වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
බොලිවුඩයෙත් වැටුප් විෂමතා

විද්‍යා බාලන් බොලිවුඩයේ කැපවීමෙන් කටයුතු කරන නිළියක ලෙසින් ප්‍රසිද්ධයි. මීට වසර කිහිපයකට පෙර ඇය පුස්තකාලයක් වෙනුවෙන් පොත් රැසක් පරිත්‍යාග කළේ පොත් සහ උසස් අධ්‍යාපනය කෙරෙහි ඇය තුළ ඇති ගෞරවය වෙනුවෙන්. විද්‍යා සිය රංගන දිවියේ ඩර්ටි පික්චර්, සකුන්තලා දේවි, ෂර්ණි වැනි අභියෝගාත්මක චිත්‍රපට හරහා ප්‍රබල කාන්තා චරිත නිරූපණයේ ඇයගේ රංගන හැකියාව දැක්වූවාය. ඇය නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ රසික රසිකාවන් සමඟ අදහස් හුවමාර කර ගන්නා තරුවක ලෙසින්ද ජනප්‍රියයි. මෑතකදී ඉන්ස්ටග්රම් හි ඇගේ රසික රසිකාවන් සමඟ විනෝදයෙන් සහ සැහැල්ලූවෙන් අදහස් හුවමාරු කර ගත්තේ ‘ ඕනෑම දෙයක් මගෙන් අසන්න‘ වැඩසටහන ඔස්සේයි.
එම වැඩසටහනේ මාතෘකාව වූයේ ‘කාන්තාවන්, රැකියාව සහ රැකියාවේ සිටින කාන්තාවන්‘ යන්නයි. ඒ අතරතුර විවාහයෙන් පසු රැකියා ජීවිතය වෙනස් වූ ආකාරය ගැන බොහෝ දෙනෙකුට ප්‍රශ්න තිබුණි. තවත් අයෙකු විද්‍යා බාලන්ගෙන් විමසා සිටියේ පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට අඩු වැටුපක් ලැබෙන්නේ මන්දැයි කියාය.
විද්‍යා පැවසූයේ ”මේ ප්‍රශ්නයට මටත් උත්තරයක් අවශ්‍යයි. ඇත්තටම ඕනෑම ක්ෂේත්රයක කාන්තාවන් දැඩි කැපවීමෙන් මහන්සි වී කටයුතු කරනවා. නමුත් ඔවුන් වැටුප් ලැබීමේදී සිටින්නේ පුරුෂ පාර්ශවයට වඩා පිටුපසින්” යනුවෙනි. ඇගේ සැමියා චිත්‍රපට නිෂ්පාදක සිද්ධාර්ත් රෝයි කපූර් ගෙදර දොරේ වැඩවලට උදව් කරන ආකාරය ද විද්‍යා හෙළි කළාය. ”ඒක අපේ ගෙදර. අපි දෙදෙනාම එහි වැඩ කටයුතු කරනවා” විද්‍යා පැවසුවාය.