වරුන්-ජාන්වි යුරෝපයේ

ජූලි 21, 2022

වරුන් ධවාන් සහ ජාන්වි කපූර් මේ දිනවල කාලය ගත කරන්නේ යුරෝපයේය. ඒ ඔවුන්ගේ නවතම චිත‍්‍රපටය වන ‘බවාල්‘ හි රූගත කිරීම් හේතුවෙනි. යුරෝපයේ ඉතාම සුන්දර දර්ශන සහිත ප‍්‍රදේශ රැසක ‘බවාල්‘ චිත‍්‍රපටයේ රූගත කිරීම් සිදු කෙරේ. 2023 වසරේ අපේ‍්‍රල් මාසයේදී නිකුත් කිරීමට නියමිත ‘බවාල්‘ චිත‍්‍රපටය පේ‍්‍රම කතාවක් පසුබිම්කර ගෙන නිර්මාණය වන්නකි. එය නගරයේ සුරූපි තරුණියකට පෙම් බඳින තරුණයකුගේ කතාව කියයි. ඇය සමඟ විවාහ වීමෙන් තම සමාජ තත්ත්වය ඉහළ නංවා ගැනීමට ඔහු බලාපොරොත්තු වේ. නිතේෂ් තිවාරි විසින් අධ්‍යක්ෂණය කෙරෙන මෙම චිත‍්‍රපටය නිෂ්පාදනය කරන්නේ සජිද් නදියද්වාලාය.
 
 මේ වන විට වරුන් සහ ජාන්වි රූගත කිරීම් අතරතුර ගත සුන්දර ඡුායාරූප රැසක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇත. ඇම්ස්ටර්ඩෑම් හි රූගත කිරීම් නිම කිරීමෙන් පසු පෝලන්තයේදී ද රූගත කිරීම් යෙදී ඇත. වරුන් ධවාන්ගේ බිරිඳ නතාෂා දලාල් මේ ගමනට එක් වී සිටින්නීය.
 
 ජාන්වී ලබන 29 වැනිදා සිට ‘ගුඞ් ලක් ජෙරී’ චිත‍්‍රපටයෙන් දැකගත හැකිය. ඇය රංගනයෙන් දායක වූ ‘මිලි සහ මිස්ටර් ඇන්ඞ් මිසිස් මහී‘ චිත‍්‍රපටද මේ වසරේදී නිකුත් වීමට නියමිතව ඇත. වරුන් අවසන් වරට දකින්නට ලැබුණේ ‘ජග් ජග් ජියෝ’ චිත‍්‍රපටයෙනි. ඔහු මීළඟට ක‍්‍රිති සැනොන් සමඟින් ‘භෙදියා‘ හි දැකගත හැකිය.