නිර්මාණකරුවකුගේ වටිනාම සම්පත තමයි ප්‍රේක්ෂකයා

-යොවුන් රංගන ශිල්පි බුද්ධික හසිත
සැප්තැම්බර් 28, 2023

කලාකරුවකු ලෙස අංශ ගණනාවකින් ඉදිරියට එමින් නිර්මාණ ගමන් මඟේ අද වන විට තවත් සුවිශේෂ ඉසවු කීපයක සැරිසරන රංගන ශිල්පියකු ලෙස බුද්ධික හසිත හඳුනාගත හැකිය.

වැකේෂන්, අමුතු රසිකයා, වලාකුළු දොරින් ගලන්න ආදි නිර්මාණ ඔස්සේ වැඩි ප්‍රේක්ෂක අවධානයකට ලක් වූ බුද්ධික හසිත ඉදිරියේ දී සිය කලා දිවියේ සුවිශේෂ ඉදිරි පියවර කීපයක් තැබීමටත් සූදානමින් සිටී. එහිදී සිය නිර්මාණ දිවියේ මෙතෙක් පෙළගැස්ම මෙන්ම එහි අනාගත අරමුණු පිළිබඳ දැක්වු අදහස් බලමු

මුලින්ම ඔබේ රංගන කටයුතු පිළිබඳ කතා කරමු

මම රංගන ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයට විත් දැන් වසර දහයක් පමණ. ඊට අමතරව නිවේදකයකු ලෙසත් කටයුතු කරනවා. ඒ වගේම තමයි කාලයක් අංග රචනා ශිල්පියකු ලෙසත් මම කටයුතු කළා.

දැනට ටෙලිනාට්‍ය නම් විස්සක විතර රඟපාල තියෙනවා මේ වෙද්දී. මුලින්ම මම ක්ෂේත්‍රය ට එන්නෙ දෙදහස් දෙක තුන වගෙ කාලයේ

ටෙලිනාට්‍යවල රංගනයට අමතරව ඉදිරියේ දී එන්න තියෙන මේක පුදුම කතාවක් චිත්‍රපටයේත් තරමක් දිග චරිතයකට රංගනයෙන් දායක වෙනවා.

ඔබ නුදුරේදීම සම්බන්ධ වීමට නියමිත නව නිර්මාණය පිළිබඳ කතා කරමු.

ඔව් ප්‍රවීණ රංගන ශිල්පී අජිත් ජිනදාස මහත්මයා සමඟ එක්වී අලුත් ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔහු ළඟදීම ලංකාව ට ආ පසු

ඒ කටයුතු ආරම්භ කරන්න සූදානමින් ඉන්නේ.

ඊට අමතරව මම නැසී ගිය අපේ ප්‍රවීණ රංගනවේදී විජය කුමාරතුංග මහතා පිළිබඳ වාර්තා වැඩසටහනක් සම්පාදනය කරමින් ඉන්නේ.ඉදිරියේදී ඒඇසුරෙන් වාර්තා චිත්‍රපටයක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබ මේ ක්ෂේත්‍රයේ අංශ ගණනාවක් නියෝජනය කරන කෙනෙක්. රංගනයට වැඩි නැඹුරුවක් ඇති වූයේ කොහොමද ?

රංගන ශිල්පියකු වීමේ කැමැත්ත තමයි මුල් අවධියේ සිටම තිබුණේ. මම වේදිකාවෙන් ආව කෙනෙක්. මුල් කාලය ගත් විට ප්‍රාදේශීය වේදිකාවේ නාට්‍යවලට සම්බන්ධවී සිටියා. පසුකාලයේ යොවුන් හා රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසාන වටය දක්වා වු නාට්‍ය කීපයකට සම්බන්ධ වී කටයුතු කරන්න අවස්ථාව හිමි වුණ. ඒ අතරතුර මට ටෙලි නාට්‍යවල රඟපෑමටත් අවස්ථාවක් ලැබුණා.

ඇත්තටම මම රංගනය ගැන හදාරල තියෙන කෙනෙක්. මුලින්ම යොමු වුණේ රංගනය සහ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය පිළිබඳ හදාරන්න. ඊළඟට යොමූවුණේ සිනමාකරණය හා සිනමා අධ්‍යක්ෂණය පිළිබඳ හදාරන්න. ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේ අන්තර්ජාතිකවත් පිළිගත් පාඨමාලාවක් හදාරමිනුයි. ඊළඟට අපේ ප්‍රවීණ අංග රචනා ශිල්පී ඊබට් විජේසිංහ මහතා යටතේ අංග රචනා ශිල්පය හදාරා ඒ පිළිබඳත් ඒ ශ්‍රේණියේ සහතිකයක් ලබා සුදුසුකම් සපුරනු ලැබුවා.

රංගනය පිළිබඳ හැදෑරූ ඒ පිළිබඳ යම් පරිචයක් ලද රංගන ශිල්පියකු ලෙස රංගනයට එක් වීමේදී අත්දුටු වෙනස්කම් මොනවාද ?

හොඳ ප්‍රශ්නයක් ඇසුවේ.අපිත් ක්ෂේත්‍රය ට ආ මුල් කාලයේ හැමදේම නැරඹුවා. වේදිකා නාට්‍ය ද, චිත්‍රපට ද හැමදේම. නමුත් අපට විශාල අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් ඒ පිළිබඳ විධිමත් ලෙස හැදෑරීම ට පටන් ගත් පසු විශාල අවබෝධයක් ලැබුවා. රංගන ශිල්පියකු ගේ භූමිකා ව හා ඔහුගේ වපසරිය, ඒවගේම රසවින්දනය ආදි විශාල ක්ෂේත්‍රයක අවබෝධයක් ලැබුවා අපි ඉගෙන ගත් දේ ඔස්සේ. ඇත්තෙන්ම නළුවා කියන භූමිකාව ට කොහොමද නියම අර්ථයක් දෙන්නේ, එකිනෙකට වෙනස් වූ මාධ්‍යයක කටයුතු කරද්දී කොහොමද ඊට අනුගත වෙන්නේ, විශේෂයෙන් සිනමාරූපි මාධ්‍ය තුළ කෙසේද අපේ රංගන දායකත්වය දෙන්නේ, හොඳ නිර්මාණයක් හා එසේ නොවන එකක් කොහොමද හඳුනා ගන්නේ වැනි බොහෝ දේ, හැදෑරීම ඔස්සේ ලද බව පැහැදිලි ව කියන්න පුළුවන්.

වරක් නැසී ගිය අපේ ප්‍රවීණ රංගන ශිල්පී ජෝ.අබේවික්‍රම මහතා හරි අපූරු කතාවක් කියලා තිබුණා. එනම් දක්ෂ රියැදුරකුට කුමන ආකාරයේ වාහනයක් දුන්නත් ඔහු එය හොඳීන් හසුරවනු ඇති බව යි.එයින් එතුමා අදහස් කළේ රංගන කාර්‍යයත් එබඳු බවයි. නළුවකු වීමට රංගන හැකියාව තමයි මූලික වෙන්නේ. එය මේ කලාවේ අඩිතාලමයි. ඒ අඩිතාලම හරියට නොදමා කොයිතරම් ලස්සනට ඒ ගොඩනැගිල්ල හදල දොර ජනෙල් දාලා පාට කළත් වැඩක් නැහැ. කෙසේ නමුත් මේ යුගයේ වේදිකාව සිනමාව පුංචි තිරය යන සියල්ලෙහි ම දක්ෂ ශිල්පීන් පිරිසක් අපට දකින්න පුළුවන්. ඒක සාධනීය කාරණාවක්. ඒ නිසා මේක කළුවර ම නැහැ.

අපි බැලුවොත් සිනමාවෙ ස්වර්ණමය යුග කීපයක් තිබුණනෙ. හැත්තෑව දශකයේ විජය මාලිනි ගාමිණී යුගය වගේම ඒ ආ ගමන් මඟෙන් පසු එක්දහස් නවසිය අසූ තුනේ සිනමාවේ බිඳ වැටීමක් වුණත් නැවත එය පණ ගසා නැගිටිනව. ඊට පසු දෙදාහ දශකයට ආසන්න වන තුරු ම එය යම් ගමනක යෙදෙනවා. විශේෂයෙන් දෙදාහෙන් පසු අපි පැමිණෙන අවධියේ අපි අත් දකින්නේ වෙනම පිළිවෙළක් නැතිනම් වෙනස් පසුබිමක්. එය අපි ඉන් පෙර සිනමාව වේදිකාව හා පුංචි තිරය පිළිබඳ අසා කියවා තිබූ දේට වඩා තරමක් වෙනස්. නමුත් මේ වනවිට වසර කීපයක සිට අපි දකිනවා නිර්මාණ කාර්යයේදී හොඳ ප්‍රමිතීන්. විශේෂයෙන් ප්‍රවීණයන් අතර අපිදකිනවා එදා අපි සිනමාව කලාව පිළිබඳ ඇසූ සාධනීය ලක්ෂණ නැවත මතුවෙන විදිහ. අපි දකිනවා සිනමාව තමන්ගේ ජීවිතය ම කියා ඔවුන් කැපවන විදිහ අද වැනි කාලයක චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා තියා ඒ ගැන හිතන්නේවත් නැති. ඒවාගේම මේ ගැන හදාරා යම් කිසි යහපත් දෙයක් හොඳ දෙයක් කළ යුතුයි කියන පරමාර්ථයත් ඔවුන්ට තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳ ලකුණක් සිනමාව ඉදිරියට ගෙන යන්න. මොකද අපේ සිනමාව ලැබූ පසුබෑම විශාල යි. විශාල අභියෝග රැසකට මුහුණ දී මේ වෙද්දී අපේ සිනමා කර්මාන්තය නැගිට්ටෙ. ඉතින් අපිත් මේ වෙලාවේ කළ යුතු ඊට හැකි ලෙස දායක වීමයි. ඉතින් විශේෂයෙන් අපට ප්‍රවීණයන් සමඟ එක් වී ඒ ගමන යා හැකි නම් ගොඩක් වැදගත්. ඒකට අවශ්‍ය පියවර මේ වෙලාවේ අප ගත යුතුයි. ඒනිසා යි හොඳ වෙනස් නිර්මාණයකට මම දායක වෙන්න පවා හිතුවෙ රංගන ශිල්පියකු ලෙස වසර ගණනාවක් ලැබු අත්දැකීම් වගේම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ලද අත්දැකීම් සමඟත් තමයි මම මේ අලුත් නිර්මාණ කාර්යයට සම නිෂ්පාදකයකු ලෙස සම්බන්ධ වෙන්නේ. හැබැයි ඒ ආ ගමන ලේසි නැහැ.

ඔබේ නව නිර්මාණ කාර්යය පිළිබඳ තවදුරටත් කතා කරමු

ඔව්. මම මුලින්ම කීව විදියට ම මේක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විශාල පිරිසක් සම්බන්ධ කර ගනිමින් කරන නිර්මාණයක්. මෙහි පිටපත ලියන්නෙ ප්‍රවීණ පිටපත් රචකයකු හා අධ්‍යක්ෂවරයකු වන රවීන්ද්‍ර ආරියරත්න යි.ඒ වගේම රංගනයේ සිට අනිකුත් සියලු අංශ සඳහා තෝරා ගෙන තියෙන්නේ ඒ සඳහා වන සුදුස්සන්. ඒ වගේම වෙනසක් සහිත නිර්මාණයක් ලෙස ඉදිරිපත් කරන්න තමයි අපි අරමුණු කරගෙන ඉන්නේ. හොඳ නිර්මාණයක් තුළින් අපට ප්‍රේක්ෂකයා ට හොඳ රසවින්දනයක් ලබා දෙන්න පුළුවන්. ඒවාගේම ඔවුන්ගේ දැක්ම අපට නව මානවලට යොමු කරවන්න පුළුවන්.

නිර්මාණකරුවකුට සිටින වටිනාම සම්පත තමයි ප්‍රේක්ෂකයා. එතනදි අද වෙනකොට ප්‍රේක්ෂකයා ට හොඳ ම දේ ලැබෙනවා ද කියල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රේක්ෂකයා කොයි මට්ටමක හිටියත් ඔහුව නොමඟ යවන්නේ ත් නැති ව ඔහුගේ ඔළුව හෝදන්නේත් නැති ව ප්‍රේක්ෂකයා ව හාස්‍යයට ලක් නොකර අපි ඔවුන්ට හරි දෙයක් දිය යුතුයි. මොකද ප්‍රේක්ෂකයා අපෙන් ඉල්ලන්නෙ හොඳ දෙයක්

අනිත් පැත්තෙන් අපි ප්‍රේක්ෂකයා ව අවබෝධ කරගත යුතුයි. ඒ අවබෝධයෙන් කටයුතු නොකළොත් අපි කොච්චර ගැඹුරු නිර්මාණයක් කරන්න උත්සාහ කළත් වැඩක් නැහැ. ඒ නිසා අපි ප්‍රේක්ෂකයා ව පරිස්සමෙන් අවබෝධ කරගන්න උත්සාහ කළ යුතුයි ලෝකයේ විශිෂ්ට නිර්මාණකරුවන් එහෙම තමයි හිතුවෙ.උදාහරණයක් විදියට ලෝකයේ හොඳ ම සිනමාකරුවන් අතරට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තය ගැනෙනවා.එතුමා මේ කියන කාරණා මැනැවින් අවබෝධ කරගෙන සිය නිර්මාණ මෙහෙයවූ විශිෂ්ට නිර්මාණකරුවෙක්. උදාහරණයක් විදියට ගත්තොත් හැත්තෑව දශකයේ බිහිවූ හතර දෙනාම සූරයෝ වැනි චිත්‍රපටයක් අදටත් ප්‍රේක්ෂකයන් විඳීන්නෙ ඇයි ? නිර්මාණකරුවා ප්‍රේක්ෂකාගරය හරියට තේරුම් ගත් නිසා නෙ.ඉතින් ඒ වගෙ තමයි මේක හරියට තේරුම් ගෙන කටයුතු කළොත් කලාකරුවා දිනුම්.අපි තව විදිහකට කිව්වොත් නිර්මාණකරුවාගෙ හදවතහා ප්‍රේක්ෂකයා ගෙ හදවත එක්වන තැනදි තමයි නිර්මාණයක් සාර්ථක වෙන්නෙ.

නිර්මාණකරුවකු විදියට ලොකුම බලාපොරොත්තු ව මොකක්ද ?

විශේෂයෙන් සිනමා රංගනයෙන් තවදුරටත් ඉදිරියට යන්න ගොඩක් කැමැතියි.

ඒවාගේම තමයි කවදා හරි හොඳ නිර්මාණයකට නිෂ්පාදකයකු ලෙස දායක වීම සහ හොඳ නිර්මාණයක අධ්‍යක්ෂවරයකු ලෙස ඉදිරියට ඒම. ඒක තමයි මගෙ බලාපොරොත්තුව. සමාජගත කලාකරුවකු විදියට ඉන්න එක.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]