වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
බොලිවුඩයේ ගින්නක්

රන්බීර් කපූර් සහ ශ‍්‍රද්ධා කපූර් පළමු වරට රිදී තිරයේ දැක ගැනීමට ලැබෙන්නේ ලූව් රන්ජන්ගේ නවතම චිත‍්‍රපටයෙනි. තවමත් නම් නොකළ චිත‍්‍රපටයේ රූගත කිරීම් ස්ථාන කිහිපයක සිදුවෙමින් පවතින විටදී කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් එය ප‍්‍රමාද වීය. පසුගිය කාලයේ ලහි ලහියේ එහි රූගත කිරීම් යළි සිදු කෙරුණ ද රන්බීර් සහ ශ‍්‍රද්ධා රිදි තිරයේ දැක බලා ගැනීමට තවත් ටික කාලයක් බලා සිටීමට සිදුවන බව පෙනේ. ඊට හේතුව ඔවුන්ගේ එම චිත‍්‍රපටයේ රූගත කිරීම් අතරතුර සිදු වූ අවාසනාවන්ත සිදුවීමකි. එනම් පසුගිය සතියේ මුම්බායි හි රූගත කළ එම චිත‍්‍රපටයේ දර්ශන තලය ගින්නකට හසු වීමයි.
මුම්බායි, බටහිර අන්ධේරි ප‍්‍රදේශයේ චිත‍්‍රකූට් චිත‍්‍රාගාරයේ එම දර්ශන තලය ඉදිරිකර තිබූ අතර ගින්න හට ගත් අවස්ථාවේ රන්බීර් සහ ශ‍්‍රද්ධා එම ස්ථානයේ නොසිටි නමුත් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක් එම ස්ථානයේ සිටිබව වාර්තා වේ. චිත‍්‍රපටයේ චරිතයකට පණ පොවන චිත‍්‍රපට නිෂ්පාදක බොනී කපූර් පවසා සිටියේ ”හැමෝම හොඳින්. දෙවියන්ගේ පිහිටෙන් කිසිම ජීවිත හානියක් වෙලා නැහැ. හැමෝම හෙට රූගත කිරීම්වලට සූදානම් වුණා” යනුවෙනි.
තාවකාලික තොරණක දැව භාණ්ඩ කිහිපයක් ගබඩා කර තිබූ ස්ථානයක එම ගින්න හටගෙන තිබේ. කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. චිත‍්‍රපටයේ නිෂ්පාදකයන් මීට පෙර ඔවුන්ගේ ඉන්ස්ටග‍්‍රම් ගිණුම්වල චිත‍්‍රපටය තිරගත කිරීමේ දිනය නිවේදනය කරමින් සටහනක් බෙදාගෙන තිබුණේ මෙලෙසිනි. ”රන්බීර් කපූර් සහ ශ‍්‍රද්ධා කපූර් රංගනයෙන් දායක වන ලූව් රන්ජන්ගේ නම් නොකළ මීළඟ චිත‍්‍රපටය 2023 මාර්තු 8 වන දින හෝලි දින සිනමා ශාලාවල ප‍්‍රදර්ශනය කෙරේ”