නෙක චරිත රඟපා මන නන්දා අයිරාංගණිය අප හද බැඳුණා

අයිරාංගණි සේරසිංහ උපහාර ගීතය
ඔක්තෝබර් 6, 2022

 

මට මේ ගීතය ගායනා කරන්න අවස්ථාව ලැබුණේ හරිම අහම්බයකින් -දයාන් විතාරණ

ඈ අපේ සිනමාවේ ආදරණීය මිත්තණියයි. පුරා දශක හතකට වැඩි කාලයක් විවිධ චරිත ඔස්සේ සිනමා ප්‍රේක්ෂකයන්ගේත්, රූපවාහිනි පේ‍්‍රක්ෂකයන්ගේත් පමණක් නොව, කලකට ඉහත ඉංගී‍්‍රසි වේදිකා නාට්‍ය කලාවේ පේ‍්‍රක්ෂක සිත් සතන් ද ප්‍රමෝදයෙන් පින වූ ඇය මේ වන විට සිය ජීවිතයේ අනූ පස්වැනි විය සපුරමින් සිටින්නීය. ඇය අයිරාංගණි සේරසිංහය.

 

ගෙවුණු දශක ගණනාව පුරාම ඇගේ ජිවිතයෙන් වැඩි කාලයක් ගෙවුණේ සිනමා හා කලාකටයුතු වෙනුවෙන්ය. ඒ සා දීර්ඝ කාලවකවානුක් පුරා ඇගෙන් කලාවට ඉටු වූ සේවය අකුරින් ලඝුකොට දැක්විය නොහැකි වුවද, ඇගේ අනූපස් වැනි ජන්ම දිනය නිමිතිකොට ගනිමින් ඈ වෙනුවෙන් අලංකාර ගීතයක් නිර්මාණය වූයේය. පසුගිය දා සමාජගත කරන්නට යෙදුණු එම ගීතය ගායනා කරනු ලැබුවේ ගායන ශිල්පී දයාන් විතාරණ සමඟ ජනතාත් වරකාගොඩය.

කුල කතකගේ ගුණ රුව ගති පෙන්වා

ගෞරවය අභිමානෙ හද රන්දා

නෙක චරිත රඟපා මන නන්දා

සිනමාවෙ මව් ලෙසින් හද රුඳුණා

අයිරාංගණිය අප හද බැඳුණා

අයිරාංගණිය අප හද බැඳුණා

කල චරිත හැමදා ඇත නොමැරී

නව නළු රසය පෙර දෙයි මිහිරි

රංගනිය ගැඹුරටම යයි කිමිදී

අයිරාංගණිය හිනැහෙයි රසිනි

අයිරංගණිය අප හාද බැඳුණා

අයිරංගනිය අප හද රැඳුණා

රේඛාව කඩඉමයි රිදී තිරයේ

සංදේශය දොළොවක් අතර දිලේ

දූ දරුවෝ දරාගත් ටෙලි තිරයේ

රංගනයේ හැඩ තලෙන් හදක් පිරේ

අයිරාංගණිය අප හද බැඳුණ

අයිරාංගණිය අප හද රැඳුණ

අයිරාංගණිය වෙනුවෙන් ගැයුණු මේ ගීතයේ පද රචනය දිනේෂ් විජයසිංහගෙනි. සිනමාවට, කලාවට මෙන්ම සිනමා කලා ශිල්පීන්ට ද බෙහෙවින් ළෙන්ගතු ඔහු මින් පෙරද බොහෝ කලා ශිල්පීන් වෙනුවෙන් මෙවැනි උපහාර ගීත රචන කළ අයෙකි. ගීතයේ සංගීතය හා තනු නිර්මාණය විශාරද ජනනාත් වරකාගොඩගෙනි. ගීතය ගායන කිරීමට දයාන් විතාරණ සමඟ ජනනාත් ද එක් වී ඇත.

මේ වෙනුවෙන් සැකසුණු එක්තරා රූපවාහිනී සාකච්ඡාවකදී මෙම ගීතය ජනගත කළ අතර ඒ සඳහා අයිරාංගණි සේරසිංහ මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් ද සහභගි වී සිටියහ. ගීතය ගායනයට එක් වූ දයාන් විතාරණ පවසා සිටියේ මෙම ගීතය ගායනා කිරීමට ලැබීම ඔහුගේ සංගීත දිවියේ ලද සුවිශේෂී භාග්‍යයක් බවයි.

“ඇත්තටම මට මේ ගීතය ගායනා කරන්න අවස්ථාව ලැබුණේ හරිම අහම්බයකින්. එක්තරා සංගීත වැඩසටහනකදී මට චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය මුණ ගැසෙනවා. ඇය තමයි මට හඳුන්වා දෙන්නේ මේ ගීතයේ ගීත රචකයා. ඔහු මට කියනව මෙවැනි ගීතයක් ලියල තියෙනව කියලා. මම ඉතාම කැමැත්තෙන් බාර ගන්නවා ඒක ගායනා කරන්න. අන්තිමේ ගීතයේ සංගීත නිර්මාණ කටයුතු කළ ජනනාතුයි මමයි දෙන්නම එකතු වෙලා මේ ගීතය ගායනා කළා. එදා ගීතය ජනගත කරපු දවසෙ අයිරාංගණි මැතිනිය හරියට සතුටු වුණා මේ ගීතය අහලා. ඇය ඉතාම නිහතමානි කාන්තාවක්. තමන් කොයිතරම් මෙහෙයක් කලාවට කරල තිබුණත් ඒ කිසිවකින් ආඩම්බර නොවුණ කාන්තාවක්. ගීතය අහල ඇය මට කියනවා ‘එහෙනම් ඉතින් මම දැන් ටිකක් ආඩම්බර වෙන්න ඕන නේද? මොකද දැන් මං වෙනුවෙන් ගීතත් හැදිල තියෙනවානේ කියලා.”

අයිරාංගණි මැතිනියට ධනය, බලය, කුලය, අධ්‍යාපනය හැකියාව, දක්ෂතාවය ආදියෙන් කිසිදු අඩුවක් නොවූයේය. ඇය උත්පත්තිය ලබන්නේම රුවන්වැල්ලේ මුදු ගමුවෙහි මීදෙනිය වලව්වේ මීදෙනිය රටේ මහත්මයාගේ දියණියක ලෙසින්ය. ඉංගී‍්‍රසි මාධයෙන් මනා අධ්‍යාපනයක් ලද ඇය එවකට ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය හැදෑරුවාය. විශ්ව විද්‍යාලීය ඉංගී‍්‍රසි නාට්‍යවලින් වේදිකාවට පැමිණි ඈ පසුව ඉංගී‍්‍රසි වේදිකාවට නැතුවම බැරි නිළියක් බවට පත් වූවාය. ‘ඇන්ටිගනී. ද ගවර්මන්ට් ඉන්ස්පෙක්ටර්, ගෝස්ට්ස්, බිලැක් චිෆන් ට්වින්ස්, මැක්බත්, ද කොකේෂියන් චෝල්ක් සර්කල්, ඔතෙලෝ ඇතුළු වේිදිකා නාට්‍ය රැසක විවිධ චරිත රඟපෑවාය. පසුව හෙන්රි ජයසේන ගේ ‘අපට පුතේ මඟක් නැතේ, ධම්ම ජාගොඩගේ ‘වෙස් මුහුණු’ වැනි නාට්‍ය වලින් සිංහල වේදිකාවද ආක්‍රමණය කළාය.

අති විශිෂ්ට රූපණ කෞශල්‍යයක් ප්‍රකට කළ ඇයට සිය විශ්වවිද්‍යාල ජීවිතයේ දී හමු වූ ලුඩොවයික් නාට්‍ය ගුරුතුමාගේ මඟ පෙන්වීමෙන් රංග කලාව තව දුරටත් අධ්‍යයනය කිරීම පිණිස අවස්ථාව සලසා ගත්තේය. එංගලන්තයේ ඊඩඥ ඕපඪඵබධත ර්‍ණතඤ ඹඪජඬ ඊඩඥචබපඥ ඉජඩධධත වෙතින් රංග කලාව පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලැබුවේය. එවන් විධිමත් අධ්‍යාපනයක් ලද අතළොස්සක් වන රංග කලා ශිල්පීන් අතර ප්‍රථමයා වනුයේ ද එතුමියයි.

1955 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ විත්ති කතා චිත්‍රපටයකින් සිනමාවට පිවිසි ඈ එතැන් සිට අති විශිෂ්ට රංගන පෞරුෂයකින්, විවිධ සිනමා සිතුවම් ඔස්සේ සිය ප්‍රතිභාව විදහා පෑවාය. පසු කලෙක ඇය රූපවාහිනී තිරය මත ආදරණීය මව, මිත්තණිය ලෙස මෙරට සමස්ත රූපවාහිනි පේ‍්‍රක්ෂකයන්ගේ ආලින්දයට පැමිණ ඔවුන්ගේ ආදරය දිනා ගත්තීය.

 

 

සේයාරූ - දයාන් විතාරණ