‘සිහින සමීකරණ’ හොඳම කැමරාකරණය හිමි කරගනී

සැප්තැම්බර් 28, 2023

සසික හේරත් විසින් අධ්‍යක්ෂණය කරන ලද ආචාර්ය චරිත් ජයතිලක සහ ධම්මික ගීකියනගේ විසින් සම නිෂ්පාදනයෙන් දායක වූ සිහින සමීකරණ චිත්‍රපටය සිය පළමු අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනය කර තිබේ. ඒ නයිජීරියාවේ පැවැත්වෙන Bayelsa International Film Festivalහි අවසන් තරඟකාරී වටයට තේරී පත් වීමත් සමඟිනුයි. ලොව පුරා රටවල් 127ක චිත්‍රපට 3872ක් සමඟ තරඟවැද අවසන් තරඟකාරී වටයට තේරී පත් වී ඉන් නිර්දේශ නාමයන් කිහිපයක් ද ලබාගැනීමට ‘සිහින සමීකරණ’ සමත් වී තිබේ. ඒ අනුව මේ චිත්‍රපටය ලබා ඇති නිර්දේශ නාමයන් වන්නේ හොඳම චිත්‍රපට නිෂ්පාදනය, හොඳම තිර රචනය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහාය නළුවා සහ හොඳම කැමරා අධ්‍යක්ෂණය යන නිර්දේශ නාම කිහිපයයි.

හොඳම තිර රචනය සඳහා චිත්‍රපටයේ තිර රචක දර්ශන විද්‍යා අරවින්ද නිර්දේශ නාම අතරට එක් වී ඇත. හොඳම නළුවා ලෙස චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදැක්වූ සජිත අනුත්තර ඇන්තනී නි⁣ර්දේශ වී ඇති අතර හොඳම නිළිය ලෙස ප්‍රධාන කාන්තා චරිතය රඟදැක්වූ කසුනි කාවින්දි ප්‍රනාන්දු නිර්දේශ වී තිබේ. එසේම හොඳම සහාය නළුවා ලෙස රංග ශිල්පී අශාන් ඩයස් ද නිර්දේශ නාම අතරට එක් වී ඇත. ඊට අමතරව හොඳම කැමරා අධ්‍යක්ෂණය සඳහා වන නිර්දේශ නාම අතරට චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ චන්දන ජයසිංහ ඇතුළත් වේ.

2021 වර්ෂයෙන් සුනාමි සිනමා පටයන් පසු එම සිනමා උලෙළේ අවසන් වටයේ නිර්දේශ නාම අතරට එක් වන දෙවන ශ්‍රී ලාංකික දීර්ඝ වෘත්තාන්ත චිත්‍රපටය සසික හේරත් විසිනි අධ්‍යක්ෂණය කරන ලද ‘සිහින සමීකරණ’ සිනමාපටය යි. මේ සිනමා උලෙළ පසුගිය 6 වන දින සිට 9 වැනි දින දක්වා නයිජීරියාවේ බයෙල්සාහි දී පැවැත්වීණි. නිර්දේශ නාම අතරට එක් වූ සම්මාන අතර අවසන් වටයේ දි හොඳම කැමරා අධ්‍යක්ෂණය සඳහා හිමි සම්මානය චන්දන ජයසිංහ විසින් හිමිකරගන තිබේ.