මා ලියූ ග්‍රන්ථ යුගලට ලැබුණු ප්‍රතිචාර ගැන සතුටුයි

ප්‍රවීණ රූපණවේදී අමිත්ත වීරසිංහ
ඔක්තෝබර් 26, 2023

ඔහු විටෙක සම්මාන දිනූ ප්‍රතිභාපූර්ණ රූපණවේදියෙකි.විටෙක සාහිත්‍යධරයකි. සෑමවිටම සරල නිහතමානී ආදරණීය මිනිසෙකි. මීට දශක කිහිපයකට ඉහතදී " පුංචි මිනිස්සු " වේදිකා නාට්‍යය හරහා තම රංගන කාර්යයට පිවිසෙන ඔහු සිනමාවට සම්බන්ධ වී ඉන් අනතුරුව ටෙලි නාට්‍යය රැසකින් තම රංගන ප්‍රතිභාව විදහා දැක්වූයේය. ඔහුගේ රංගන දිවිය ආලෝකවත් කළ අදටත් රසික ආදරය නොඅඩුව ලැබෙන නිර්මාණ ලෙස ලා හිරු දහසක්, යශෝරාවය , ගම්පෙරළිය, චරිත තුනක්, මඩොල් දූව, සිව්මංසල, සංගිලි පාලම,සොහොයුරෝ ආදී ටෙලි නිර්මාණ පෙන්වා දෙන්නට පුළුවන. ලා හිරු දහසක් ටෙලි වෘතාන්තය ඔහුගේ ජිවිතයේ එක් සංධිස්ථානයක් වන අතර ළා හිරු දහසක් නම ඇසුණු සැණින් මෙම අපූරු කලාකාමීයාණන්ගේ නම ඔබට සිහිපත් වනු ඇත. ඔහු නමින් අමිත්ත වීරසිංහයි. ඉතින් මෑතකදී එළිදැක්වුණු ඔහුගේ කුලුඳුල් නවකතාව සහ පරාක්‍රම නිරිඇල්ලයන්ගේ චරිතාපදානය මෙන්ම ඔහුගේ කලා කටයුතුවලින් සරසවිය සරසන්නට අප ඔහු සමඟ කතා බහට එක්කාසු වුණා.

කොහොමද මේ දවස් ගත වෙන්නේ ?

මගේ නවතම ග්‍රන්ථ ද්විත්වය වන මොනර පිහාටු සහ පරාක්‍රම නිරිඇල්ලයන්ගේ චරිතාපදානය "පරාක්‍රමය" මෑතකදි එළි දැක්වූවා. එයට ලැබෙන ප්‍රතිචාර සමඟ ඉතා සතුටින් මේ දිනවල කාලය ගත කරනවා. ලැබෙන ප්‍රතිචාර පිළිබඳ හරිම උද්‍යෝගයෙන් තමයි පසුවෙන්නේ.එක් පසෙකින් චිත්‍රපට උළෙලක් පැවැත්වෙද්දි අනෙක් පසින් රජත පුස්තක සම්මාන උළෙල පැවැත්වුණා. එයට අතරමැදිව මගේ ග්‍රන්ථ ද්විත්වය ජනගත කිරීමේදී තරංගනී චිත්‍රපට ශාලාව හුදෙක් සාහිත්‍යකාමී හදවත්වලින් අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී තිබුණා. එම ආදරණීය සහභාගීත්වය පිළිබඳ මට දැනෙන්නෙ අසීමාන්තික සතුටක්.

අපි මුලින්ම පරාක්‍රම නිරිඇල්ලයන්ගේ චරිතාපදානය පිළිබඳ කතා කරමු.

පරාක්‍රම නිරිඇල්ල සිනමා ක්ෂේත්‍රයට පැමිණෙන්නේ හැත්තෑව දශකයේ අග භාගයේ. පරාක්‍රම කියන්නේ ඉතා විශිෂ්ට ගණයේ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. නමුත් මට වචන කරන්න අවශ්‍ය වුණේ ඔහුගේ හුදු ජිවිත කතාව නොවෙයි. සාමාන්‍යයෙන් මම කතාවක් විදියට ගොඩනඟන්නේ ඔහු වටා තිබුණු සමාජ, දේශපාලන, ආර්ථිකමය, සංස්කෘතික පරිසරය. එම පරිසරය තුළ නිර්මාණ කිරීමේදී එම පරිසරය ඔහුට බලපාන්නේ කෙසේද කියන දෙයට මම වැඩි අවධානයක් යොමු කළා. උදාහරණයක් විධියට පරාක්‍රම කියන්නේ තමන්ගේ අම්මාව කිසිදා නොදුටු පුතෙක්. නමුත් ඔහු යශෝරාවයේ සුදු හාමිනේව නිර්මාණය කරනවා. සුදු හාමිනේ කියන්නේ එතෙක් මෙතෙක් පුංචි තිරය තුළ බිහිවුණු විශිෂ්ටතම අම්මාගේ චරිතය. ඒ ආදරය එතරම් සුවිසල් .එවිට මම ප්‍රස්තුත කරගන්නේ ඔහුට එතෙක් මෙතෙක් ජිවිතය තුළ මුහුණ දීමට සිදුවුණු සමාජ විපර්යාසයන්. එහිදී අධ්‍යක්ෂවරයාගේ කාර්‍යයභාරය තුළ, නිෂ්පාදනය , නළු නිළියන් හැසිරවීම, නිර්මාණ ප්‍රස්තුත ගොඩනැඟීම කියන හැම දෙයක්ම මෙම පොත තුළ අඩංගු වෙලා තිබෙනවා. හෙට දවසේ නළුවෙක් නිළියක් විදියට, නිර්මාණ කරුවෙකු විදිහට, වේදිකා නාට්‍ය කලාව , සිනමාව , ටෙලිනාට්‍ය කලාව පිළිබඳ හීන දකින අය, උනන්දුවක් දක්වන අයට මේ පොත ඒ අයගේ ජිවිතයට එකතු කර ගන්න එක ගොඩක් වැදගත් කියලා මම හිතනවා.

කුලුඳුල් නවකතාවට සහ පරාක්‍රමයන්ගේ සුවිසල් අත්දැකීම් සහිත ග්‍රන්ථයට මේ වන විට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

පොත් දෙක ජනගත කළ දින සිටම විශාල ප්‍රතිචාර ලැබුණා.මේ මොහොත වන විට මම ඒ පිළිබඳ බොහොම තෘප්තිමත්. එදිනෙදා මුණ ගැසෙන කලාවේදීන්, සාමාන්‍ය මිනිසුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් ප්‍රතිචාර වැඩියි. නමුත් මෙවර පොත් ප්‍රදර්ශනයෙන් පසුව තමයි අපිට ගොඩක්ම ප්‍රතිචාර බලන්න පුළුවන් වෙන්නේ.මිනිස්සු නිවී සැනසිල්ලේ කියවන්න ගත්තම තමයි මට එහි නිවැරැදිම ප්‍රතිචාරය බලා ගැනීමට හැකියාව ලැබෙන්නේ.

මෙම ග්‍රන්ථ ද්විත්වය තුළින් ඔබ බලාපොරොත්තු වුණ අවසානය කරා ඔබට ළඟා වීමට හැකි වුණාද?

ඔව් අනිවාර්යයෙන්ම. මොකද නවකතාවක් කියන්නේ ප්‍රකාශන අවශ්‍යතාවයක්.මට රූපණ ශිල්පියෙකු විදිහට තිබුණෙත් ප්‍රකාශන අවශ්‍යතාවයක් පමණයි.මම ප්‍රාසංගික විෂයට එක්කාසු වෙලා දැනට දශක හතරක් පමණ වෙනවා.ජාතික රූපවාහිනියේ විකාශය වුණු ලා හිරු දහසක් ටෙලි වෘතාන්තයේ ළමා නළුවෙක් ලෙස මම පරාක්‍රම නිරිඇල්ල සමඟම සිට ගන්නවා.එදා සිට අද වන තුරු මමත් වේදිකාවට සහ සිනමාවට මෙන්ම ටෙලි නිර්මාණයන්වලට සක්‍රියව දායකත්වය ලබා දෙනවා .

අද වන විට අපට තිබෙන ප්‍රේක්ෂකාගාරය වෙනස් වෙලා.රූපවාහිනීය නරඹන ජනතාවගෙ අගය වෙනස් වෙලා. ඒ අයගෙ මිනුම් දඬු වෙනස් වෙලා .ඒ වෙනස් වීම මත තමයි මගේ ප්‍රකාශන අවශ්‍යතාවයක් ලෙස මම මගේ පොත් දෙකම පාඨකයාට ලබා දෙන්නේ.

ඔබගේ භාෂාව හැසිරවීම ආධුනිකයන් හට මනා පිටුවහලක් ලෙස පෙනෙනවා.ඔබට ඒ පිළිබඳ සිතෙන්නේ කොහොමද?

මම භාෂාව යනුවෙන් අදහස් කරන්නේ සන්නිවේදන විධික්‍රමයකට. මට තිබුණේ ප්‍රකාශන අවශ්‍යතාවයක්. ප්‍රකාශන අවශ්‍යතාවයකදී මම තීරණය කරන්න ඕනේ මෙය දෙබසක් වෙනවාද, රූපයක් වෙනවාද, නැතිනම් ගද්‍ය කාව්‍යක් වෙනවාද, පද්‍ය කාව්‍යයක් වෙනවාද කියන දෙය.එම නිසා නිර්මාණය විසින් ඉල්ලා සිටිනවා නම් මම පොත ඉංග්‍රිසි බසින් ලියනවා.නැතිනම් ශාස්ත්‍රීය ලෙස රචනා කරනවා.අවශ්‍ය නම් එයට සුමට බස් වහරක් භාවිත කරනවා. එය මම සිතාමතා කරන දෙයක්.මට ඇත්තේ ප්‍රකාශන අවශ්‍යතාවයක්. නැතුව මම මහා සාහිත්‍යකරුවෙක් කියලා පෙන්නන්න නෙවෙයි. මම කවදත් ජීවිතය ධනාත්මකව හා සුබවාදීව දකින කෙනෙක්.

ඔබ එදා මෙන්ම අදත් රංගන ක්ෂේත්‍රය තුළ කාටත් අමතක නොවන චරිතයක් ලෙස නිතරම තිරය තුළ පෙනී සිටිනවා.එම සක්‍රීය දායකත්වය පිළිබඳව ඔබට දැනෙන හැඟීම කොහොමද?

ගුරු දක්ෂිණාවක් විධියට මගේ පොත පරාක්‍රම නිරිඇල්ලට ලබා දෙන දින මම විශේෂ දෙයක් සිදු කළා. ඒ වර්ෂ 1982 දී විකාශය වුණු ළා හිරු දහසක් ටෙලි නාට්‍යයේ මම සමඟ රංගනයේ යෙදුණු රංගන ශිල්පීන් හට ආරාධනා කිරීම. ඔවුන් සමඟ දැනටත් රංගනයෙහි යෙදෙන සක්‍රිය රංගන ශිල්පියෙකු ලෙස තවමත් මම කටයුතු කරන්නේ. තවම මගේ ටෙලිනාට්‍ය විකාශය වෙනවා.සෑම වසරකම සම්මාන උළෙලවල් සඳහා මම නිර්දේශ වෙනවා.ඒ පිළිබඳ මට තිබෙන්නේ අසීමාන්තික සතුටක්.

උදාහරණයක් විධියට මම සුවිනීතා වීරසිංහ සමඟ රඟපාද්දි ඇයගේ පුතා දේවින්ද කෝන්ගහගේ කුඩා දරුවෙක්..නමුත් වසර විස්සකට පමණ පසු දේවින්ද අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයකට ආරාධනා කරනවා මට රඟපාන්න. ලබන ඔක්තෝබර් මාසයේ එන දේවින්ද ගේ "නාට්ටාමි ආමි" චිත්‍රපටයේ මම රඟපානවා. එහි නර්තන වින්‍යාසය දේවින්ද ගේ දියණිය වන ගණේන්ද්‍රි ගෙන්. ඒ කියන්නේ මම දශක ගණනාවක පරම්පරාවන් තුනක් සමඟ කටයුතු කළ රංගන ශිල්පියෙක්. එය බොහෝ දෙනෙකුට නොලැබෙන වාසනාවක්.

යොවුන් ආදරයක් සාහිත්‍ය නිර්මාණයකට රැගෙන ඒමට ඔබේ බලාපොරොත්තුවක් නැතිද?

මගේ හැම පොතකම ආදරය තමයි පිරිලා තිබෙන්නේ.ආදරය කියන එක අපි හැම වෙලාවකම වරද්දලා තේරුම් ගන්නවා.ආදරය කියන්නේ යොවුන් ආදරය විතරක්මද?ආදරය කිව්ව සැණින් අපිට මතක් වෙන්නෙත් යොවුන් ආදරය පමණයි.මහගමසේකර ඔහුගේ නිසඳැස් පද්‍ය පෙළකින් දක්වා තිබෙනවා ඇඟ ලේ මස් ඇති ආදරයක් සිළිං පහයි සිළිං තුනයි කියලා .ඔහු මෙය පවසන්නේ හැත්තෑව දශකයේ.ඔහු එසේ පවසන්නෙත් ඔබ ඔය පවසන යොවුන් ප්‍රේමය ගැන ම තමයි.

මම ප්‍රේමය ගැන කියන්නෙත් ඉන් වියුක්ත වූවක් නොවෙයි. ආදරය හැම මොහොතකම වෙනස් වෙනවා.එය අප පිළිගත යුතුයි.අස්ථීර ලෝකයක සිටගෙන ස්ථීරසාර ආදරයක් ගැන සොයන එක තමයි අපි කරන්නේ.මම මොනර පිහාටු කෘතියෙහි ආදරය පිළිබඳ දක්වන්නේ මෙහෙමයි." ආදරය ආදරය ම විනා අන් කිසිවක් අපේක්ෂා නොකරයි.ආදරය කිසිවෙකුටත් අයිතිකර ගන්නටද නොහැකිය.ආදරය ආදරය ම මිස අන් කිසිවක් අයිති කර නොගනියි " සරලවම මම ඔය විධියටයි ආදරය දකින්නේ.ඔබ මගෙන් ඇසුවොත් මේ මොහොතේ මම වඩාත්ම ආදරය කරන කෙනා කවුද කියලා මම ලබාදෙන පිළිතුර වන්නේ "මට" කියන පිළිතුර.ඉන් අනතුරුව මම ආදරය කරන්නේ මේ මොහොතේ මට වඩාත්ම ආදරය කරන පුද්ගලයාට.

මේ දිනවල කලා කටයුතු ගැනත් මතක් කරමු.

ස්වර්ණවාහිනියේ විකාශය වන "හපන්නු අපි ගමේ රාජ්ජේ " ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙනවා.මම රංගනයෙන් දායක වන දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ “ගිරිවැසිපුර” සිනමා නිර්මාණයත්, නාට්ටාමි ආම් සිනමා නිර්මාණයත් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.

දක්ෂ, ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පියෙක් ලෙස වර්තමාන වේදිකාවේ ප්‍රමිතීන් ගැන කතා කළොත් ?

දැන් ඇත්තටම වේදිකාව හොඳයි. මේ දිනවල උදයසිරි වික්‍රමරත්නගේ “ පෙම් යුවළක් ඕනෑ කර තිබේ" සහ ජයන්ත ෆොන්සේකා ගේ "සිංහයා ඇවිල්ලා" සහ හෙක්ටර් කුමාරසිරිගේ "දෙව්ලොව දෝණි " යන වේදිකා නාට්‍යය ත්‍රිත්වයට සම්බන්ධ වී සිටිනවා.වේදිකා නාට්‍යය කවදත් හොඳයි.එකම ගැටලුව තිබෙන්නේ ප්‍රේක්ෂකයා පිළිබඳ ගැටලුවයි.හොඳ වේදිකා නාට්‍යය අධ්‍යක්ෂවරු සිටිනවා.හොඳ නිෂ්පාදකවරු සිටිනවා.හොඳ නිර්මාණයන් බිහි වෙනවා.ටෙලිවිෂන් එකට වඩා වේදිකා නාට්‍යය ප්‍රාණය සපයනවා. ටෙලිවිෂන් එකනම් දැන් අනේ පව් කියන්න තමයි වෙන්නේ.නළුවකුගේ හෝ නිළියකගේ වටිනාකම තිබෙන්නේ පෙනී සිටීම තුළ නෙවෙයි.

ඔබට ටෙලිනාට්‍ය පිටපතක් ලිවීමට අදහසක් නැද්ද?

මෙගා ටෙලිනාට්‍ය නම් ලියන්න බැහැ.මොනර පිහාටු පොත වුණත් මම චිත්‍රපට පිටපතකට ලීවේ.ලියනවනම් ලියන්න වුණත් පූළුවන්. ඉදිරියේදී බලමු.

දශක හතරක කාලයක් තුළ අමිත්ත වීරසිංහ යන නමින් නිර්මාණය වුණු චරිතය පිළිබඳ ඔබ තෘප්තිමත්ද?

අනිවාර්යයෙන්ම මම බොහොම තෘප්තිමත් .මම මගේ ජීවිතේට මට වටින්නේ නැති කිසිම දෙයක් කරන්නෙ නැහැ.

 

සේයාරුව - නිශ්ශංක විජේරත්න

[email protected]