දර්ශන් ධර්මරාජ්ව බලාගත්තේ සිංහල සිනමාව

-කින්ග් රත්නම්
ඔක්තෝබර් 6, 2022

 

දර්ශන් ධර්මරාජ් සිංහල සිනමාව වර්ණවත් කළ දෙමළ නළුවා, දශක දෙකක පමණ කාලයක් ලාංකේය සිංහල කලාකෙත සිය රංගන ප්‍රතිභාවෙන් පෝෂණය කළ ඔහු දිවි රඟමඬලට සමු දුන්නේ සහෝදර කලාකරුවන්ගේ වගේම සුවහසක් ලාංකේය ප්‍රේක්ෂකයාගේ ඇසට කදුළු එක්කරමින්. අධිෂ්ඨානයත් උනන්දුවත් කැපකිරීමත් උත්සහයත් පමණක්ම රැගෙන රක්වානෙන් ගෙන්දගම් පොළොවට පැමිණි දර්ශන් ආ ගමනේ ඔහුගේ ළඟින්ම සිටි ගමන් සඟයා කින්ග් රත්නම් සරසවිය අප සම්බන්ධ කරගත්තේ දර්ශන් ගැනත් ඔහුගේ ජීවිතයේ ඇතුල් පැත්ත ගැනත් හරියටම දන්න කිහිප දෙනාගෙන් කින්ග් එක් අයෙක් වන නිසාය. රූපණ කාර්යයක් සඳහා විදේශගතව සිටින කින්ග් බිඳුණු හඬින් මා සමඟ කතාව ආරම්භ කළේ මෙලෙසින්.

 

හීන ගොන්නක් එක්කම යන්න ගියා. ඔහු දෙමළ පුද්ගලයෙක් වෙලා මෙතැනට පැමිණීම කටුක නමුත් හරි ලස්සන කතාවක්. දර්ශන් ධර්මරාජ් කියන්නේ ගමේ ඉදලා ඉතාම දුෂ්කර ගමනක් සාර්ථකව ආ කෙනෙක්. රඟපෑමට ආසාව ඇතිවෙන්නේ සිංහල සිනමාව නිසා නොවෙයි දකුණු ඉන්දීය දෙමළ සිනමාව බලලා. රැජිනි කාන්ත්, කමල හසන් වගේ නළුවන්ගේ රඟපෑම දැකලා.මේ රටේ දෙමළ කලා ක්ෂේත්‍රයක් නැහැනේ. අපේ සිනමාවක් අපේ සංගීතයක් එහෙම තිබුණා 60/70 දශකවල. අවුරුදු හතළිහක යුද්ධය සහ ඇති වූ කලකෝළහල නිසා දෙමළ කලා ක්ෂේත්‍රයක් අදටත් නැහැ. කවුරු හරි දෙමළ තරුණයෙක් ආසයිනම් රඟපාන්න එයාට ඒක හොයාගන්න වෙන්නේ සිංහල කලාවෙන්. සිංහල සිනමාව සිංහල කලා ක්ෂේත්‍රය ඉතාම ආදරෙන් දර්ශන්ව වැලඳ ගන්නවා. දර්ශන් ධර්මරාජ් කියන කලාකරුවාව බලාගන්නේ මේ සිංහල සිනමාව. අද ඔහු අප අතරින් සමුගත්තත් මේ රටේ දෙමළ ජනයා ඔහුව දන්නේ නැති තරම්. ඒකයි ඛේදවාචකය. ඒ වැරැද්ද ඔහුගේ හෝ සිංහල සිනමාවේ හෝ නොවෙයි.

කින්ග් ඔබේ සහ දර්ශන්ගේ යාළුකම පටන් ගන්නේ කොතැනින්ද?

මට දර්ශන්ව මුණ ගැසෙන්නේ ඉනිඅවන් චිත්‍රපටයේදී. එහි අපි දෙදෙනාම රඟපෑවා. 2012 වගේ කාලයේ. ඊට පෙරත් දර්ශන්ව මුණගැහිලා කතාබහ කරලා තිබුණට ළඟ සම්බන්ධයක් තිබුණේ නැහැ. අපි මුණ ගැසෙන හැම මොහොතකම කතා කරන්නේ කොහොමද අපි කලාව ප්‍රතිසංස්කරණය කරන්නේ කියලා. සිනමාව ස්ථාපිත කරන්නේ කොහොමද කියලා. දකුණු ඉන්දියාවේ වගේ දැවැන්ත කර්මාන්තයක් විදිහට මේක කොහොමද ගොඩනඟන්නේ කියලා. අපි දෙන්නා අතරේ ඉතාම ළඟ බැඳීමක් තිබුණා. ක්ෂේත්‍රයේදී අපිට විඳීන්න වන දුක්බර අවස්ථා, අපේ ආර්ථික ප්‍රශ්න, වගේ දේ අපි කතා කරනවා.

 

ඔබේ අධ්‍යක්ෂණය යටතේ ඔහු රඟපානවා?

අපි අතර තිබුණු ගනුදෙනුවේදී මම අධ්‍යක්ෂ ඔහු නළුවා කියලා දෙයක් තිබුණේ නැහැ. ඊට වඩා ලොකු බෙදාගැනීමක් තිබෙනවා. අපි ඔක්කොම දුක්බර වූ ගමනක් මේ ආවේ. අපි අපේ හැකියාවන් බෙදාගත්තා. ලන්ඩන් එන්න දවස් දෙකකට කලින් මම දර්ශන්ට කතා කරලා ආවේ. ඒ වෙලාවේදීත් කිව්වේ 'මචන් උඹ ගිහිල්ලා ලොකු වැඩක් පත්තු කරගෙන වරෙන්. අපි කරමු' කියලා. මගේ කෝමාලි කින්ග් චිත්‍රපටය අවුරුදු හතළිහකට පසුව එන දෙමළ චිත්‍රපටය කියලා මම සටහන් කරන්නෙත් එවැනි ගමනකට ආරම්භයක් ගන්න. මම පමණයි දර්ශන් ධර්මරාජ්ට වතුකරයේ දෙමළ කතා කරන්න චරිතයක් දුන් එකම කෙනා. ඔහුට ලැබුණේම යාපනේ දෙමළ හෝ සිංහල කතා කරන චරිත. ඔහු වතුකරයේ මනුස්සයෙක්.

 

ඔබ දෙදෙනා කතා කරද්දි මාධ්‍යවෙන්නේ දෙමළ භාෂාවද? සිංහල භාෂාවද?

අපි දෙමළෙන් කතා කරන්නේ. ඒක වෙනම බැඳීමක්. අපි කිහිපදෙනයිනේ කලාවේ නියැළෙන්නේ.

 

ප්‍රාණ චිත්‍රපටය හෙට සිට ප්‍රදර්ශනය ආරම්භවනවා. ප්‍රාණ චිත්‍රපයේ චරිත නිරූපණය කරනවා. ඔහු සමඟ නළුවෙක් විදිහට එකට කටයුතු කරද්දි ලැබුණු අත්දැකීම කොහොමද?

ප්‍රාණ චිත්‍රපටයේ වගේම ඉදිරියේදී තිරගතවීමට නියමිත වාලම්පුරි චිත්‍රපටයේත් අපි දෙදෙනා එකට රඟපෑවා. අපි දෙන්නට දෙන්නා සහයෝගයෙන් කටයුතු කළේ. එයා රඟපාද්දි මම අඩුපාඩු කියනවා. මම රඟපාද්දි ඔහු අඩුපාඩු පෙන්නලා දෙනවා. ඒ වගේම හොඳට කළොත් අපි ඒ ඇගයීමත් අනිවාර්යයෙන්ම දෙන්නට දෙන්නා කරගන්නවා. හැමවෙලේම අපි දෙන්නා තව තවත් හොඳීන් රඟපාන්න දේවල් කියා දී ගන්නවා. ශිල්පය හොඳීන් බෙදාගත්තා. අපිට තිබුණා දෙමළ සිනමාවේ මලයාලම් සිනමාවේ තෙළිඟු සිනමාවේ හොඳ බලපෑමක්. මොකද අපි නිතර නිතර ඒ චිත්‍රපට බලනවා. ඒ අභාසය මෙහෙ රඟපාද්දී මෙහෙට ඇප්ලයි කරන්නයි අපි බැලුවේ. ඒ බෙදාගැනීම් ඉතාම හොඳීන් කළා. විශේෂයෙන්ම කියන්න ඕන ප්‍රාණ චිත්‍රපටයේ තිබුණා පිටු ගණන් ඩයලොග් කියන්න. එක දර්ශනවාරයයි තිබෙන්නේ. මැදදි කට් කරන්නේ නෑ. විනාඩි අටක් දහයක් යනවා එක දර්ශන වාරයක්. ඒ වෙලාවේදි විවිධ උපක්‍රම භාවිත කරමින් ඉතාම ලස්සනට ඒ රඟපෑම කරන්න පුළුවන් වුණා. කිසිම ඊගෝ එකක් අපි අතර තිබුණේ නෑ. හැම මොහොතකම තරුණ අයට උදව් කළා. විශේෂයෙන්ම දෙමළ කෙනෙක් ආවොත් ඔහුට උනන්දුවක් ඇතිවන අයුරින් බලෙන් කියලා දෙනවා. ඉතාම සරල ජීවිතයක් තිබුණ කෙනෙක් දර්ශන්. හරිම නිහතමානී මනුස්සයෙක්.

 

ප්‍රාණ චිත්‍රපටය ගැන දර්ශන්ට තිබුණේ මොනවගේ අදහසක්ද? මොකද මේ චිත්‍රපටයේ කතාව විශේෂවූවක්.

ඔහු මේ නිර්මාණයේ එන කතාවේ දේශපාලනයක් හොයන්න ගියෙ නෑ. එහෙම හෙව්වානම් ඒ චරිතය නොකර ඉන්න තිබුණා. ඔහු හැමවෙලේම හිතුවේ මාව මේ චරිතයට තෝරගන්නවා කියන්නේ මම තමයි මේකට සුදුස්සා.ප්‍රාණ චිත්‍රපටයේ ඔහුගේ චරිතය අපූරුවට ඔහු ගොඩනැඟුවා. එයා එල් ටී ටී ඊ චරිත රඟපාලා කොටහේන බාර් එකෙන් බොන්න ගියාම ගහලා තිබුණා. ඒ හැමදේම එක්ක හැප්පෙමින් ගැටෙමින් ඔහුගේ කලාගමන ආවා.ලංකාවේ සිනමාව දෙමළ සිංහල කියලා බෙදන්න බැරි හොඳම උදාහරණය දර්ශන්.

 

දර්ශනතලයේදී දර්ශන්ගේ හැසිරීම කොහොමද?

ඔහු දර්ශන තලයට එන එකම වෙනම ආලෝකයක්. එන්නේම විහිළුවක් කරගෙන. සෙට් එකේ නිදාගන්නවා. ඔහුට තිබුණ පුරුද්දක් ඕන තැනක නිදාගන්න පුළුවන්. වැටුණු තැන නිදි. පොඩි විවේකයක් ලැබුණත් නිදි. අනෙක් අතට ඔහු තමන්ගේ කාර්යය වෙනුවෙන් ඉතාම දැඩිව මහන්සිවෙන මිනිසෙක්. හැමවෙලේම ඔහු තව තව හොඳට රඟපාන්නයි වැඩ කරන්නේ. මටනම් එයා නොමැකෙන අයිකන් එකක් රංගන ක්ෂේත්‍රයේ.

 

දර්ශන් දැනුම් පිපාසාවකින් පෙළුණු කෙනෙක්ද?

ඇත්තටම ඔහුට මහලොකු අධ්‍යාපනයක් තිබුණ කෙනෙක් නොවෙයි. ඒලෙවෙල්ස් කරලා කොළඹ ආ ගමනනේ මේ. නමුත් එයාගේ තිබුණා ඔහුට ඕන දේ හොයාගෙන ගිහින් ඉගෙනගන්න උනන්දුවක් කැපවීමක් තිබුණා. ඔහුට හොඳට අඳීන්න පුළුවන්. 3ච් චිත්‍ර අඳීන්න පුළුවන්. අපි සෙට් එකේදි හම්බුණු වෙලාවේ මට පෙන්නුවා එහෙම චිත්‍ර ඇඳලා. හොඳට උයන්න පුළුවන්. ඔහුගේ ගමට ගියොත් ගෙදරවැඩ ඔක්කොම කරන්නේ දර්ශන්. දුව බලාගන්නෙ ඔහු. ඔහු හැමදාම උදේ පාන්දර තුනට නැගිටිනවා. අපි විශ්වාස කරනවා බ්‍රහ්ම මුහුර්තය. පාන්දර තුන කියන්නේ රෑ සහ උදය මැදිවෙන වෙලාව. ඒ වෙලාවට නැගිටලා භාවනා කළාම ස්පිරිචුවල් කනෙක්ෂන් එක ඉතාම බලවත් කියලා විශ්වාස කරනවා. ඔහු ඒ සියල්ල කළා.

 

දර්ශන්ට පවුල ගැන තිබුණේ මොනවගේ අදහසක්ද?

ඔහුගේ බිරිඳ සමඟ එතරම් කතාබහ කර නොතිබුණත් මට දැනුණු දෙයක් තමයි තමන්ගේ ස්වමියා රඟපාන්න යනවා කියන්නේ වතුකරයේ දෙමළ සාමාන්‍ය කෙල්ලෙක්ට ඒක ලොකු කල්චර් ශොක් එකක්. දර්ශන් ධර්මරාජ්ලා සියයක් නැහැනේ. රඟපෑමෙදි සිපගැනීම් තිබෙනවා. වෙනත් ගැහැනු සමීපව ඇසුරු කරන්න වෙනවා. ඔහුගේ බිරිඳ ඉතාම ශන්තිමත් කෙනෙක්. ඒ අහිංසක ගැහැනු ළමයා නැතිවෙන්න දර්ශන්ට ඔය ගමන එන්න බෑ. එයා පැත්තක ඉදන් දර්ශන්ට නිදහස ලබාදුන්නා ඔහුට කැමැති දේ කරන්න. ඒක පුදුම ආදරයක්. දර්ශන්ගේ මේ කලාවේ ගමන පිටුපස හයියක් වෙලා ඔහුගේ බිරිඳ සිටියා. ඔවුන්ට පැමිණි ආර්ථික දුෂ්කරතා සියල්ල දරාගෙන දුවව බලාගෙන ඇයත් රැකියාවක් කරගෙන මේ ගමන එන්න ලොකු හයියක් වුණා දර්ශන්ට ඇය.

 

ඔබ, දර්ශන්, නිරංජනී තුන්දෙනා එකට එකතු වුණාම?

ඒක වෙනමම පිස්සුවක්. අපි තුන්දෙනාම ඉතාම සරලයි. අපි තුන්දෙනාම අපේ ජීවීත ගැන හොඳටම දන්න අය. අපි පටන්ගත්තේ කොහොමද? අපි එන්නේ කොහෙන්ද මේ සියලු දේ අපි ගැන අපි දන්නවා. අපි අතර නිරංජනි, දර්ශන්, කින්ග් කියලා එකක් නෑ. ඉනිඅවන් සෙට් එකෙන් අපි තුන්දෙනා එකතුවෙන්නේ. ඒ අයමයි අපි තවමත්. ඕනම පුද්ගලයෙක්ගෙන් ඇහුවොත් ඔහු කොතරම් නිහතමානීද කියලා කියයි. කවදාවත් ලොකුකම් පෙන්වූ ස්ටාර් කියලා හිතාගෙන සිටි කෙනෙක් නොවෙයි ඔහු. තමන් කොහෙන්ද පටන් ගත්තේ කොහෙන්ද ආවේ කියලා දන්න කෙනෙක්.

 

දර්ශන්ට තිබුණ සිහින මොනවද? ඔබ සමඟ අනිවාර්යයෙන්ම ඒ ගැන කතා කරලා ඇති?

ඔහුට තිබුණු සිහින තමයි අපිටත් තිබෙන්නේ. අපිට ඇයි ලංකාවේ දෙමළ සිනමා කර්මාන්තයක් හදන්න බැරි. ලංකාවේ දෙමළ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ඔහුට අදහසක් තිබුණා. ඒ වෙනුවෙන් ඔහු පිටපත් ලියලා තිබුණා. ඔහුට අදහසක් තිබුණා ඉන්දියාව එක්ක එකතුවෙලා ලංකාවේ චිත්‍රපට කරන්න. අපි හැමවෙලේම විශ්වාස කළේ අපි අවුරුදු හතළිහක් පමණ ඉන්දියාවේ සිනමාවට වහල් වුණා එහෙමනම් අපි ඔවුන් එක්ක එකට අත්වැල් බැඳගනිමින් වැඩ කළ යුතුයි කියලා. ඒ අවස්ථාව මෙහෙ නැහැනේ. ඒකනේ යථාර්ථය. ඒ නිසා ඔහුට ලොකු බලාපොරොත්තුවක් තිබුණා මම ඉන්දියාවේ ගිහින් සපථකරලා පෙන්වන්ම කියලා. ඔහු හිතුවේ මම ඉන්දියාවේ ගිහින් දෙයක් කළොත් මෙහෙ ඉන්න දෙමළ ජනයා මාව පිළිගනියි කියන සිතුවිල්ල. දර්ශන් ධර්මරාජ් මෙහෙ ඉන්න තරුණ දෙමළ ළමයි දන්නේ නැහැ. ඒක ඛේදවාචකයක්. ඔහුට සිහිනයක් තිබුණා ඉන්දියාවට ගිහින් එහි නිර්මාණයක ලොකු චරිතයක් කරන්න ඕන. ඉන්දියාවේ සිනමාවේ මාර්ක් එකක් තියන්න ඕන කියන සිහින ගොන්නක් එයාට තිබුණා. සිංහල සිනමාවේ සිහින තිබුණානම් ඒ සියල්ල ඉටුවෙලා තිබුණේ. මේ රටේ දෙමළ කලා ක්ෂේත්‍රයක් තිබුණා නම් කෝටි ගණන් විදේශ විනිමය ගෙනෙන ක්ෂේත්‍රයක් බවට පත්වෙන්නට තිබුණා. තව දර්ශන් ධර්මරාජ්ලා සියයක් බිහිවන ක්ෂේත්‍රයක් වන්නට තිබුණා.

 

සේයාරු - නිශ්ශංක විජේරත්න/ දේදුනු සේයා නදීක