අප තුළ කියැවීමක් තියෙන නිසා රැලිවලට ගසාගෙන යන්නේ නැහැ

ලක්හඬ ගුවන් විදුලියේ සහකාර වැඩසටහන් කළමනාකාරිනී මයුරි ලියනගේ
මාර්තු 23, 2023

සෘජු ප්‍රශ්න කිරීම ඇගේ මාධ්‍ය කලාවේ සලකුණක් විය. ලක්හඬ ගුවන් විදුලියේ ආරම්භක සාමාජිකාවක වූ ඇය මාධ්‍ය කලාවට අත්පොත තබනුයේ පාසලෙන් සමුගැනීමත් සමඟය. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතාගේ උපදේශකත්වයෙන් අරභා තිබු ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන ඈ මාධ්‍ය කලාවේ හරබ කරන්නට තෝතැනන්ක් සොයා ගන්නේ හරි අපුරු ආකාරයටය. පුවත්පත් දැන්වීමක සටහනක් යොදා තිබුණේ අල්පෙනෙත්තේ සිට අභ්‍යවකාශය දක්වා ඔබ කතාකරන්න දන්නවා නම් පමණක් අයැදුම් කරන්න කියා දැන්වීමකි. ඒ අනුව ඈ ද මේ සඳහා ඉල්ලුම්පතක් ඉදිරිපත් කරනු ලැබුවාය. නාවල කිරිමණ්ඩල මාවතේ විශේෂිත ස්ථානයක මෙම දැන්වීමට අනුව සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබීය. කැඳවා තිබු වෙලාවට දිනයට ද මේ තැනැත්තිය පියවර මැන්නේ පත්තර දැන්වීමේ වැඩි මනක් නොදැනය. ඒයන විටත් රූපවාහිනී මාධ්‍යයෙන් දැක සිටි මොහොන් රාජ් මඩවල, නුවන් ලියනගේ, කපිල ගාමිණි ජයසිංහ, චිරන්ත රන්වල, සඳමාලි විජේසේකර වැනි අය ද ඒ සඳහා පැමිණ සිටියේය. නමුත් මේ අප කියන්නට යන කතා නායිකාව නම් මාධ්‍ය ගැන තියා රේඩියෝ කලාව ගැනවත් කිසිදු අත්දැකීමක් නොලැබු තැනැත්තියක් විය. ඇයට තිබුණේ ජනමාධ්‍ය ඩිප්ලෝමා සහතිකය පමණි. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ හැදි දැඩි පුද්ගලයන් කීප දෙනෙක්ම විය. ඒ අතර නිව්ටන් ගුණරත්න. අශෝක තිලකරත්න වැනි මාධ්‍ය කලාවේ නම් දැරූ පුද්ගලයන් ද විය. සම්මුඛ පරීක්ෂණය ඇරැඹිනි. නිව්ටන් ගුණරත්නයන් මුලින්ම අපේ කතා නායිකාවට පැවරුවේ සකස්කඩය කියන්නටය. එය ද ඇය හරි අපුරුවට කියා නිම කළාය.

ඉන් අනතුරුව තවත් පැවරුමක් ඇයට ඉදිරිපත් කළාය. ඒ දිනවල ඩෙංගු උවදුර තදින් පැතිරි තිබු කාල වකවානුවක් විය. ඒ පිළිබඳ ලියූ නිවුස් කියවීමට ඊළඟට ඇයට පැවරිණි. එය ද ඇය නොබියව ඉදිරිපත් කරනු ලැබුවේ. මාධ්‍ය පතාකයෝධයන්ගේ දෙනෙත් ඉදිරියේය. එය ද සාර්ථකව අවසන් කළ ඈට ඊළඟට පැවරුණේ ඩෙංගු උවදුර පිළිබඳ ජාතික වැඩපිළිවෙළ පිළිබඳ සජීවී විස්තර ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙසය. එය ද මනා ලෙසින් ඉදිරිපත් කළ ඈ පරීක්ෂණ මණ්ඩලය වෙත පැමිණිමත් සමඟ නිවුටන් ගුණරත්න මහතා ඇගෙන් විමසා සිටියේ අයිසේ ඒ මොකක්ද ඒ කළේ කියලාය. ඒ සඳහා ඇය කිව්වේ මම සජීවී විස්තරයක් ගෙනවා කියාය. එවිට නිව්ටන් ගුණරත්නයන් පවසා සිටියේ ආ ඒකද ඒ කළේ කියාය. කවුරුත් සිනාසෙන්නට විය. ඒ සැණින්ම අපේ කතා නායිකාව තමන්ගේ සියලු බලාපොරොත්තු අතහැර දමනු ලැබුවේ තමන් එයින් අසමත් වී ඇතැයි සිතමිනි. නමුත් ඇයට සතියකින් ලිපියක් ලැබුණේ මෙවැනි වදන් පෙළක් සමඟිනි. ලංකාවේ මැදමාවතේ යන ලක්හඬ ගුවන් විදුලිය ඇරැඹීමට ඔබව තෝරාගෙන ඇත කියාය.

ඒ ලිපිය සඳහන්ව තිබු ආකාරයෙන් ඈව තෝරාගෙන තිබුණේ ලක්හඬ ගුවන් විදුලියට ය. රූපවාහිනි ගුවන් විදුලි මාධ්‍ය අත්දැකිම් ලැබුවන් අතරේ. කිසිදා මයික් එකක් අතින් අල්ලා නැතිව සිටි ඇයට මෙවන්නකට තෝරා ගැනීම පිළිබඳව ඈට තිබුණේ පුදුම දනවන සුලු සතුටකි. මෙවන් වූ අපුරු අත්දැකීම් පරීක්ෂණයක් තුළින් මාධ්‍ය කලාවේ හරඹ පිටියට ප්‍රවිෂ්ට වූ ඈ නමින් මයුරි ලියනගේය. රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගේ සේම ගුවන් විදුලි ශ්‍රාවකයන්ගේ නොමද ආදරයට පාත්‍රව සිටින ඈ නිවේදිකාවක් සේම ලක්හඬ ගුවන් විදුලියේ වැඩසටහන් සහකාර කළමනාකාරිණිය ලෙසින් ද කටයුතු කරනු ලැබේ. මේ ඇය හා කෙරෙන කතාබහකි.

 

මේ දවස්වල වගකීම් කාර්ය භාරය කොයි වගේ ද මයුරි?

අපේ ගුවන් විදුලියේ වැඩසටහන්වල වෙනසක් කරන්න අපේ අදහසක් තියනවා. ඒ සඳහා අවශ්‍ය මුලික කටයුතු සුදානම් කරමින් ඉන්නවා. ඊට අමතරව මා විසින් කරගෙන යන සුපුරුදු වැඩසටහන් වන සිංහරාව, (සාමාජීය කතිකාමය වැඩසටහන) ඕග තරණය හසලක සීලවිමල හිමියන් සමඟ පොහොය දින වැඩසටහන) මේ වැඩසටහන් දෙක සමාජ මාධ්‍ය ජාලයේ බොහොම ජනපි‍්‍රය වැඩසටහන් දෙකක් බවට පත්වෙලා. ඒවාට ලැබෙන ප්‍රතිචාර වලින් අපිට ඒ දේ පැහැදිලියි. අද රේඩියෝව අහන තැනට වඩා බලන තැනට ඇවිත්.

මයුරි හිතනවද අද රේඩියෝ මාධ්‍යයට තැනක් තියනවා කියලා?

රේඩියෝ වැහෙන්නේ නෑ කියන තැන මම ඉන්නවා. රේඩියෝ කොහෙන් කොහොම ගියත් පවතිනවා නව මාධ්‍යයකට යන්න හැම මාධ්‍යයකටම අද වෙලා තියෙනවා.

ලබන වසරේ ඔබේ බලාපොරොත්තුවකුත් තියනවා කියලත් දැනගන්න ලැබුණා. ඒ මොනවගේ දෙයක්ද?

නවකතාවක් එළිදක්වන්න. මේ වන විට මම එය රචනා කරමින් ඉන්නේ. පොතේ පරිච්ඡේද හතක් විතර ඉවර කරලයි තියෙන්නේ. පරණගම සහ ස්වභාවධර්මය මුලික කරගෙන තමයි මම මේ පොත ලියන්නේ. මාණික්කාවත මම ලක්හඬට ලියන කොට තමයි මගේ හිතට මේ අදහස ආවේ. නිර්ව්‍යාජකම ගැමිකම මත දිග හැරෙන කතා තේමාවක් තමයි මගේ රචනය තුළ තියෙන්නේ.

නවකතාවක වස්තු බීජය ඔබට ගෙනඑන්නේ මාණික්කාවත කිව්වොත්?

මාණික්කාවත මම ලක්හඬට රචනා කරන කොට තමයි මට මේ අදහස මුලින්ම ඇතිවුණේ. මස් ඉඹුල හා සුදත් රෝහණ තමන්ගේ නිර්මාණ රචනය තුළ පරණගම අත්පත්කරගෙන ඉන්නවා. ඒ තුළ දැවැන්ත මානුෂීය කතාවක් තියනවා. ඒක දැනුණ නිසා තමයි මාණික්කාවතට මිනිස්සු ප්‍රතිචාර දැක්වුයේ. මම කියන්නේ අපි කොහේ ගියත් මොන තාක්ෂණය භාවිතා කළත් අවසානයේ අපි අපිම නොදැනම පරණ තැනට එනවා.

මයුරි අද ඔබට අනන්‍ය වූ ස්ථාවර බවක් හදාගෙන තියන මාධ්‍ය වේදිනියක් කිව්වොත්?

මම ඒක පිළිගන්නවා. අද වෙනකන් මට කවුරුවත් නෑ බලධාරියෙක් කියල මගේ රටාව වෙනස් කරන්න කියලා. අපි තමන්ට කියල ස්ථාවරභාවයක් හදා නොගත්තොත් අපිට වෙන්නේ රැල්ලට යන්න. ප්‍රතිරූපයක් හැදුණට පස්සේ කාට වුණත් මොනරැලි ආවත් වෙනස් කරගන්න ඕනේ නෑ. අපිට අනන්‍ය වූ ශෛලියක් තියනවා ඒක ගතානුගතිකයි ඒක යල්පැනල කියල කවුරුවත් කියන්නේ නෑ. අපේ අනන්‍යවූ ගති ලක්ෂණ මාධ්‍ය තුළට සදාකාලිකයි. ඒකයි අපේ පැවැත්ම අපි තුළ කියවීමක් තියන තාක් රැලි වලට අපිව ගසාගෙන යවන්න බෑ. වානිජ ලෝකයේ අපි අදටත් රැඳිල ඉන්නවා. අපි ගොඩනඟාගත් අපේකමට හානියක් නොවන්න.

ඔබට අනන්‍යතාවයක් ගොඩනැගුණු වැඩසටහන් මොනවද?

රූපවාහිනී ක්ෂේත්‍රයේ සේම ගුවන් විදුලි ක්ෂේත්‍රයේ අතීතයේ ලක්හඬ පටන්ගත් කාලයේ පටන් නුග සෙවණ අයි.ටී.එන්. ප්‍රවෘත්ති නිවේදිකාවක් ගැහැනිය, වැඩසටහන, ස්වාධීන රූපවාහිනියේ ගිරය දේශපාලන වැඩසටහන වගේ ගොඩක් දේවල් තියනවා. වර්තමානයේ නම් ඕග තරණය, සිංහ රාව වැඩසටහන්

ඔබ වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී භාෂාව හසුරුවන ආකාරය ප්‍රශ්න නඟන ආකාරය පිළිබඳ චෝදනා තියනවාද?

දැන් මම කරන ඕග තරණය වැඩසටහන තුළ ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න කිරීම කෙනෙකුට ගැටලුකාරී වෙන්න පුළුවන්. නමුත් මම ඒ ආකාරයට ප්‍රශ්න කරන එකට ගරුතර ස්වාමීන් වහන්සේ පවා කියල තියෙන්නේ ඔය ආකාරය වෙනස් කළොත් වැඩසටහනට එන්නෙත් නෑ කියලා. මිනිස්සු ආශයි මම ඒ ආකාරයට ප්‍රශ්න කරනවාට. එදා මෙදා තුර සිටිය කිසිම සභාපතිවරයෙක් මගේ ශෛලිය වෙනස්කරන්න කියලා මට බලපෑම් කරලා නෑ. ඔවුනුත් රාජ්‍ය මාධ්‍යයක් හැටියට ඒ දේ පවත්වාගෙන යන්න අනුබලයක් දීල තියනවා. නිශ්ශබ්දව සිටීම තුළ ආයතනය තුළින්වත් පරිභාහිරවත් මට කාගෙන්වත් චෝදනාවක් බලපෑමක් ආවේම නෑ මගේ ශෛලිය වෙනස් කරන්න කියලා.

මාධ්‍ය කලාවේ දැවැන්තයන්ගේ ඇසුරේ ගොඩනැගෙන චරිතයක් මයුරි ලියනගේ?

නිව්ටන් ගුණරත්න සර් තමයි මගේ මාධ්‍ය කලාවේ හැරවුම් ලක්ෂ්‍ය මුලින්ම හඳුනාගත්ත තැනැත්තා. අශෝක තිලකරත්න, චන්දන තිලකරත්න, ස්වර්ණ ගුණවර්ධන වගේ ප්‍රවීණයන්ගේ ඇසුර මගේ ගමනට ලොකු ශක්තියක් වුණා. අද මට මේ ඉන්න තැනට එන්න.

පාසල් අධ්‍යාපනය තුළ සිටම ඔබ මාධ්‍යයට ඇලුම් කළා ද?

ඔව් මගේ ආශාව තිබුණේ පුවත්පත් මාධ්‍යයට ඒ නිසාම තමයි මාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව පවා හැදෑරුවේ. දවසක් මම අම්මාගේ හිතවතෙක් වූ සිරිමෙවන් කස්තුරි ආරච්චි මහතා හමුවීමට දිවයින පත්තරයට ගියා. එතැනදී මගෙන් වයස අහපු සිරිමෙවන් මහත්තයා මට කිව්වා තව මේ පිළිබඳ පරිණත වෙලා එන්න. තවම ඔබ මේ සඳහා ළපටි වැඩියි කියලා. මගේ පවුලේ අම්මාගේ පැත්තේ වගේම තාත්තාගේ පැත්තේ නෑදෑයෝත් කැමැති වුණේ නෑ. මම මාධ්‍ය පැත්තේ රස්සාවක් තෝර ගන්නවාට ඒ අයට ඕනෙ කළේ මම රජයේ පිළිගත් රැකියාවක් කරනවා දකින්න. නමුත් මගේ අම්මා එකහෙළාම කිව්වා. මම කැමති දෙයක් කරන්න කියලා අපේ පවුල් පසුබිමත් එක්ක අම්මා මගේ කැමැත්තට ඉඩ නොදුන්නා නම් මම අද මේ කරන රැකියාවෙත් නෑ.

පුවත්පත් කලාවට පෙම් කරන ඔබ අහම්බෙන් විද්‍යුත් මාධ්‍ය කලාවට ප්‍රවිෂ්ට වෙනවා කියලා හිතුණේ නැද්ද? මේ මාධ්‍ය දෙක තුළ සමබර ගමනක් යන්න..

මට ලියන්න පුළුවන් කියන දේ ලොකුවට බලපෑවා කතාකරන්න ගියහම හොඳට ලියන්න පුළුවන් කෙනාට හොඳට කතා කරන්න පුළුවන් ඒක මට ලොකු පිටිවහලක් වුණා. අද මම කරන ඕනෙම වැඩසටහනක. ලිව්ව කිව්ව කියන දෙකම මට තියන නිසා. මම සාර්ථකගමනක් ගිහින් තියෙනවා.

අද ගුවන් විදුලි මාධ්‍යයේ ගිරාපෝතකයන්ට ඔය හැකියාව නෑ කියල ද ඔබ කියන්නේ?

ඔව් අද පොතක් කියවල දැනුමක් ගන්න පරම්පරාවක් නොවෙයි ඉන්නේ. මාධ්‍ය වේදියෙක් උණාම ඕනෙම දෙයක් දැනගත යුතුයි. දැනනොගත යුතු දෙයක් නැනේ මාධ්‍යවේදියකුට කටට එන වචන ටික කිව්ව පලියට හොඳ ප්‍රසන්ට කෙනෙක් වෙන්න බෑ. දැනුමත් ඒ සමානව ඕනේ.

එන්න එන්න සමාජය දියුණු වෙනවා නම් සිතුම් පැතුම් දියුණු වෙනවා නම් මාධ්‍ය කලාවෙන් දිනුමක් දැකිය යුතුයිනේ.

වෙළෙඳ පොළත් එක්ක තියන ප්‍රශ්නයට අද කොයි මාධ්‍යයත් යටවෙලා තියෙන්නේ. ඔය දේට නිවේදකයෝ සියයට සීයක් වග කිව යුතුයි කියල මම කියන්නේ නෑ. ආයතන හිමිකාරිත්වය කියන දේට තමයි නිවේදකයෝ අද කටයුතු කරන්නේ. ඔය දේම රාජ්‍ය මාධ්‍යයටත් අත්වුණා. අද සල්ලි කියන දේ මත යැපෙන මාධ්‍ය කලාවක් තමයි තියෙන්නේ.

රැඩිකල් මාධ්‍ය කලාවක් තුළ යැපෙන තත්ත්වයක් නේද අද තියෙන්නේ?

ඒ රැඩිකල් බව තුළ අපි ෂෝෂල් මීඩියා තුළ පට්ට විධියට බැනුම් අහනවා. මම කියන්නේ විශේෂයෙන් කාන්තාවක් නම් මේ දෙපැත්තට මුහුණ දෙන්න බලාගෙන තමයි කටයුතු කරන්න ඕනේ. පොසිටිව් පැත්ත වගේම නෙගට්ව් පැත්ත ගැනත් අපි සිතාබැලිය යුතුයි. ඒක අපිට වෙනස් කරන්න බෑ. ලංකාවේ වගේ රටක කාන්තාවක් සෘජු ප්‍රශ්න කිරීමක් කරනවාට බහුතරයක් පිරිස් කැමැති නෑ. හුඟාක් අය කාන්තාවගෙන් බලාපොරොත්තු වන්නේ ළාමක මට සිලිටු ප්‍රශ්නයක් උත්තරයක්. නමුත් සෘජුවම වදින ප්‍රශ්නයක් ඇහුවොත් කියයි. අර ගැනිගේ තියන පණ්ඩිතකම කියලා. පසුබෑමේ මානසිකත්වයක් තියනවා. මිනිස්සු හිතන්නේ ගෑනු කෙනෙක් ඉන්නේ ප්‍රශ්න කරන්න නොවෙයි. කියන දේ අහන් ඉන්න කියලා. මම නම් එන විරෝධතා බලාපොරොත්තුවෙන් තමයි ඕනෙ වැඩසටහනක් කරන්නේ. රුවුලයි කැඳයි දෙකම ඕනෙ වුණත් දෙකම බේරගන්න බැරි අවස්ථා තියනවා. අද මිනිස්සු ප්‍රශ්න කරනවාට කැමතියි. බටර් ගානවට කැමති නෑ.

අද මයුරිට හිතෙන්නේ නැද්ද ඔබත් කරන වැඩසටහන්වලින් වෙනසක් කළොත් හොඳයි කියලා.

හිතෙනවා. මම කරන වැඩසටහන්වලින් වෙනසක් මමත් බලාපොරොත්තු වෙනවා. මටත් දැන් එක රටාවේ වැඩසටහන් දැන් ඇතිවෙලා. අද රේඩියෝව මිනිස්සුන්ට සමීප කිරීම ගැටලුකාරී වෙලා තියෙනවා. වෙනස් කිරීම කියන දේ අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක්. සමහර වැඩසටහන් වලට මාව සුදුසු නෑ කියල තීරණය කළොත් මම එතැනින් ඉවත් වෙන්නත් සුදානම්. හැබැයි තවම කවුරුවත් මට එහෙම කියල නෑ. අපි තමයි කඳවුරු අපි නැතුව බෑ. මේක දුවන්න නම් අපි ඉන්න ඕනේ කියල හිටියොත් මේක කරන්න බෑ.

අද අලුත් පරම්පරාවක් හැදී නොසිටීමත් ලොකු ගැටලුවක් නොවේද?

දැන් මගේ සේවා කාලය අවුරුදු 26ක් මේ කාලය තුළ යම් යම් අයුරින් තව තව පිරිස් අපේ ක්ෂේත්‍රයට එක්වුණා. නමුත් අදටත් අපි නිවාඩුවක් ගන්න ගියත් ප්‍රධානියා අහන්නේ නිවාඩු ගියොත් කවුද වැඩසටහන කරන්නේ කියලා.

ඒ කියන්නේ පිරිස් ආවට වගකීමක් පවරන්න කෙනෙක් හැදිල නෑ. කියන එක නේද?

අද ඉන්නේ උයන්න අඩුම කුඩුම ටික ළඟට හොයල දුන්නොත් ඒ ටික දාල හොද්ද හදන්වත් දන්නැති කට්ටියක් අපි මාධ්‍ය කලාව පුරුදු වුණේ අඩුම කුඩුම හොයාගෙන තනියම හොද්දක් හදලා.

රූපවාහිනී මාධ්‍යයට ගුවන් විදුලි මාධ්‍යයට ද ඔබ වඩාත් ඇලුම් කරන්නේ?

ගුවන් විදුලි මාධ්‍ය තමයි අමාරු අපි වගේ අය අද රූපවාහිනී මාධ්‍යයට අවශ්‍යය ද කියලත් හිතෙනවා. ලංකාවේ පේ‍්‍රක්ෂකාගාරය බලාපොරෝත්තුවන්නේ ලස්සනට ඇදගත් සුන්දර සුකොමාල ලාලනීල තමයි නිවේදිකාවෝ හැටියට දකින්න කැමති. සුළු පිරිසක් තමයි එයින් එහාට ගිය දෙයක් අපේක්ෂා කරන්නේ.

අද නව පරපුර තුළ ප්‍රවීණයන්ට ගරු කිරීමත් බැහැරවෙලා නොවේද?

එහෙම නැතුවා නොවෙයි. එහෙම වුණත් ඔවුන් තමන් ගේ ගමන ගිහිල්ලා නම් ප්‍රශ්නයක් නෑ කියමුකෝ. තමන් දැන ගත යුතුදේට නිහතාමානී වීමත් දකින්නේ නෑ. මම කියන්නේ අපි ප්‍රවීණයෝ කියල හිතලා ඉන්න එපා අපිවත් පතුරු ගහන්න. කුණාටු හමන තරමට අපි පොලිෂ් වෙනවා. වැටෙන තරමට මිනිහෙක් ගොඩනැගෙනවා. මම කියන්නේ අලුත් පරම්පරාවක කුණාටුවකටත් පස්සේ අපි තුළත් යමක් ඇතිවෙනවා. අලුත් පරම්පරාවට මම කියන්නේ අපි තුළ කුණාටු හදන්න ඒකෙන් අපි තවත් ඔපමට්ටම් වෙනවා.

ඔබේ ගමනට සෙවණැලි වුණේ කවුද?

නිව්ටන් ගුණරත්න, අශෝක තිලකරත්න, අශෝක කරුණානායක, චන්දන තිලකරත්න වගේම මගේ සේවා කාලය තුළ රැඳී සිටි ආයතන සභාපතිවරු වගේම මගේ මව කමලා චන්ද්‍රසේකර

මයුරි සම්මානීයත්වයට පත් මාධ්‍යවේදිනියක්?

සිංහරාවය වැඩසටහනට හොඳම ගුවන් විදුලි සාකච්ඡාමය වැඩසටහන හිමි ගුවන් විදුලි රාජ්‍ය සම්මානය හිමිවුණා.

ප්‍රශස්ත ගුවන් විදුලි සන්නිවේදකයාට හිමි සහතිකය මට හිමි වුණා. සිංහරාව වැඩසටහනට හොඳම විචිත්‍රාංග වැඩසටහනට හිමි ගුවන් විදුලි රාජ්‍ය සම්මානය මට හිමිවුණා. ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙනුවෙන් කළ රේඛාවේ යුගාන්තය වැඩසටහනට. මේ සම්මාන ලැබුවා කියල මම පොර කියල හිතාගත්තොත් මම ඔතනම තමයි එතැනින් එහාට දෙයක් නෑ.

සම්මානයක් දෙනවා කියන්නේ මිනිහෙක් මොට කරනවා කියන එකද?

එක්තරා විධියකින් ඒ දේ තමයි සිද්ධ වෙන්නේ. මිනිහෙක්ව නවත්වන්න තැනක්. සම්මානය ඔහු හෝ ඇය හිතනවා මම දැන් පොරක් කියලා. මම කියන්නේ සම්මාන දෙන්න එපා කියලා නොවෙයි. දෙන අයගේ වරදක් නෑ ලබන කෙනාගේ ලොකු වරදක් තියනවා. මම පොර කියල ඇඳගන්න එක ගැන. ඊට පස්සේ නිර්මාණ නොවෙයි ඔහුගෙන් බිහි වන්නේ සම්මානේ නම විකුණමින් මම පොරක් කියල හම්බ කරන වැඩපිළිවෙළක් තමයි හොයන්න පටන් ගන්නේ.

මයුරිට අධ්‍යාපනයේ මංමාවත පාසල් ත්‍රිත්වයක් හරහා ගොඩනැඟීමත් ලොකු ආශිර්වාදයක් වුණාද?

මගේ අධ්‍යාපනය පාසල් තුනක සිදුවෙනවා. වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ වේයන්ගොඩ බණ්ඩාරනායක මාධ්‍ය මහා විද්‍යාලයේ ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ මේ පාසල් තුන තුළ දී මට සමාජයේ විවිධ පැලැන්තීත්වල දරුවන් ඇසුරු කරන්න ලැබුණා.

පවුලේ නාළිකාව වූ ලක්හඬ සැබෑවටම ඔබට පවුලේම නාළිකාවක් වුණා නොවේද?

ඇත්ත. මගේ සැමියා තුසිත ගුණසේකර මට හමුවන්නෙත් ලක්හඬ තුළදී. මම ලක්හඬ හා අත්වැල් බැදගන්නකොට තුසිත ඒ ආයතනයේ ඔපරේෂන් ඇසිස්ටන් හැටියට වැඩ කරනවා. මගේ නිවේදන කටයුතු වල දී බීම් එකේ ඔපරේෂන් ඇසිස්ටන් හැටියට කටයුතු කළේ ඔහු. එතැනදී ඇතිවන හඳුනාගැනීම අවසානයේ ආදරයකට පෙරලෙනවා. අද වෙන කොට ඔහු ඔපරේෂන් අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කරනවා. අද අපි තනියම බීම් එකේදී ච්ට් එක ඔපරේට් කළත් එදා ඔපරේටර්ට ඕනෙ නම් අපේ නිවේදන කටයුතු අවුල්ජාලයක් කරන්නත් තිබුණා. එදා ලක්හඬේ දුරගමනක් යන්න මගේ සැමියා තුසිත ලොකු සහයෝගයක් ලබාදුන්නා. ආධුනික ශිල්පිනියක් ලෙස කටයුතු කළ මම පුංචි දියණියකගේ මවක් දුවට අවුරුදු හතයි ඈ සිතුලි අනන්‍යා. පුංචි දුවත් මේ වනවිට ලක්හඬේ වොයිස් කරනවා. රූපවාහිනී දැන්වීම් කීපයකටත් සම්බන්ධ වුණා. මගෙන් කිසිම බලපෑමක් නෑ. දුවගේ දක්ෂතාවට වැඩසටහන් නිෂ්පාදකයෝ ඇයට ආරාධනා කරනවා.

නිවේදක නිවේදිකාවන් තුළ තිබිය යුතු යැයි ඔබ අදහස් කරන්නේ?

හැම ළමයෙක් තුළම කලාව කියන දේ ටිකක් හරි තිබිය යුතුයි. ඒ නිසා තමයි මනුස්සකම රැකෙන්නේ. තමන් මොනතරම් උසස් තැනකට ගියත් සංවේදී මනුස්සයෙක් නොවුණොත් වැඩක් නෑ. සංවේදී කියල මම කියන්නේ අඬා වැටෙන එක නොවෙයි. මොන රස්සාවක හිටියත් පවුවේ තෙත නැත්තම් වැඩක් නෑනේ. අනික් මිනිහාගේ දුක තුළ මොන ඉහළ තලයට ගියත් සංවේදිවෙන්න බැරිනම් වැඩක් නෑ. මම කරන සිංහරාව වැඩසටහන තුළ රට වෙනස් කරන කතාව තුළ මම කරන්නේ තිංකිං වෙනස් කරන්න. හැබැයි සංවේදීකම තියාගෙන.

මාණික්කාවත වගේ තවත් නිර්මාණ ඔබ ගුවන් විදුලියට රචනා කරන්න අදහස් කරල තියනවාද?

මාණික්කාවත ගුවන් විදුලියට රචනා කිරීම උදෙසා හොඳම පිටපත් රචනය සඳහාත් මට සම්මාන ලැබුණා. ගුවන් විදුලියට නාට්‍යයක් රචනා කිරීම බැරූරුම් කාර්යක් මොකද සියලු සිද්ධි අපි මවන්න ඕනේ. දැනට යෝජනා කීපයක් ඇවිත් තියෙනවා අයි.ටී.එන් එකේ යන නාට්‍ය කීපයක් ගුවන් විදුලියට රචනා කරන්න. නාට්‍ය ප්‍රචාරය වන වෙලාවේම අපිත් මේක කරන්න ඕනේ. මාණික්කාවත මම ගුවන් විදුලියට රචනා කරනකොට මස්ඉඹුලටවත් සුදත් රෝහණටවත් ගුවන් විදුලියටවත් හානියක් නොවෙන්න තමයි එය රචනා කළේ. ඒ කාර්ය මම කරන කාලයේ ඒ වෙනුවෙන්ම සමවැදිල මගේ කාර්ය මම සිද්ධ කළා.

ගුවන් විදුලි මාධ්‍යයේ ඉරණම අනාගතයේ කොයි වගේ වෙයි කියලද ඔබට හැගෙනනේ?

රේඩියෝවල ඉන්න මිනිස්සු රේඩියෝ පරම්පරාව බරපතළ ප්‍රශ්නයකට මේ වන විට මුහුණ දීල තියනවා. රේඩියෝව අභාවයට යනවා. අද වෙනකොට ටීවීත් ඒ තත්ත්යට පත්වෙමින් තියනවා. මොකද සමාජ මාධ්‍ය ඇවිත් රේඩියෝ කරන මිනිස්සු කිව්වොත් ඔවුන් පරණ ලෝකෙකට අයිති පිරිසක් වගේ බවට පත්වෙලා. නමුත් මම විශ්වාස කරන දේ තමයි රේඩියෝ කවදාවත් මැරෙන්නේ නෑ. කොහේගියත් කොතන හිටියත් පහසුවෙන් අහන්න පුළුවන් දේ තමයි රේඩියෝව ඒක මරන්න බෑ. මොන තාක්ෂණය ආවත් අවසානයේ කැරකිලා පරණ තැනට එනවා. හැබැයි පරණ මිනිස්සු ටික ඒ වෙනකන් මේ රේඩියෝව කරගෙන යයි ද කියන එකයි ප්‍රශ්නය. අද වෙනකොට තරුණ පරම් පරාව සියල්ල කරන්නේ යු ටියුබ් එකටනේ. නමුත් රේඩියෝව තුළ කරන්න පුළුවන් දේ අප්‍රමාණයි අත්හදා බැලීම් අන්තයි. නමුත් ඒවා ලංකාවේ භාගයක්වත් අදවෙන කොට කරල නෑ. කරන්න මිනිස්සු නෑ. සම්පත් නෑ කරන්න හිතන චින්තනයක් තියන නිවේදකයෝ නෑ. ආයතනහිමිකරුවෝ නෑ. නමුත් රේඩියෝවෙන් තවත් මාර වැඩක් කරන්න ඉතිරි වෙලා තියෙද්දී තමයි යූ ටියුබ් එකට පය තියල තියෙන්නේ. රේඩියෝව තවමත් මාර වැඩක් ගන්න පුළුවන් තැනක්. ඒකයි මේ මයුරි කියන මයුරිට දැනෙන කතාව.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]