විශිෂ්ටතමයන් අතරට

ඔක්තෝබර් 6, 2022

මේ වසර ආලියා භාත් හට ප්‍රීතිමත්ම වසරට බවට පත් වූයේ ඇයගේ දිවියේ සුවිශේෂි සුබ කාරණ රැසක් ඉටුවෙමිනි. වසර ආරම්භ වූයේ ඇයගේ රංගනයෙන් හැඩ වූ 'ගංගුබායි කතියාවාඩි' චිත්‍රපටය ඉහළ ආදායම් ලබමිනි. අනතුරුව ඇයගේ විවාහය සහ පළමු දරු උපතේ බලාපොරොත්තුව පිළිබඳ සුබ ආරංචියද ගෙන ආවාය. මේ දිනවල සිය සැමියා රන්බීර් සමඟ රංගනයෙන් දායක වූ 'බ්‍රහ්මස්ත්‍රා' චිත්‍රපටයේ සාර්ථකත්වය අත්විඳීමින් සිටින ඇයට තවත් සුබ පුවතක් අසන්න ලැබුණි. එනම් 'ද ගාඩියන්' සඟරාව නිවේදනය කළ විශිෂ්ටතම රංගනයන් ඉදිරිපත් කළ නළු නිළියන් අතරට ආලියාගේ නමද ඇතුළත් වීමයි.

'ද ගාඩියන්' මෑතකදී විශිෂ්ටතම රංගන ලැයිස්තුවක් නිකුත් කළ අතර එයට ටොම් හැන්ක්ස්, මැරලින් මොන්රෝ, ලුපිටා නියොන්ගෝ වැනි නළු නිළියන්ගේ රංගනයන් ඇතුලත් විය. ද ගාඩියන් ලේඛක මයික් මැකාහිල් සටහන් කළේ 'ගංගුබායි කතියවාඩි' චිත්‍රපටයේ ආලියා භාත්ගේ රංගනය මෙම වසරේ විශිෂ්ටතම රංගනයන්ගෙන් එකක් බවයි. ඇය මීළඟට ප්‍රියංකා චොප්රා සහ කත්‍රිනා කයිෆ් සමඟ ෆර්හාන් අක්තාර්ගේ 'ජී ලෙ සාරා' චිත්‍රපටයට රංගනයෙන් දායක වන අතර රන්වීර් සිං සමඟ 'රොකී ඕර් කී ප්‍රේම් කහානි' චිත්‍රපටයට දායක වීමට සූදානමින් සිටින්නීය. ඇය 'හාර්ට් ඔෆ් ස්ටෝන්' සමඟින් හොලිවුඩයට පිවිසීමට ද නියමිතව ඇති අතර මීට මාස කිහිපයකට පෙර ඇය ලන්ඩනයේදී එහි රූගත කිරීම් අවසන් කළාය.