පාට පහක දින පහක්

ඔක්තෝබර් 6, 2022

ශ්‍රද්ධා කපූර් බොලිවුඩයේ සිටින දක්ෂ, කතාබහට ලක් වූ නිළියන් ගෙන් කෙනෙකි. ඇය ආර්. මාධවන්, අමිතාබ් බච්චන් සහ බෙන් කිංස්ලි සමඟින් 2010 'තීන් පට්ටි' චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසි නමුත් ප්‍රසිද්ධියට පත් වූයේ ආදිත්‍ය රෝයි කපූර් සමඟ රංගනයෙන් දායක වූ 'ආෂිකි 2' චිත්‍රපටයෙනි. රසික රසිකාවන් ජනප්‍රිය තරු විලාසිතා කෙරෙහිද උනන්දුවක් දක්වන හෙයින් ඔවුන්ද අලංකාර විලාසිතා තේරීම් සමඟ රසික හදවත් පාලනය කරන අයුරු පෙනේ. මේ අතර ශ්‍රද්ධා නවරාත්‍රි උත්සවය ආරම්භ වූ දා සිට උත්සව දින පහ තුළ සෑම දිනකම වර්ණයක් සමඟ ගළපන ඇඳුම් වලින් සැරසී සිටින ඇගේ ඡායාරූප අන්තර්ජාලයට එක් කළ අයුරු දැක ගත හැකි විය.

ඒ අනුව පළමු දිනය නිර්මල බව වෙනුවෙන් සුදු පැහැය ද දෙවැනි දිනය ආශාව සහ ආදරය වෙනුවෙන් රතු පැහැයද තෙවැනි දිනය සන්සුන් බව වෙනුවෙන් නිල් පැහැයද සිව්වැනි දිනය සතුට සහ ප්‍රීතිය වෙනුවෙන් කහ පැහැයද පස්වැනි දිනය වර්ධනය සහ සශ්‍රීකත්වය වෙනුවෙන් කොළ පැහැයද වන අන්දමේ ඇඳුම් ඇඳ සිටින ඡායාරූප ඒ අතර විය.

ශ්‍රද්ධා මීළඟට පෙනී සිටින්නේ ලූව් රන්ජන්ගේ තවමත් නම් නොකළ චිත්‍රපටයේය. රන්බීර් කපූර් සමඟ රංගනයේ යෙදෙන ඒ වෙනුවෙන් පසුගිය මාසයේ ස්පාඤ්ඤයේ රූගත කිරීම් සිදු කළ අතර ජූලි මාසයේදී මොරිෂස්හිදී රූගත කිරීම් සිදු කෙරුණි. මීට අමතරව ඇය පන්කජ් ප්‍රාෂර් අධ්‍යක්ෂණය කරන 'චාල්බාස් ඉන් ලන්ඩන්' නම් හාස්‍යමය චිත්‍රපටයකටද දායක වෙමින් සිටින්නීය.