හරිහරන් සමඟ දර්ශන රුවන් දිසානායක සංජීවනී ගීතය ජනගත කරයි

ඔක්තෝබර් 26, 2023

ප්‍රසිද්ධ භාරතීය ගායන ශිල්පී, පද්ම ශ්‍රී හරිහරන් මෙරට සංගීත අධ්‍යක්ෂ දර්ශන රුවන් දිසානායක නිර්මාණය කළ ‘සංජීවනී ලේ ආ රේ’ ගීතය පසුගිය දින මුම්බායි හරිහරන් ශබ්දාගාරයේදී ජනගත කෙරිණි. මේ ගීතයේ පසුබිම වී ඇත්තේ කලාපීය සහයෝගීතාවය ඇතිකර ලීමයි.

සංගීත නිර්මාණය දර්ශන රුවන් දිසානායකගෙනි. ගීතය ගැයීමට පද්ම ශ්‍රී හරිහරන් සමඟ දර්ශන රුවන් දිසානායක එක්වූහ.

දර්ශන රුවන් දිසානායක පවසන්නේ ජාති, ආගම්, දේශ සීමා, භාෂා ආදියෙන් අප වෙන් වෙන්ව සිටියත් අප සියල්ල ඉන්දු නිම්න නෑයන් බවත් එකම ලේ ධාතුවකින් යුක්ත අය බවත්ය.

හින්දි ගී පද රචනය හින්දි භාෂාව පිළිබඳ බාහිර කථිකාචාරිනියක සහ රූපවාහිනී නිවේදිකාවක වන වත්සලා සමරකෝන්ගෙනි.

හින්දී පද රචනාවේ ඇති සුවිශේෂතාව පෙන්වා දෙමින් වත්සලා සමරකෝන් පවසන්නේ ඇය සංජීවනී යනුවෙන් මෙහි යොදාගෙන ඇත්තේ රාමායණයෙහි සිහිමූර්ජාව සිටි ලක්ෂ්මනට නැවත ප්‍රාණය ලබාදීමට හනුමන් විසින් හිමාලයෙන් රැගෙන ආ දිව්‍යමය පැළෑටියක නාමය බවයි. සංජීවනී හි දිව්‍යමය ගුණය යම් ලෙසක මැරුණු මනුෂ්‍ය හදවත්වලට නැවත ප්‍රාණය ලබා දෙන්නේ ද, එසේම ප්‍රේමය, ජාති, ආගම්, භාෂා, දේශ සීමා ආදියෙන් බෙදා වෙන්කර ඇති අප්‍රාණික මනුෂ්‍ය හදවත්වලට ප්‍රාණය ලබාදෙන බව හින්දි පදවල ප්‍රධාන අදහස බව ඇය පවසයි.

පද්ම ශ්‍රී හරිහරන් දර්ශන රුවන් දිසානායක ගේ තනුව, සංගීත නිර්මාණය මෙන්ම වත්සලා ගේ ගේය පද බෙහෙවින් අගය කරමින් පැවසුවේ මෙය කලාපයේ සහයෝගීතාව පෙන්වන සුවිශේෂ නිර්මාණයක් බවයි