ජේ.එන්.දයාපාලට උපහාර

නොවැම්බර් 2, 2023

කලා භූෂණ සම්මානලාභි දෙනත් අඳ ප්‍රවීණ සංගීතාචාර්‍ය ගුවන් විදුලි ගායන ශිල්පී ජේ.එන්.දයාපාල කලාකරුවාට උපහාර පිදීමේ උත්සවයක් එළැඹෙන 06 වැනි දින පෙ.ව. 9.00 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වේ. ‘සන්නාදයාණෙනි - 2023 උත්තම ගුරු පූජා’ නමින් මෙය නම්කොට ඇත.

හේ ගැයූ ගීත අතරින්, ‘නෙත් අඳමුත් නෙත් දහසක් ඇතිසේ ලෝකය දකින්නෙමි ‘අන්ධ දෑසට නින්ද නොදැනේ, මට නොකියා දීගෙක ගිය නෑනට සුබ මංගලම්, යන ගීත 80 දශකයේදී ඉමහත් ජන ප්‍රසාදයට ලක්විය. ‘ශ්‍රවණ නෙත්’ නමින් ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් ද පැවැත්වූ ඔහු, සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳ උපාධිය ලැබ, පොළොන්නරුව පළුගස්දමන මහා විද්‍යාලයේ සහ අකුරැස්ස ගොඩපිටිය ජාතික පාසැලේ සංගීත ආචාර්යවරයකු ලෙසින් කටයුතු කර ඇත. ක්ෂේත්‍රයට සිසු සිසුවියන් විශාල ප්‍රමාණයක් දායාද කර ඇති ජ්‍යෙෂ්ඨ සංගීතවේදියෙකි.

එදින මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ජයන්ත අමරසිංහයි. ඔහුගේ සිසුවෙකු වන ප්‍රවීණ සංගීතවේදී දර්ශන රුවන් දිසානායක උලෙළ සංගීතවත් කරනු ලබයි. මේ උලෙළ සංවිධානය කරනු ලබන්නේ පුලතිසිපුර සහ අකුරැස්ස සිසු, සිසුවියන් විසිනි.