වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
දර්ශන් ධර්මරාජ් අවසන් ගමන් යයි

රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන, කොට්ටව ග්‍රාමීය වතුකර ප්‍රදේශයක වර්ෂ 1981 දී උපත ලබා රක්වාන ශාන්ත ජෝන් දෙමළ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ දර්ශන් ධර්මරාජ් කොළඹට පැමිණියේ රැකියාවක් කිරීමේ අරමුණින් වුව ද, කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අයුරින් ඔහු රංගන කලාවට එක් වූයේ සිඩ්නි චන්ද්‍රසේකරයන්ගේ ‘ඒ නයින්’ ටෙලි නාට්‍යයෙනි.
එතැන් පටන් ගෙන්දගම් පොළොවේ පහස ලබමින් එහි නවාතැන් ගෙන අවසන් ඉනිම, මා ද ඔබම විය, වන්ස් අ පෝන් අ ටයිම් ඉන් කලම්බො, පියාඹන මූනිස්සම්, රේස්-1, ආදි ටෙලිනාට්‍ය තුළින් මේ උත්තුංග දේහධාරී කාලවර්ණ තරුණයා විවිධ එහෙත් රළු ප්‍රතිවීර චරිතවලට පණ දෙමින් ක්‍රමානුකූලව සිංහල භාෂාව ද හසුරුවමින් ඔබේ ආලින්දයට සිය රඟපෑම එක්කළේය. “ දිවිතුරා” මෙන්ම “රැල්ල වෙරළට ආදරෙයි” ටෙලිනාට්‍යයේ “ජෙයරාජ්”ගේ චරිතය තුළින් ප්‍රේක්ෂකයන් ඇද බැඳ ගැනීමට හෙතෙම සමත් විය.
එසේම ඔහුගේ රංගන කෞශල්‍යය දුටු චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ තියුණු නෙත් ඔහු කරා යොමු වූයේ ඔහුටත් නොදැනීම ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2008 දී ප්රභාකරන් චිත්‍රපටයෙන් රිදී තිරයට පිවිසි දර්ශන්, අනතුරුව මචං, ඉර හඳ යට, සිංහාවලෝකනය, ගාමනී, මාතා, බෝම්බ සහ රෝස, ස්පන්දන, ඇඩ්රස් නෑ, උලත් එකයි පිලත් එකයි, ආලෝකෝ උදපාදී, පෝරිසාදයා, දැවෙන විහඟුන්, සුනාමි, සුපර්ණා, කවුරුවත් දන්නේ නෑ ආදී චිත්‍රපටවලත් හෙට (07) සිට තිරගත වීමට නියමිත ප්‍රාණ චිත්‍රපටයේත් දඩබ්බර සුළු චරිත මෙන්ම උප ප්‍රධාන චරිත මැනවින් නිරූපණය කළේය. ඊට අමතරව මෙරට නිපද වූ දෙමළ චිත්‍රපට දෙකක් වන ඉනි අවන් (2012) සහ කෝමාලි කිංග්ස් (2018) වැනි චිත්‍රපටවල ද සිය රංගන ප්‍රතිභාව පළ කළේය.
2014 දී හිරු ගෝල්ඩන් හොඳම නළුවාට හිමි සම්මානය ඉනි අවන් වෙනුවෙන් ඔහු කළ රඟපෑම වෙනුවෙන් ලබා ගති.
කෙතරම් සැඩ පරුෂ චරිත ලැබුණත් ඒවා රංගනයට පමණක් සීමා කළ හෙතෙම ප්‍රේක්ෂක පිරිසගේ සහ සහෝදර කලා ශිල්පීන්ගේ හොඳ හිත දිනා ගත් අයෙකි. දර්ශන් දිවි රඟමඬලින් සමුගන්නා විට යාන්තම් 41 වැනි විය පසු කළා පමණි. සමාජ සංහිඳීයාව ගැන බොහෝ උදවිය බොහෝ තර්ක විතර්ක ඉදිරිපත් කළත් එය ක්‍රියාවෙන් පෙන් වූ අයකු ලෙස දර්ශන් ධර්මරාජ් ගේ චරිතය අපට ගත හැකි හොඳම උදාහරණය යි.
ඔහුගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ දී සිය උපන් ගම වන රක්වානේ දී සිදු කෙරුණි.
-අනුර රත්නායක