ආලෝකයාණෝ 26 එති

මාර්තු 23, 2023

 

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ දිවී පිදීමේ කාලය සිහිපත් කරමින් සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුනිල් කෝස්තා විසින් තිරපිටපත රචනා කොට අධ්‍යක්ෂණය කළ ‘ආලෝකයාණෝ’ පාස්කු නාට්‍යය මේ මස 26 සන්ධ්‍යා භාගේ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල් එළිමහන් රංග පීඨයේදී වේදිකාගත කෙරේ.

රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ චරිතය ද ප්‍රවීණ රංගන ශිල්පිනී වීණා ජයකොඩි මරියා මග්දලේනා චරිතය ද නිරූපණය කරන්නීය. කෝට්ටේ ශාන්ත තෝමස් දෙව් මැදුරේ සැදැහැවතුන් සමඟ ඉන්ද්‍රජිත් පෙරේරා පියතුමාගේ අනුශාසකත්වයෙන් මෙය ඉදිරිපත් කෙරේ. බෞද්ධ, කිතුනු නළු නිළියන් සියයකට අධික පිරිසක් මේ සඳහා රංගනයෙන් දායක වෙති.

අජිත් කුමාරසිරී, නාමිනී පංචල හා ගයාන් ගණකධාර සංගීතයෙන්ද වසන්ත විට්ටච්චි වේශ නිරූපණයෙන්ද, වේදිකා පරිපාලනයෙන් ජයන්ත අමරසිංහ, නිෂ්පාදන කළමනාකරණයෙන් මලිත් පීරිස්, කලා අධ්‍යක්ෂණයෙන් අජන්ත අලහකෝන්, රංග වින්‍යාසයෙන් මනුබන්දු විද්‍යාපති ද දායක වෙති.