Silver Screen සම්මාන උලෙළ 14දා

ඔක්තෝබර් 6, 2022

Silver Screen සම්මාන උලෙළේ දෙවැනි අදියර එළැඹෙන 14 වැනිදා සිකුරාදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

Silver Screen සම්මාන උලෙළින් මෙවර ඇගැයෙන්නේ හැටේ දශකයේ කලාකරුවන් වීම විශේෂත්වයි. ඒ අනුව 1960 -65 සමයේ සිනමාවට පිවිසි කලාකරුවන්ට සම්මාන පුද කිරීමට නියමිතය. Silver Screen සම්මාන උලෙළේ සභාපතිත්වය දරන්නේ, ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු වන අතර රංගන ශිල්පිනී, සනෝජා බිබිලේ එහි ලේකම්ධුරය දරයි. 

 ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක, සුනිල් ටී ප්‍රනාන්දු අදහස් දක්වමින් කියා සිටියේ මෙලෙසය.

“අප අතරින් වෙන් වී ගිය ප්‍රවීණ රංගන ශිල්පි සුමිත් බිබිලේගේ සංකල්පයකට අනුව මෙම සම්මාන උලෙළ පැවැත්වෙනවා. ඔහු ඉල්ලා සිටියේ කවදාහරි සිනමාව වෙනුවෙන් කැපවුණු නළු නිළියන් කාර්මික ශිල්පීන් හා මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාට සම්මාන උළෙලක් පවත්වන්න කියායි. එනිසා මෙය වර්ෂයක් පාසා පැවැත්වීමටයි තීරණය කරලා තියෙන්නේ. ඒ අනුව පසුගිය අවුරුද්දේ සනෝජා බිබිලේ සමඟ එකතුවෙලා මේ ගැන කතා කළා. ඒ කතා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට අපිට ගිය අවුරුද්දේ මේ සම්මාන උලෙළ 50 දශකයේ ශිල්පීන් වෙනුවෙන් පවත්වන්නට හැකි වුණා. එය අපි සියලු දෙනාම ලැබූ ජයග්‍රහණයක්. ඒ අනුව අපි තීරණය කළා හැටේ දශකයේ කලාකරුවන්ටත් මේ සම්මාන උලෙළ පවත්වන්න. මෙවර සම්මාන උලෙළ සඳහා හැටේ දශකයේ කලාකරුවන් තිස් දෙනෙකු සම්මානයට පාත්‍ර වෙනවා. ඔවුන් සඳහා සම්මානයත්, සහතික පත්‍රයක්, සහ මුදල් ත්‍යාගයක් පිරිනැමීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සියලු දෙනා වයස අවුරුදු 60 ට වැඩි ශිල්පීන්. මම චිත්‍රපට 75ක් නිෂ්පාදනය කර තිබෙනවා. මෙවැනි සේවයක් සිනමාව වෙනුවෙන් කරන්න අපේක්ෂාවෙන් හිටියේ. එනිසා මේ උලෙළට සභාපතීත්වය සැපයීම මගේ වාසනාවක් කියලා මම හිතනවා. ඔසුර පදනමේ වසන්ත ජයවර්ධන හා විශ්ව ලංකා පෞද්ගලික සමාගම වෙනුවෙන් සත්‍යනාදන් තිරුමුරුගන් මෙහි ස්වර්ණ අනුග්‍රාහකත්වයත් දරනවා. එය අපට ලොකු ශක්තියක්. “

ප්‍රවීණ රංගන ශිල්පිනී, සනෝජා බිබිලේ මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ‍

“මගේ පියා 50 දශකයේ රංගන ශිල්පියෙක්. ඔහු මිය යාමට පෙර මගෙන් කලාව වෙනුවෙන් යුතුකම් තුනක් ඉටු කරන ලෙස ඉල්ලා සිටියා. එයින් එකක් තමයි මේ සම්මාන උලෙළ පැවැත්වීම. ඒ නිසා මම මුලින්ම මේ සම්මාන උලෙළ ආරම්භ කළා. 2021 වර්ෂයේදී අපි විද්වත් මණ්ඩලයක් මඟින් 50 දශකයේ තෝරා ගත්ත විවිධ අංශ නියෝජනය කරන කලා ශිල්පීන් සඳහා සම්මාන පිරිනැමීම සිදු කළා. මෙවර සම්මාන සඳහා අපි තෝරාගෙන තිබෙන්නේ 1960 - 1965 කාල වකවානුවේ ශිල්පීන් පිරිසක්. ඉන් පසුව 1966 සිට 1969 වනතුරු වශයෙන් මේ උලෙළ ඉදිරියට පැවැත්වීමට නියමිතයි. සියලු සම්මානලාභීන් සඳහා සුනිල් ටී. ප්‍රනාන්දු මහතා සඳහන් කළ දේවල්වලට අමතරව තවත් ත්‍යාග අටක් සහ ඡායාරූපයක් ද පිරිනැමීමට අදහස් කරනවා. විශේෂ සම්මාන හතරකුත් පිරිනමනවා.”

සටහන - සේයාරූ-නිශ්ශංක විජේරත්න