මල්ටි මාරි

ජුනි 23, 2022

 

ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස් ඉහළ ජනප්‍රියත්වයක් උසුලන තරු දෙකකි. කලා කටයුතුවල සාර්ථකත්වය අත්විඳීමින් සිටින ප්‍රියංකා සහ නික් පසුගිය ජනවාරි මාසයේදී සිය ජීවිතයේ නව පරිච්ඡේදයකට පිවිසියේ මා පිය පදවි ලබමිනි. ගර්භාෂ කුලියට ගැනීමේ ක්‍රමය ඔස්සේ ආදේශක මවකගෙන් ඔවුන්ගේ කැදැල්ලට පැමිණියේ දියණියකි. ඔවුහු සිය දියණියගේ නම ප්‍රසිද්ධියට පත් කර සිටියේ මෙම වසරේ මව්වරුන්ගේ දිනයේදීයි. ඇය මල්ටි මාරි චොප්රා ජෝනාස් නම් වන්නීය. ප්‍රියංකා ඉඳහිට පින්තූර කිහිපයක් බෙදා ගත්තද, අන්තර්ජාලය ඔස්සේ කිසිවකුට තවමත් ඇගේ සුන්දර මුහුණ දැකගත නොහැකි වී තිබේ.

පසුගිය දිනෙක ප්‍රියංකා - නික් යුවළ දියණියගේ උපතෙන් පසු ඇගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳ ප්‍රසිද්ධියට පත් කර තිබුණි. ප්‍රියංකා චොප්රා සවිස්තරාත්මක සටහනකින් මල්ටිගේ උපත පිළිබඳවත් සිඟිති මල්ටි හට සෞඛ්‍ය ගැටලු ඇති බවත් හෙළි කර සිටියාය. එහි සඳහන් වන්නේ තම දියණිය වන මල්ටි මාරි චොප්රා ජෝනාස් නිවසට ගෙන යාමට පෙර අලුත උපන් දරුවන් වෙනුවෙන් වූ දැඩි සත්කාර ඒකකයේ දින 100 කට වැඩි කාලයක් ගත කළ බවයි. එය තම ජීවිතයේ ඇදහිය නොහැකි තරම් දුෂ්කර කාලයක් වූ බවද ඔවුහු පවසති. ප්‍රියංකා වැනි සහකාරියක තමා අසල සිටීම ගැන තමා ස්තුතිවන්ත වන බවත් මල්ටිගේ උපතින් පසු ඇය තම ජීවිතයේ දැවැන්තම ශක්තිය වූ බවත් නික් පැවසීය.