගෙයි.

ඇත්තටම මම දිගු කාලයක් තිස්සේ නළුවෙක් විදිහට මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්නවා. අපේ අම්මා, පස්,අහිමි, අලු යට ගිනි, ඉරට ළඟ මිනිස්සු ආදී නාට්‍ය ගණනාවක මම විවිධ චරිත රඟපෑවා පහුගිය දිනවල. වේදිකා නාට්‍යවලත් රඟපෑවා. රංගනය වෙනුවෙන් සහ වේදිකා නාට්‍ය නිර්මාණය වෙනුවෙන් මට සම්මාන පවා හිමි වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් සමනයි විජියයි කියන වීඩියෝ මාලාවෙන් තමයි වැඩිපුර මිනිස්සු අතරට යන්න මට වාසනාව උදාවුණේ. මට විතරක් නෙමේ විජියට රඟපාන විජිතටත් එහෙමයි. සමනයි විජියයි කතා මාලාවට අදහස එන්නේ කොරෝනා කාලයේ. අපිට වැඩ නැතුව ගෙදරට වෙලා ඉන්න සිදු වුණානේ. ඒක ඇත්තටම අමුතුම හුදකලාවක්. ඔය අතරතුරදී තමයි සමනයි විජියයි සංකල්පය අපි යූටියුබ් එකට ගෙන එන්න අදහස් කළේ. ඒ වෙනකොට ඉතා විශාල සංඛ්‍යාවක් යූටියුබ් එක පරිශීලනය කරමින් සිටියා. අපි ලොකු දුෂ්කරතාවයන් මධ්‍යයේ තමයි මේ නිර්මාණය රූපගත කළේ. එක පැත්තකින් කොරෝනා. නමුත් අපි හැකි පරිදි රූගත කළා. රිලීස් කළාට පස්සෙ ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක්. දිගින් දිගටම එම වීඩියෝ නිර්මාණය කරන්නට අප බලාපොරොත්තු වෙනවා.

සමන්ගෙන් අනතුරුව අපත් එක්ක කතා බහකට එකතු වුණේ විජියා ලෙස රඟපාන විජිත් හේවාවිතාරණගේ.

ඇත්තටම සමන් කිව්වා වගේ කොරෝනා කාලයේ අපිට වෙච්ච හුදෙකලාවත් එක්ක තමයි මේ නිර්මාණය පටන් ගත්තේ. ඒ සිතුවිල්ලෙන් පටන්ගත්තත් එහි වැඩ කටයුතු කරගෙන යද්දි අභියෝග රැසකට අපිට මුහුණ දෙන්න සිදුවුණා. අපේ මේ වැඩෙත් එක්ක සමහර අපේ හිත මිතුරු නළුවෝ අපෙන් ඇහුවා ඔය දෙන්නා විතරක්ද මේකෙ රඟපාන්නෙ අපිව ගන්නේ නැද්ද, කියලා එහෙම අහපු සමහර අය අපි දෙන්නා තරහ කරන්නටත් හැදුවා. නමුත් අපි ඒ කිසිවක් කනකට ගන්නෙ නැතුව මේ වැඩකටයුතු හිමීට කරගෙන යනවා. අපි නිර්මාණය කළ අමුඩේ කියන වීඩියෝ එකට තමයි ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණේ. අදටත් ඒක බලලා මිනිස්සු අපිට කතා කරනවා. සමහර අවස්ථාවලදී අපි මේ වීඩියෝ ක්ලිප් කරන්න ගිහිල්ලා ගස්වලින් වැටිච්ච් අවස්ථාවනුත් තියෙනවා. කෙසේ වෙතත් මේ වීඩියෝ නරඹලා කමෙන්ට් දෙන බොහෝ අයට බොහොම ස්තූතියි. මමත් කාලයක් තිස්සේ රංගනයේ නියැළෙනවා. ඉරට ළඟ මිනිස්සු, අපේ අම්මා, වෙස්ගත්තෝ ආදී නාට්‍යවල මේ දවස් වල රංගනයෙන් දායක වෙනවා. මේ වෙලාවේ මම මතක් කරන්න ඕන විශේෂයෙන්ම අපිට උදව් කරපු චමින්ද උඩුවෙල, සමන්ත කුමරගමගේ, ලක්ෂ්මන් පුෂ්පකුමාර, වසන්තක කේ වැල්ලවාය, රන්ජන් ප්‍රසන්න, සජීව සංකල්ප, දික්වැල්ල විදානගේ යශෝද් කියන පිරිස.

සේයාරූ - නිශ්ශංක විජේරත්න