තාත්තා එදා කී දේවල් අපේ රට තේරුම්ගත්තේ ප්‍රමාද වෙලා

නොවැම්බර් 10, 2022

 

රන්වල පදනම / රන්වල බලකාය /

රන්වල මතු පරපුර මෙහෙයුම් අධ්‍යක්ෂ

සහන් රන්වල

 

ලාංකේය ජන ගීතය හා ජන සංගීතය වෙනුවෙන්ම ඇප කැප වූ විශිෂ්ට සංගීතවේදිකයකු සේම ප්‍රතිහාපුර්ණ රංගන ශිල්පියකු වූ ලයනල් රන්වල ශූරීන් සිය දිවි සැරිය නිම වා මෙම නොවැම්බර් මස 13 වන දිනට විසි වසරක් සපිරෙන්නේය.

එතුමා පෙන්වා දුන් මඟ ඔස්සේ යමින් රන්වල පදනම, රන්වල බලකාය සහ රන්වල මතු පරපුර සංවිධාන එකමුතුව මෙහෙයවීමෙන් මෙම මස 26 සහ 27 යන දෙදින ද අලළා සිදු කැරෙන දැවැන්ත වැඩසටහන් මාලාවක ප්‍රථම වැඩසටහන ඉකුත් 06 වනදින කුසලතා පුර්ණ දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් ‘හන්තානට ගයන ගී’ ප්‍රසංගය මහනුවර සහස් උයනේදී නොමිලේ විචිත්‍රවත්ව පැවැත්විණි.

කොවිඩ් උවදුරෙන් පසුව යළි සංවිධානය කෙරුණු මෙම වැඩසටහනට සමගාමීව 2012 වසරේ සිට ඇරඹුණු ගීත රස වින්දන වැඩසටහන් රැසක් ද නිදහස් චතුරශ්‍රයේද බණඩාරනායක සමරු රඟහලේ දී ද උත්සවශ්‍රීයෙන් සිදු කැරිණි.

දේශීත්වයටම මුල් තැන දෙමින් දහස් සංඛ්‍යාත දූ දරුවන් නිර්මාණකරණයෙහි නංවා සිදුකෙරෙන විසල් යුග මෙහෙවර පිළිබඳව ලයනල් රන්වල ශූරීන්ගේ කනිටු පුත්, රන්වල පදනමේ මෙහෙයුම් අධ්‍යක්ෂ සහන් රන්වල සරසවිය වෙනුවෙන් අප සමඟ පිළිසඳරකට එක්වුයේ මෙසේය.

‘අපේ තාත්තා අපට අහිමිවෙලා මේ නොවැම්බර් මාසයේ 13 වැනිදාට හරියටම අවුරුදු විස්සක්. තාත්තා නමින් අපි 13 වනදා තලවතුගොඩ ගනේලන්ද විහාරස්ථානයේ පින්කම් සිදුකරනවා.

‘අපේ තාත්තා අපේ රටට කියාදෙන්න උත්සාහ කළ දේ අපේ රටේ මිනිස්සුන්ට තේරුම් යන්නට පටන් ගත්තේ බොහොම ප්‍රමාද වෙලා. එහෙම හරි තේරුම් යාමත් සතුටට කාරණයක්. දැන් බලන්න ජාතීන් අතර තම තමන්ට අනන්‍ය වූ දෙයක් තියෙනවා. අපට ඉංගී‍්‍රසි කොඩියවත් ඉංගී‍්‍රසි සංගීතයවත් අරන් රටක් හැටියට ඉදිරියට යන්න පුළුවන් ද? බැහැනේ. අපේ තාත්තා අප රටට නිතරම දුන් වටිනා පණිවුඩයක් එයමයි. එදා තාත්තා ගත් වෙහෙස සුළුවට හිතන්න බැහැ. තාත්තාගේ එකම සිහිහන වුයේ එයයි. ඒ වටිනාකම අද අපේ රටේ අයට වඩාත් දැනෙන්නට පටන් අරන් තියෙනවා.

අනික, අපේ රටේ නිර්මාණකරුවන්ට විදේශයේ අගැයිමක් ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා අපට අපේ ම කියා අනන්‍යතාවක් අරගෙනයි අනන්‍යතාවක් තබා ගෙනයි අප ඉදිරියට යා යුත්තේ.

එසේ නම්, අපටම කියා ඇති අපටම අනන්‍ය වූ සංගීතය වගේ ම අපේ නන් වැදෑරුම් කලා ශිල්පය ද රැගෙන අප ඉදිරියට ම යා යුතුයි. එය අපට හොඳටම කළ හැකියි. අපේ ම දේ ඉහළම මට්ටමින් ජාත්‍යන්තරයට අපට ගෙන යා හැකියි. ආන්න එතැනයි අද අප ඉන්නේ. ඉතින් අපට එය සතුටට කාරණයක් තමයි.’

දේශීය ආරයට මෙරට ඉපැරණි කලා ශිල්පයන් එකතුපහදු කොට කලාශූරී ලයනල් රන්වලයන් ඉගෙනුම ලැබු පාසල්වල සහ ගුරු වෘත්තීය හෙබ වූ පාසල්වල දු දරුවන් සහභාගීත්වයෙන් මෙම රන් සලකුණ වැඩ 20 යටතේ විද්වත් දේශන සහ වැඩමුළු ඇතුළත් වැඩ සටහන් රැසක් ද රන්වල පදනම විසින් සංවිධානය කර ඇත.

ජන මතකයෙන් ද දුරස්ව ගිය හා මේ වනවිට නෑසෙන අප්‍රකට ජන ගීත 20 ජනගත කිරීමට ද සැලසුම් කොට ඇත. මේ සඳහා රංගිරි ශ්‍රී ලංකා නාලිකාව, චරණ රූපවාහිනිය, ඒ + රූපවාහිනි නාලිකාවේද දායකත්වය හිමිවෙයි. මෙම ගීතවත් වැඩසටහන ‘ලංකාරේ’ නමින් විකාශනය කෙරෙනු ඇති.

දේශීයත්වය සමඟ මුසු වූ කෝලම්, සොකරි, රූකඩ ආදී ඈ විෂයයන් පිළිබඳව කලා ක්ෂේත්‍රයන්හි නිපුණ විද්වතුන් ද එක්වන ‘ආදී වියතුන් සභා මැද’ වැඩසටහන් යටතේ විද්වත් දේශන රැසක් ද ‘චැනල් වන්’ රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශය කෙරේ.

‘මේ රන් වැඩ 20 වැඩ සටහනට විශේෂ වූ අවස්ථාවක් අප සැලසුම් කොට තිබෙනවා. මෙයට සරසවිය පාඨකයන්ට ද එක්විය හැකියි. ලයනල් රන්වල ශූරීන්ගේ ජන ගී නිර්මාණ ඇසුරින් මෙය සිදුවන්නේ චිත්‍ර ඇඳීමේ අවස්ථාවක් මේක.මෙම 27 දා මෙය පැවැත්වෙන්නේ උදාහරණයක් හැටියට අප හිතමු එතුමාගේ ගම අවුලඤ්ඤං ගීතය, ඒ ගීතයට අදාළව තම තමන්ගේ සිතට නැඟෙන අයුරකින් ඒ3 කඩදාසියේ චිත්‍රය ඇඳ ඉදිරිපත් කළ හැකියි. මෙය වර්චුවල් චිත්‍ර ප්‍රදර්ශනයක්.

රන්වල පදනමේ මෙහෙයුම් අධ්‍යක්ෂ සහන් රන්වලගේ මුහුණෙහි සතුට ඉහිරෙන සිනාවක් ද මතුවෙයි. හේ යළිත් කටහඬ අවදි කළේය.

‘ලාංකේය ජන ගීතය මෙරටට පමණක් නොව විදෙස් රටවලට ද රැගෙන යාමේ දැවැන්ත වැඩ පිළිවෙළක් ද අප අරඹා තියෙනවා. මේක ඔන්ලයින් පාඨමාලවක් ඇසුරින් සිදු කෙරෙන්නේ. මෙහි පළමු අදියර අවසන්. ඒ වගේම මෙහි දෙවන අදියර මෙම මස 26 හා 27 යන දෙදින තුළ සති අන්තයේ ඇරඹෙනවා.

ජනගීතය තුළින් ජන සංගීතය බිහිකරලීමේ අරමුණු පෙරදැරිව සිදුකැරෙන විවිධ වැඩසටහන් අතර ලයනල් රන්වල ශූරීන් පැමිණි ගමන් මඟ පිළිබඳව පාසල් සංගීත ක්ෂේත්‍රය පිළිබඳව ද විධිමත් වාර්තා වැඩ සටහනක් ද මේ රන්වැඩ විස්සේ වැඩ පිළිවෙළට ඇතුළත් වේ.

‘දැන් බලන්න අපි අනුරාධපුරය යුගය ගැන කතා කරනවා. එහි තේරුම ඒ යුගයට අයත් කලා ශිල්ප ඒ අයුරින්ම ඉදිරියට රැගෙන යාමක් නම් නෙව්. යටගිය සැඟව ගිය දෑ තුළ හොඳ දේවල් ද තියෙනවා. අදට නොගැළපෙන දේවල් ද ඇති. හණමිටි දේ කරපනින්නාගෙන යාමත් මින් කියැවෙන්නේ නෑ. කිරෙන් දිය වෙන් කරගන්නා සේ පරිස්සමින් සිදුවිය යුත්තක් අනාගතයට අපේ කම රැගෙන මේ යන ගමනේ දී සුදුසු විවිධ හැඩතල හදාගනිමින් යාමයි අප කළ යුත්තේ.

‘ජපානයෙන් අපට රූපවාහිනිය ලැබුණාය කියලා ඒ රටේ ම දේ බල බලා හිඳීම ද අප කළ යුත්තේ නැහැනේ. ඒ තුළින් අපේ දේ ගේන්නයි අපගේ වෑයම විය යුතු වන්නේ.

‘තවත් කෙනෙක් කරනකම්, බලධාරියකු අතක් දෙනකම්, තව කෙනෙක් බලකරන කම් කල් මර මරා ඉන්නවා නම් ඒක මහ මුළාවක්. අපේ තාත්තාගේ එකම මඟ පෙන්වීම වුණේ සහයක් අත දීමක් ලැබෙයි නම් එය ලැබුණාවේ. අපේ දේ අප ම වෙහෙසී උපරීමයෙන් කරන්න. එයයි තාත්තාගේ එකම මඟ පෙන්වීම වුයේ. කියන්න සතුටුයි අමල්, මේ සියළු දෑ වෙනුවෙන් අපේ දූ දරුවන් ඉතාමත් විනය ගරුකව මනා කැපවීමකින් මේ උන්තුංග වැඩපිළිවෙළට උතුම් දායකත්වයක් ලබාදෙනවා.’

සහන් රන්වල කල්පනාවකට වැටෙයි. යළි මදෙස ද බලයි. මේ අතරේ දී කතාව වෙනස් මඟකට ගනු රිසියෙන් පවුලේ තතු ද විමසුයෙමි.

‘ඔව් අමල් මට ඉන්නේ මගේ අයියා චිරන්ත. මේ රන්වල පදනමේ, රන්වල බලකායේ ඔහු මුල් යුගයේ පටන් ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක්. මහ බරක් කරට ගෙන කටයුතු කළා. දැන් මගේ අතින් මේ වැඩ කටයුතු සිදු කෙරුණත් අයියා අවශ්‍ය තැන දී සහායට ඉන්නවා.’

සහන් යළිත් අප මාතෘකාවට පිවිසියේය.

‘අද කාලේ මහලොකුවට ම ඇහෙන දෙයක් තමයි අපට වැඩක් කරන්න බැහැ. අපට මඟක් නැහැ. අපට මෙහෙමයි. අරහෙමයි කියලා එක්කෝ කියාවී අතදීමක් නැහැයි කියලා.ඒත් ඉතින්, අපි නම් ගතවන තිස් පැයේම මහ වැඩ කන්දරාවක අපේ දේ සමඟ අපි අපේ දහස් සංඛ්‍යාත අපේ දූ දරුවන් එක්කම’

මේ දේත් විශේෂයෙන් කිවයුතුයි. අපේ බලකායට, පදනමට, මතු පරපුරට එකතුව ඉන්න රට පුරාම දූ දුරුවන් තරඟකාරීත්වයට හැඩ ගැස්වීම යොමු කරවීම නොවෙයි අපේ අරමුණ වන්නේ ජීවිතය විවරණය කරන්නට. නිර්මාණශිලිත්වය ප්‍රගුණ කරවන්නට අභියෝගයනට ඔරොත්තු දෙන ශාක්‍යතාවය ඔප් නැංවීමයි. අපේ අරමුණ.

‘තවත් දෙයක්. අපි අපේ දරුවන් ටෙලි නාට්‍යයකට, නැතිනම් චිත්‍රපටයකට රඟපාන්න දමන ඉලක්ක අප සතුව නැහැ. නමුත් අප සතුව විශිෂ්ට සිනමාවේදීන් අධ්‍යක්ෂවරුන් විවිධ කලා ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් අප පදනමේ ඉන්නවා. ඒ ඇත්තන්ගේ නිර්මාණ කටයුතුවලට අපේ දක්ෂ දූ දරුවන් තෝරලා අරගන්න අවස්ථාවක් තියෙනවා.

මව්පියනට මට කියන්න තියෙන්නේ ඔබගේ දුව හෝ පුතා නළුවෙක් හෝ ගායකයෙක් කරවන්න වෙහෙසෙනවා නොව ඔබේ දරුවා මනුෂ්‍යත්වයෙන් පිරි හදවතක් හිමි නොසැලී ඉදිරියට යන දැක්මක් ඇති පුරවැසියකු බවට පත් කරලීමයි අපේ ඉලක්කය.’

සහන් මුව පුරා සිනාසෙයි. විවිධ කාර්යයන්හි නිරත දූ පුතුන් යුහුසුලුව පසුවෙති. වරෙක ඔව්හු සහන් සමීපයට පැමිණ පැවරූ කාර්යයක ගුණ ගුණ විමසති. හෙතෙම ඔවුනට මුදු වදනින් උපදෙස් දෙයි. ‘හරි පුතා එහෙම හොඳයි. දරුවෝ එහෙම කලාම හරි පුතේ.’ මේ මා සවනත වැකුණු ඔහුගේ වදන්ය.

ඒ අතරේ දී අප පිළිසඳරට ද ඔහු එක්වෙයි.

‘එකම එක දෙයක් අපට පැහැැදිලිය. මේ වැඩ කන්දරාව කරගෙන යද්දී අපේ රටේ මිනිස්සුන්ට දැනිල තියෙන හින්දාම වෙන්නැති අපේ සංදර්ශන වලදී පවා අපේ ප්‍රවේශ පත්‍ර නියමිත දිනයටත් කලින්ම අලෙවි වන්නේ’

‘අපේ ආචාර්ය මණ්ඩලය පනස් පහක් විවිධ විෂය කරුණු පිළිබඳව කතිකා කෙරෙනවා. අපේ පාඨමාලාවල ලංකා ඊ හසල හරහා ළමුන් 1500ත් 2000ත් අතර පිරිසක් ඉගෙනුම ලබනවා.

ලොව පුරා සිටින ළමුන් එක්ක වැඩකටයුතු සිදුකැරෙන අතරේ දී ඕස්ට්‍රේලියාවේ පර්ත් සිංහල භාෂා පාසල සමඟ එක්ව 2016 සිට අඛණ්ඩව පවත්වාගෙන යනවා.

ඒ වගේම කටාර් රාජ්‍යයේ වොයිස් අන්ලිමිටඩ් (Voice Unlimited)  කියල සිත එෆ්.එම්. ආරාධනයෙන් අප කටාර්වල ඉකුත් සැප්තැම්බරයේ වැඩසටහන් කළා. එහි සිංහල දූ දරුවනට අපේ ලයනල් රන්වල ශූරීන් ගැයූ ගීත වෙනසකට බඳුන් වන්නේ දැයි කළ විමසුමකදී.

එතුමාගේ ගීත කිසිසේත්ම වෙනසකට බඳුන් විය යුතු නැහැ. එතුමා නිර්මාණය කළ ජනගීත් අප රට තුළ ජාතික සංගීතයක් බිහිකරන්නට එකම වෑයම වුයේ එයම අප විවිධ හැඩතල මතින් අනාගතයට ගෙන යනවා. මේ අපේ කැපවීම ද එයමයි.’

රන් සලකුණ වැඩ විස්සට සමාගමීව එතුමා ගැයූ ගී ඇසුරින් ජිවිත විග්‍රහයක් ද නොමිලේ පැවැත්වෙයි. ලබන වසරේදී චරිත නිරාවරණයක් ලෙසින් ලංකාව ගැන ඉගෙනුමට ශාමින්ද පී‍්‍රියවිරාජ්, සුනෙත් චිත්‍රානන්ද ශිල්පින්ගේ එකතුවෙන් මේ දිනවල හඬ පටිගත කෙරේ. එය කාටුන් චිත්‍රපටයකි. මින් ලංකවේ බිහි වු විශිෂ්ටයන් පිළිබඳ ව දූ දරුවන් ද දැනුම්වත් කෙරෙනු ඇති.

“මීට වසර 300කට පමණ ඉහත දී මිනිස්සු අනුන් ගැන සොයන ගතිය වගේම ඕපා දුප තිබුණා. නමුත් මේ දක්වාම ඒ ඕපාදූප සොයන කතාකරන ගතිය මිනිස්සුන්ට තියෙනවානේ. ගම අවුලඤ්ඤාං ජීවිතයේ හරස් කඩක් තවමත් අපේ මිනිසුන් අනුන් ගැන සොයනවා. අන්න ඒ ගැනත් වෙනම ගීත මාලාවක් අප කරනවා. ‘

මෙරට දහම් පාසල් දූ දරුවනට තේමා වාදනය පිළිබඳව නර්තනය, බෙර වාදනය, ගැයුම, නැටුම, ආදී ඈ කලා විෂයයන් පිළිබඳව විවිධ පාඨමාලා පැවැත්වෙනු ඇත.

‘එක් එක් වසර වලදී අප විවිධ වැඩසටහන් කළා. අපේ සාමාජික සාමාජිකාවන් එකතුව අප කළ ෂෝ වලට කොවිඩ් උවදුර තදින් බලපෑවා. ඉන්පසු ඔන්ලයින් ක්‍රමය යටතේ අපි කළ ෂෝ එකක් 64,000ක් නැරඹුවා. ඒ දුෂ්කර කාලයටත් මුහුණ දෙමින්. අපේ තාත්තාගේ උතුම් මෙහෙවරට පණදෙන වෑයමක් මේ අප කරන්නේ’ සහන් රන්වල කියන්නේය.

අපේ සියලුම ගීත ජන නාද රටාවෙන් පිරිපුන් මම රචනා කළ ප්‍රභා දිසානායක ගයන ආදරේට කෝඩුකාර’ ගීතය රුහුණු කතරගම පෙරහරට තාරුක ගුණරත්න නඳුන් කුලරත්න එක්ව ගැයූ ‘හරෝ හරා’ ගීතයත්, ගිරිරාජ් කෞශල්‍ය ලියූ අමන්දන උත්පලී එතුමාගේ දියණිය ගැයූ රැජිනට ඇන්දා ගීතයත් සිහිපත් කළ යුතුයි. ‘

මේ ටික විශේෂයෙන් කිවයුතුයි. මේ සංවිධානය ශක්තිය’ මුලිකත්වය වසන්තා මධුරංගනී, කබීෂා රාජපක්ෂ, අමන්දන උත්පලී, කසුන් දොඹගොල්ල, ප්‍රදීප් මුතුකුඩආරච්චි, දිලුම් නිරංජ, නීල් සේනානායක, ප්‍රභා දිසානායක, ශානක සම්පත්, ප්‍රසාද් පුලසිංහ, ශදී මිහිකලා, නේත්මි මදුෂා, නදුන් කුලරත්න, රොහාන් සේනාධීර, දර්ශික ජයවීර අසංක ගුරුගේ, සචිත්‍රා තාරුකා, දහරාධා කළුපහන ඇතුළු රන්වල බලකායේ , රන්වල මතු මතු පරපුර දූ පුතුන් ආදරයෙන් සිහිපත්’ කළ යුතුමයි.

 

[email protected]