ගෙවී ගිය යුගය සිහිගන්වන චිත්‍රපට තෑග්ගක්

ඔක්තෝබර් 6, 2022

 

බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් හෙවත් බිග් බී බොලිවුඩයේ පමණක් නොව ආසියාවේම දිගු කාලීනව දිලෙන සුපිරි තරුවකි. හැටේ දශකයේ අග භාගයේදී සිනමාවට පිවිසි අමිතාබ් හැත්තෑව දශකයේ දී ඉහළ ජනප්‍රියත්වයක් ළඟා කර ගත්තේ 'කේන්තිකාර තරුණයා' යන අන්වර්ථ නාමය ද සමඟිනි. 'සාත් හින්දුස්තානි' චිත්‍රපටයෙන් (1969) බොලිවුඩයට පිවිසි අමිතාබ් රඟ පෑ මුල් චිත්‍රපට 12ම සාර්ථක ඒවා නොවීය. ඔහුට සිනමාවේ වාසනාව ගෙන ආවේ ජයා බහදූරි සමඟ රංගනයෙන් දායක වූ 'සංජීර්' චිත්‍රපටය (1973)යි.

මේ වසර අමිතාබ් හට සුවිශේෂ වසරකි. එනම් මේ වසරේදී ඔහුගේ දිවිය 80 වැනි කඩඉමට පැමිණීමයි. ඒ වෙනුවෙන් දින 4ක විශේෂ චිත්‍රපට උලෙළක් නිවේදනය කර ඇත. 'Bachchan Back To The Beginning'  නමින් පැවැත්වෙන මෙම උත්සවය ඔක්තෝබර් 8 වැනිදා ආරම්භ වී ඔහුගේ උපන්දිනය යෙදී ඇති ඔක්තෝබර් 11 වැනිදා අවසන් වේ. ඒ අනුව අමිතාබ් රඟපෑ වාර්තා ගත චිත්‍රපට 11 ක එකතුවක් නගර 17 ක ප්‍රදර්ශනය කෙරේ. මෙය සංවිධානය කරනු ලබන්නේ චිත්‍රපට නිෂ්පාදක ශිවේන්ද්‍ර සිංගේ ෆිල්ම් හෙරිටේජ් පදනම මඟිනි.

සුප්‍රකට සිනමාකරුවකු වන අනුරාග් කාශ්‍යප් සිය ඉන්ස්ටග්‍රම් ගිණුමේ අමිතාබ් වෙනුවෙන් මෙසේ ලිවීය. "වීදියේ මිනිසා, අනාථයා, දෙවියන් අත්හැර දැමූ වීරයා, රැකියා විරහිත උපහාසයෙන් පිරුණු තරුණයා ලෙසින් ඔහු අපේ ළමා කාලය හැඩ ගැස්වූ අයුරු අපූරුය. දැන් ඔබට එම චිත්‍රපට සියල්ල නැවත රිදී තිරයේ දැක ගත හැකිය. අපේ වීරයා අපට නැවත ලබා දීම ගැන ෆිල්ම් හෙරිටේජ් පදනමට ස්තූතියි". අමිතාබ් කියා සිටින්නේ තම වෘත්තීය ජීවිතයේ මුල් කාලයේ සිටම මෙම චිත්‍රපට සියල්ලම නැවතත් රිදී තිරයට පැමිණෙතැයි තමා කිසිවිටෙකත් නොසිතූ බවයි.