මෙවර රාජ්‍ය සම්මාන දිනූ ප්‍රථම කිවිඳිය වීමට ලැබීම භාග්‍යයක්

නොවැම්බර් 2, 2023

මොකද්ද මේ ඔබේ නවතම "යශෝධාරා"...?

"යශෝධාරා" කියන්නේ මගේ නවතම නිර්මාණ ඇතුළත් කාව්‍ය සංග්‍රහයයි. එය මගේ 16 වැනි කාව්‍ය සංග්‍රහයයි.මගේ නිර්මාණ ජීවිතය ඇරඹුණේ කවියෙන්. ඒ නිසාමදෝ බොහෝවිට කවිය ළඟ මගේ හිත නතරවෙනවා. "යශෝධාරා" කියන නාම මාත්‍රය යෙදුණේ "කීර්ති ප්‍රවාහය" යන අරුතින්. මිනිසත්කමේ කීර්ති ප්‍රවාහය පතුරවලා විශ්වයේ අපකීර්තියට පත්වූ දූෂිත, දුරාචාර අහුමුලු ඒකාලෝක කළ යුතුයි යන අර්ථයෙන්.

"යශෝධාරා" ඔබ අතින් ගෙත්තම් කිරීමට වස්තුබීජය පහළවූයේ කෙසේද...?

වස්තුබීජයන් පහළවන්නේ එදිනෙදා අහන, දකින දේවල් තමන්ගේම කරගෙන විඳීමෙන්. ඇතැම්විට පරිබාහිර දෝතින් ග්‍රහණය කරගන්නා නිමිතිද තිබෙනවා . උදාහරණයක් කිව්වොත් මා ලියූ "සුරාසොඬ සැමි වලප" කවිය ලියවුණේ අප දන්නා හඳුනන රියැදුරු මහතකුගේ කියමනක් ඔස්සේ. ඔහු බෙහෙවින් බීමට ඇබ්බැහි වූ කෙනෙකුව සිටිය බවත් බීමත්කම නතර වුණේ බිරිඳ මියගිය පසුව බවත් කිව්වා. ඒ පිළිබඳව තතු විමසීමේදී ඔහු කියූ දේ සහ හැඟීම්වලින් පිළිබිඹු වූ දේ ඔස්සේ තමයි මම ඒ කවියේ නිමිත්ත ස්පර්ශ කළේ. එය "සාහිත්‍ය පෙළපොත"ටද ඇතුළත් වී පසුව අමරසිරි පීරිස් ගායනවේදියාගේ ගීතයක් බවට ද පත්වුණා. මම හිතනවා සෑම නිර්මාණයකටම මුල "කවිකම"'කියලා. හදවතක් තුළ ඇති කවිකම තමයි රිදුම් දිදී නිර්මාණයකට උත්තේජනය සපයන්නේ. ඈත අතීතයේ සාක්ෂරතාව අතින් ඉතා නොදියුණු වකවානුවල පවා මිනිසාගේ තනියට, හයියට හිටියේ පැල් කවි, ගැල් කවි, පාරු කවි, කරත්ත කවි, නෙළුම් කවි ආදියයි.

"යශෝධාරා" ජීවිත අත්දැකීමක් කේන්ද්‍ර කරගෙන රචනා වූවක්ද..?

තමාගේ ජීවන අත්දැකීම්වලටම කවිය ලඝු කළ නොහැකියි. පෞද්ගලිකවම අනුවේදනීය අත්දැකීම් පවා පොදු බවට පත්කිරීම තුළ තමයි එහි පැවැත්මක් ඇත්තේ. එසේම පොදු දෙයක් පෞද්ගලික කරගෙන ප්‍රතිනිර්මාණය කිරීම විශේෂයි.ජීවිතයේ එදිනෙදා හමුවන අසන, දකින දේවල්වලින් සිත කම්පනයට පත්වීම තුළ තමා එය රඳාපවතින්නේ. මේ පොතෙහි ඇති "බෝපත, සැදෑ සක්මන, සේල වන්නම, සමිඳ" උදාහරණ කිහිපයක් පමණයි.

ඔබේ අනෙකුත් කාව්‍ය සංග්‍රහ සමඟ සැසඳීමේදී "යශෝධාරා" කිනම් තැනක ස්ථානගත වන්නේ ද..? මෙහි යම් විශේෂත්වයක් වේද.....?

"යශෝධාරා" කෘතියේ විශේෂත්වය වන්නේ එහි එන සමහර කාව්‍යානුභූතීන් මම ධම්ම පදයේ සාර පදරුත් ඇසුරින් පරිකල්පනයට හසුකර ගත්තා. කුඩා කල පටන්ම මගේ සිතේ තිබුණු දෙයක් තමයි "ධම්ම පදය" පුදුමාකාර කවි පොතක් බව. බුදුන් වහන්සේ මහා කවියෙක් ලෙස මට සිතී තිබුණු අවස්ථා බොහොමයි. "ධම්ම පදය" පිළිබඳව මා සිත තුළ නිරායාසයෙන් නැඟුණු ඒ සිතුවිල්ල මෙසේ ලියා තැබිය යුතු යැයි කියා මට සිතුණා.

ඔබේ කාව්‍යකරණයේ මූලාරම්භයට ගියොත්....?

යම්තම් කියවන්න, ලියන්න හැකිවූ කාලයේ පටන්ම ඉතා පුංචි අදහස් මම කුරුටු ගෑවා මතකයි. තාත්තාට පින්සෙණ්ඩු වී කවි දෙකක් "හඳමාමා" වැඩසටහනට යැව්වේ පහේ පන්තියේ ඉගෙනගනිද්දී . කවිය තැපැල් කර පළමු සතියේම එය ගුවන්විදුලියේ ප්‍රචාරය වෙද්දී පුදුම සතුටක් දැනුණා. එවකට "ලැම්බට් පෙම්මාවඩු මාමා", "සුමනා ජයතිලක නැන්දා" තමයි හඳමාමා කළේ. නමුත් තාත්තා කැමැති වුණේ නැහැ මම කලාවට යොමුවෙනවාට. මුලින් ඉගෙනීම් කටයුතු කරලා පස්සේ ඕවා කරන්න කියලයි මට අවවාද කළේ. පසුකාලීනව උසස් පෙළ ලියා අවසන්ව සිටි සමයේ මම ගුවන්විදුලි වැඩසටහන්වලට ලිව්වා.

පාසල් අවධියේ සිටම ඔබ සාහිත්‍ය, කලා කටයුතු සඳහා දායකවුණාද...?

පාසල් අවධියේදී රචනා ලිවීමේ දක්ෂතා සිංහල ගුරුතුමියගේ විශේෂ අවධානයට ලක්වුණා. පහේ පන්තියේදී මගේ ලිවීමේ හැකියාව දුටු ගුණසේකර ගුරු මෑණියන් මට පින්තූර සහිත ළමා කවි පොතක් තෑගි කළා. එහි නම "තෑග්ග". මට එදා සුවිශේෂී හැඟීමක් ඇතිවුණා. මට පොත් අරන්දුන්නේ තාත්තා විතරයි. පිටස්තර නෑදෑයෝ යමක් දුන්නොත් දෙන්නේ සෙල්ලම් බඩුවක්, බෝනික්කෙක් වගේ දෙයක්. ඒ මිස්ගේ තෑග්ග මට විශාල වස්තුවක් වුණා. මම ඒ බව තාත්තාට කියද්දී මට කඳුළුත් ආවා. ඊටපස්සේ 09 වැනි පන්තියේදී රචනාවලට විශේෂ ඇගයීමක් ලැබුණේ සිංහල ගුරුතුමිය වුණු සමරසිංහ මහත්මියගෙන්. ඇය මගේ රචනා පොත අරගෙන උගන්වන පන්තියක් ගාණේ කියෙව්වා. "රචනා කියන්නේ ළමයි මෙන්න මේවාට"කියමින් එය වර්ණනා කළා. මට එය පුදුම උත්තේජනයක් වුණා. මම ඒ ගැන ගෙදර ගිහින් අම්මාටයි තාත්තාටයි කිව්වාම අම්මා හිනාවුණා සතුටට. තාත්තාගේ ඇස්වලට කඳුළු ආවා. ඒ මම ලියන්න හරිම ආසාවෙන් ඉන්න බව තාත්තා දන්න නිසා. ඒවාට ගිහින් ඉගෙනීම කඩාකප්පල් කරගනියි කියන බය ඔහුට තිබුණේ. සංඝමිත්තාවේදී මම නාට්‍ය රංගනයටත් දස්කම් දැක්වූවා. නමුත් තාත්තා ඒවාටත් කැමැති වුණේ නැහැ.. පාසල් සමයේදී මට අවසර ලැබුණේ දැනුම මිනුම තරඟවලට , ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසය තරඟවලට ඉදිරිපත් වෙන්න විතරයි. ඒත් ආචාර පෙළපාලියේ යනවට නම් තාත්තා කැමැති වුණා

ගීපද රචනා කලාව තුළ ඔබ ගුරුකොටගත් පිරිස සහ ඔවුන්ගෙන් ඔබට ආභාසය ලැබුණු ආකාරය පැහැදිලි කළොත්.....?

මහගමසේකරයන්ගේ කවි හා ගීත මගේ විශේෂ අවධානයට යොමුවුණා. පසුව සුනිල් ආරියරත්නයන්ගේ ගීතවලට විශේෂ කැමැත්තක් තිබුණා. ඊටත් පසුව රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගීතවලට මගේ අවධානය යොමුවුණා. මහගමසේකරයන්ගේ කවිවලින් පසුව පරාක්‍රම කොඩිතුවක්කු මහතාගේ සහ මොනිකා රුවන්පතිරණ මහත්මියගේ කවිවලින් විශාල පන්නරයක් ලබාගත්තා.

ඔබේ නවකතා කලාවේ ආරම්භය සහ එය පෝෂණය කරගැනීමට ඉවහල් වූ සාධක මොනවාද...?

මුලින්ම නවකතාවක් ලියන්න ආරාධනයක් ලැබුණේ බන්ධුල පද්මකුමාර මහතාගේ කුඩා පුවත්පතකට කොටස් වශයෙන්. එයට හේතුවෙන්න ඇත්තේ එවක ධර්මසිරි ගමගේ මහතාගේ "යොවුන් පහන්වැට"ට සම්බන්ධ වී "යොවුන් ජනතා" පුවත්පතින් මා පෙන්වූ කුසලතාවන් වෙන්න ඇති. පසුව "සිළුමිණ, තරුණි, නවලිය, ලංකාදීප " ආදී පුවත්පත්වලට නවකතා ලියන්න ආරාධනා ලැබුණා.

ඔබේ නවකතා කලාව තුළ ඔබටම ආවේණික වස්තුබීජ තිබේද ...?

මම හරිම කැමැතියි. මිනිසුන්ගේ විවිධ මානසික මට්ටම් හඳුනාගෙන ඒවා ඔස්සේ චරිත විග්‍රහ කරමින් නව චින්තන රටාවක් ඇති කරන්න..හරි- වැරදි , හොඳ -නරක පාඨකයාටම තීරණය කරන්න, සංඥාවක් දෙන්න. මා ලියූ "තවද එක් ඉසිදාසියක්" නවකතාව මගේ නිර්මාණ ප්‍රිය කරන රසිකාවකගේ අත්දැකීමක් ඇසුරින් ලිව්වේ. ඒවගේම "සුළං දෝලා" නවකතාවේ කිහිපදෙනෙකුගේම අත්දැකීම් සංකලනයන් සූක්ෂ්මව ගළපලා ගත්තා මගේම අත්දැකීම් කරගෙන. සමහර කතාවල වස්තුබීජ ඈත අතීතයේ මගේ සිතේ තැන්පත් වූ ඒවා..සමහර ඒවා අනාගතයට අයිති දේවල් වෙන්නත් පුළුවන්.ඒක විග්‍රහ කරන්න හරි අමාරුයි. ඉබේමයි ඒ හැඟීම් එන්නේ.

එතෙක් මෙතෙක් ඔබ අතින් ලියැවුණු සාර්ථකම නවකතාව සහ කාව්‍ය ග්‍රන්ථය කුමක්ද....? එයට හේතු පැහැදිලි කළොත්.....

මට එය ස්ථිරවම කිවන්නොහැකියි. නවකතා පැත්තෙන් බැලුවොත් වඩාත්ම පාඨක ප්‍රතිචාර ලැබූ නවකතාව "වරා මල" .යොවුන් නවකතාව "ඉත සිතින්ම, ඉස්ඉස්සෙල්ලාම, දිනපොතක අන්දරය " විශේෂ පාඨක අවධානයටත් රාජ්‍ය සම්මාන , ගොඩගේ සම්මාන නිර්දේශවලටත් ඇතුළත් වුණා. කාව්‍ය සංග්‍රහයන් අතරින් 1993දී ලියූ "තිත්ත මකරන්දය" ග්‍රන්ථයට රාජ්‍ය සම්මාන ලැබුණේ මෙරට රාජ්‍ය සම්මාන ලද ප්‍රථම කිවිඳීය ලෙස වාර්තාවකුත් පිහිටුවමින්. නමුත් ඊටකලින් ලියූ "කුලී මාලිඟා" කෘතියට සිංහල පාඨක, විචාරක අවධානයත් ලැබුණා.

නවකතාකරණයේදී ඔබ ආභාසය ලද දෙස් - විදෙස් ලේඛකයන් වේද...?

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නවකතා මූලිකවමව මගේ සිත බැඳගත්තා. විදෙස් ලේඛකයන් අතර රුසියානු සාහිත්‍යවේදීන් වන දොස්තොව්ස්කි, ගොගොල් , ගෝර්කි යන ලේඛකයන්ගේ කෘති මා බෙහෙවින් අගය කරනවා.

ගීතයක් රචනා කිරීමට ඔබට හේතුභූත වන කරුණු ජීවන අත්දැකීම් ද..... නැතහොත් ඒ මොහොතේ සිට එන හැඟීම් දහරාවේ ප්‍රතිඵලයක් ද....?

ගීතයක් රචනා කිරීමේදී ජීවන අත්දැකීම්.සේම අන්‍යයන්ගේ අත්දැකීම් තමන්ගේ කරගෙන ලියැවෙනවා. සමහර නිමිති කලක් තිස්සේ සිතේ පැළපදියම්ව තිබී ඉබේටම මතුවෙනවා..මගේ ප්‍රථම ගීතය "අහස පොළොව වටපිටාව " මගේ අත්දැකීමක් . මගේ සැමියා වෙනුවෙන් ලියැවුණු කවියක් ගීතයක් බවට පත්වුණේ සුනිල් එදිරිසිංහයන්ගේ ඉල්ලීම මත ඒ ගීතය ලියැවුණේ. එය මගේ ගීපද රචනා ජීවිතයේ මූලාරම්භය කරමින්. ඊළඟට "රෝස තොල් සිඹිමි" ගීතය ගැන කිව්වොත් එය ලියැවුණේ මා ලියූ කවියක් ඇසුරින් . "බිංගෙයි සැණකෙළිය " කවි පොතේ "ප්‍රේමයේ විවාහප්‍රාප්තිය" යන මැයෙන් ලියූ කවියට ලද ප්‍රතිචාර ඔස්සේ එය ගීතාත්මක පන්නරයක් ලබන්නට වරම් ලැබුණේ දිවුල්ගනේ ශිල්පියාගේ මියුරු හඬ හා කපුගේ ශිල්පියාගේ මධුර සංගීතයත් මුහුවීමෙන්.. "ඈත සිටන් එන්නී" ගීතයත් මුලින් තිබුණේ කවියක් ලෙස මගේ කවි පොතක.එය දැකලා සුනිල් අයියායි ඉල්ලාගත්තේ ගායනය සඳහා. ඒ අත්දැකීමත් අපූරුයි. දවසක් මා දුටුවා අපේ වාහනයට ඉදිරියෙන් තිබූ බසයකට සෙනඟ නඟිමින් සිටියා පොර බඳමින්. එක්වරම සාරියක් ඇඳගත්ත කාන්තාවක් පාපුවරුවේ පැටලී වැටුණා.. එය මගේ සිතට කලබල දසුනක් වුණා. මට මතක් වුණා රතු ඉර ගහන්න කලින් වැඩටයන්න තියෙන හදිස්සියටනේ මේ දේ වුණේ කියලා. ඒ ඔස්සේ තමයි එය ලියවුණේ. ගෙදර සැමියාගේ, දරුවන්ගේ වැඩත් කරලා ඊටපසු රැකියාවේ වැඩ ටිකත් අකුරටම ඉටුකරන්න වෙහෙසෙන කාන්තාවක් වෙනුවෙන් එය ලියවුණේ. ඒවගේම බුලේගොඩ ගයන " මලට මුව තියා" ගීතයත් "පෙම් නියං වලප" නමින් පුවත්පතකට ලියූ පරිසරය පිළිබඳ කවියක්. කුලරත්න ආරියවංශ සහෘදයා තමයි බුලේගොඩ සොයුරාට කියාතිබුණේ එය ගීතයක් සඳහා මගෙන් ඉල්ලගන්න කියලා. ඔහුම ගායනා කරන "දහ අතේ දුවන මල් සුවඳට වැට බඳීන්න දෝ" ගීතයත් මට තමන්ගේ අත්දැකීමක් පැවැසූ කෙනෙක් වෙනුවෙන් ලියූවක්.ඔහුත් ඔහුගේ බිරිඳත් පදික වේදිකාවේ ගී ගයමින් මුදල් ඉපැයූ දෙදෙනෙක්. පසුව ඔවුන් ගැන මාධ්‍යවලිනුත් ප්‍රචාරය වුණා. පසුව ඔහුගේ බිරිඳට බලවතකුගේ ඇල්ම, බැල්ම වැටී ඔවුන්ගේ අහිංසක, ආදරබර පවුල් ජීවිතය දෙදරුම්කෑවා. ඒ පුරුෂයා ගොඩාක් දුරක ඉඳන් මාව හොයාගෙන ඇවිත් මට ඒ කතාව කිව්වේ ගීතයක් ලියවාගන්න.

මෙරට නවකතා කලාවේ-කාව්‍යකරණයේ විකාශනයත් සමඟ අද වනවිට තිබෙන නවකතා - කාව්‍ය සාහිත්‍යය ගැන ඔබේ අදහස ....?

මට බොහෝවිට හිතෙන දෙයක් තමයි අද වෙද්දී කවියට සහ කෙටිකතාවට තිබෙන අවධානය නවකතාව විසින් පැහැරගෙන ඇති බවක්. මූල්‍යමය අගයක් දෙන සම්මාන උළෙලවල් නිසා එහෙම වෙනවද කියලත් සැකයි. නමුත් කවිය සහ කෙටිකතාව නවකතාවට වඩා ප්‍රබල මාධ්‍යයක් කියා මම අදහනවා..කවිය සහ කෙටිකතාව කෙරෙහි මීටවඩා අවධානය යොමුවීම වැදගත් රසික _ විචාරක දෙගොල්ලන්ගේම. විශේෂයෙන් හොඳ විචාරකයන් හා මඟපෙන්වන්නන් නැතිකම නිසා "කවිය" අයාලයේ යන තත්ත්වයකට පත්වේද කියන සාධාරණ බියක් අප තුළ තිබෙනවා .

අද තරුණ පිරිස සයිබර් අවකාශය තුළ සිය සාහිත්‍ය නිර්මාණ මුදාහරින බව පේනවා. මෙහි සාර්ථක - අසාර්ථකභාවය ප්‍රවීණ සාහිත්‍යවේදිනියක ලෙස ඔබ දකින්නේ කෙසේද...?

සයිබර් අවකාශය තුළ ඔවුන් පෙන්වන දස්කම් ලිඛිත මාධ්‍යයෙන් එළියට එනවානම් හොඳයි. .... පොත් , පුවත්පත් අපේ ජීවිතවලට මැරෙනතුරා සම්බන්ධ දේවල්, පොදුජනතාව අතර පවතින දේවල්. සයිබර් අවකාශයට සීමානොවී පොදු තලයකට පැමිණිය යුතුයි.

වර්තමානයේ පාසල් විෂයමාලාවෙන් සාහිත්‍යය-කලාව ශීඝ්‍රයෙන් ඉවත්ව යෑම ගැන ඔබේ අදහස..

පාසල් විෂය කලාවෙන් ඉවත්වෙනවා නම් එය මහා මුග්ධ, අමනෝඥ ක්‍රියාවක්. "මනසින් උසස්" මිනිසුන් බිහිකරන්න සාහිත්‍යය තරම් දෙයක් තවත් නැහැ. කවුරුහරි තීරණය කරනවනම් සාහිත්‍යයට එවැනි අවතක්සේරුවක් කරන්න එයා හරියට කෙනෙකුගේ හිස කඳීන් වෙන්කරනවා වගේ වැඩක්.

ඔබේ සාහිත්‍ය නිර්මාණ භාවිතයේ සුවිශේෂී සංධිස්ථාන සිහිකළොත්....?

ගුවන්විදුලියේ "හඳමාමා" ට ලියූ කවිය මගේ නිර්මාණ ජීවිතයේ ආරම්භයයි. ඊටපසුව අපගේ පහන්වැට ගුරු දේවයාණන් වන ධර්මසිරි ගමගේ ශූරීන්ගේ "යොවුන් ජනතා" පුවත්පත වගේම ඒ තුළින් හඳුන්වා දුන් "වියත් ඇසුර" අපේ ජීවිතවලට බලපෑමක් කළා. ඒවගේම උසස්පෙළ ලියා අවසන් කාලයේ ගුවන්විදුලියේ නිර්මාණාත්මක වැඩසටහන් වන "සොඳුරු සෙවණ, මලක මහිම, ලාලන රේඛා, පසන් නිවස , ශනිදා සාදය " ආදී වැඩසටහන්වලට නිර්මාණ සපයා මා ලද පාඨක ප්‍රතිචාරය හා ආශීර්වාදය අමතක වෙන්නේ නැහැ.. "තිත්ත මකරන්දය"කෘතියට රාජ්‍ය සම්මාන හිමිවීම වගේම "ණයට ගත් සාජ්ජය, කුලී මාලිඟා " යන කෘතීන් විශිෂ්ට කෘති වශයෙන් තේරීමත් , යොවුන් නවකතා ගණනාවක්ම නිර්දේශිත සම්මාන කෘති වීමත් "ලේන්සුවක අන්දරය"නම් කෙටිකතාව සාර්ක් කෙටිකතා තරඟයේ ජයග්‍රහණයත් ගීපද රචනා කෘති කිහිපයක්ම රාජ්‍ය සම්මාන, විද්‍යෙදය සම්මානවලට නිර්දේශ ලැබීමත් "සුළං දෝලා"නවකතාව ගම්පහ සාහිත්‍ය උළෙලේ ප්‍රථම ස්ථානය ලැබීමත් ආදී දේවල් විශේෂ සංධිස්ථාන ලෙස හඳුන්වන්න පුළුවන් . එසේම සාර්ක් කලාපීය කෙටිකතා තරඟයෙන් මා ලියූ "ලේන්සුවක අන්දරය" කෙටිකතාව සම්මාන ලැබීමත් විශේෂයි.

සාහිත්‍යයෙන් ඈත්වුණු වත්මන් පරපුර නැවත සාහිත්‍යය - කලාව තුළ ස්ථානගත කිරීමට ඔබේ අදහස් -යෝජනා මොනවාද ..?

ඒ වගකීම සම්පූර්ණයෙන් රඳාපවතින්නේ හොඳ රසිකත්වයක් ඇති යහපත් ගුරු පරපුර මත. මෙය මට අත්දැකීමෙන් වැටහුණේ. පහේ පන්තියේ මගේ ලිවීම් අගය කළ ගුරුතුමිය , නවයේ පන්තියේදී මගේ රචනාවලට මහත් සේ පැසසුම් කළ සිංහල ගුරුතුමිය උදාහරණයි. මම උසස්පෙළ සමත්වූයේ ජීව විද්‍යා ධාරාවෙන්. ඒ මම එයට තේරුණු නිසා.. නමුත් මගේ සාහිත්‍ය දැනීම් පිපාසය නිවාගත්තේ පුස්තකාල පරිශීලනයෙන්. එය මගේ නිර්මාණ ජීවිතයට මනා රුකුලක් වුණා. පුස්තකාල පරිශීලනයට දරුවන් යොමුකළ යුතුමයි.පුස්තකාලය විශ්වවිද්‍යාලයක් වගේ තැනක්..ජීවිතයේ මඟහැරුණු දේවල් පොත් ඇසුරින් සොයාගන්න පුළුවන්

ඔබේ නිර්මාණ දිවියට පවුල් සංස්ථාව තුළින් ලද බලපෑම පැහැදිලි කළොත්.....?

මගේ නිර්මාණ දිවියට මගේ සැමියා සේනක පෙරේරා (අද ජීවතුන් අතර නොමැත.) විශාල පිටිවහලක් වුණා. කලාව සම්බන්ධව ඔහුගේ දැනුම්වත්කම, මඟපෙන්වීම සහ මට ඊට අවශ්‍ය මානසික ඉඩහසර ලබාදීම අදටත් (ඔහු මගෙන් වෙන්ව වසර 20ක්) මට මහා ශක්තියක්..ඔහු මට මෙන්ම මගේ නිර්මාණ දිවියට පෑ ආදරය අදටත් මට මහා ශක්තියක්.

ඔබේ සැමියාද එකල සක්‍රියව කලා කටයුතුවලට දායක වුණා....?

ඔව්, ඔහුව මට හමුවුණේත් "පරාස්ස" වේදිකා නාට්‍යය රඟපාද්දී. එහි ඔහු රඟපෑවේ "පුංචි රාල" නමැති ප්‍රධාන චරිතය. 1980 යෞවන සම්මාන උළෙලේදී "හොඳම නළුවා" සම්මානය ඔහුට ඒ වෙනුවෙන් හිමිවුණා. "දුල්‍යාගේ ගීතය" නාට්‍යයටත් ඔහු දායක වුණා. ඔහු හොඳම නළුවා වීමත් එක්ක නාට්‍ය හා රංගකලාව හැදෑරීමට රුසියාවට යන්න ඔහුට ශිෂ්‍යත්වයක් හිමිවුණා. අපේ විවාහය ලියාපදිංචි කරලයි ඔහු ගියේ. පසුකාලීනව ඔහු රඟපෑ රංජිත් ධර්මකීර්තිගේ "මේඝ"වේදිකා නාට්‍යයේ "දොස්තොව්ස්කි" චරිතය වෙනුවෙන් 1991දී විශේෂ සම්මානයක් හිමිවුණා.. "දොස්තොව්ස්කි" චරිතයට අනුව ඔහුට මීමැස්මොරය හැදෙන අවස්ථාවක් තිබෙනවා . ඔහු මීමැස්මොරය හැදෙන විදිහට රඟපාලා එක්වරම වේදිකාව උඩ වැටෙනවා. ඒත් එක්කම තිරය වැසෙනවා. මේ අවස්ථාවේ මගේ දුව ඒකට සංවේදී වෙලා "අනේ මට තාත්තාව ඕනා" කියලා කෑගහලා අඬනවා. පසුව මම දුවව එක්කගෙන වේදිකාව පිටුපසට එක්ක ගිහින් සේනකව පෙන්නුවා. එතකොටයි දුවගේ හිත හැදුණේ...අන්න ඒවගේ හරිම තාත්වික රංගනයක් ඔහුගේ තිබ්බේ. සේනක "ඉන්ගම්මාරුව, ගජමන් නෝනා, ඉසිවර අසපුව, පුංචි කුමාරිහාමි" වගේ ටෙලිනාට්‍ය රැසකටම රංගනයෙන් දායක වුණා. ඒවගේම ඔහු ගීපද රචකයෙක්. ඒ ගැන බොහෝ අය දන්නේ නැහැ. එක්තරා වේදිකා නාට්‍යයකට අපූර්ව ගීත රචනාවක් ඔහු අතින් ලියවුණා.ඒ වගේම ගමේ මිනිස්සුන්ට තැනක් දෙන්න ඕන කියලා හිතලා ගමේ මිනිස්සුන්ව වාහනයක දාගෙන "ඉන්ගම්මාරුවේ" අතිරේක චරිත සඳහා රැගෙන ගියා. ගමට (කඩවත) රංග ශාලාවක් හැදීමේ අවශ්‍යතාවත් ඔහුට තිබුණා. සේනක කියන්නේ ඇත්තෙන්ම මනා රංගන ප්‍රතිභාවක් තිබූ හොඳ මනුස්සකම් පිරුණු මනුස්සයෙක්.

නැවත හැරීබලද්දී ඔබේ නිර්මාණකරණය පිළිබඳ ඔබ තෘප්තිමත් ද...?

නිර්මාණකරණය ගැන හිතුවොත් මට හිතෙන්නේ තවම මම මගේ හොඳම කවිය, හොඳම ගීතය, හොඳම කෙටිකතාව, හොඳම නවකතාව ලියා නැති බවයි. මේ නිර්මාණ අතෘප්තිකරභාවය මත මා මියෙනතුරාම දිගටම ලියාවි කියා හිතෙනවා. ජීවිතයෙන් තෘප්තිමත් වුණත් මට නිර්මාණ ජිවිතයෙන් තෘප්තිමත් විය නොහැකියි. ඒ තවමත් මා අලුත් මංපෙත් සොයන නිසයි.

සිනමා-ටෙලිනාට්‍ය තිර රචනා කලාවට පිවිසෙන්න අදහසක් නැද්ද....?

අදහසක් තිබුණා. සේනක ජීවත්ව ඉන්න කාලයේම ඒ සඳහා මාව යොමුකරන්න ඔහුට වුවමනාව තිබ්බා. මා 1990 දශකයේ ජනප්‍රිය වූ "සත්සර රංගන" ටෙලිනාට්‍ය මාලාවේ කතාංග 15ක් පමණ තිර රචනාත් කළා. එහෙත් සේනකගේ ඇවෑමෙන් පසුව තනිවම නිර්මාණ කරනවා හැරෙන්න එවැනි දේ සඳහා පෙලැඹීමක් මා තුළ ඇතිවුණේ නැහැ. ඒ විශාල ක්ෂේත්‍රය තුළ හුදෙකලාව හැසිරීම මට වෙහෙසකර ව්‍යායාමයක් වන බව මම දන්නවා.

පසුගියදා පැවැති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දෙස බැලීමේදී මෙරට පාඨකයා සිටින්නේ කොතැනද කියා නිගමනයකට ආ හැකිද...?

නිගමනයකට ඒම අසීරුයි. නමුත් පොත්වලට පාඨකයන්ගේ ඇති උනන්දුව නම් අගය කළ යුතුයි. සාහිත්‍යයට පොතපතට ආදරය කරන කෙනෙකුට ඒ පොත් ප්‍රදර්ශනය වසරටම උදාවෙන වසන්ත කාලයක් වෙනවා. පාඨක රසමනස තුළින් සාහිත්‍යය ගිලිහී යා නොදී කුඩා කල පටන්ම රසිකයා නාශනය නොකර පෝෂණය කරන්නට වගබලාගැනීම හොඳ යැයි මම සිතනවා.

මෙරට ලේඛකයන්ගේ නවකතා ශානරයන් තුළ පාඨකයන්ට වඩාත් ගෝචර වන ශානරයන් ඔබ දකින්නේද....?

මම හිතන්නේ පාඨක මනස සිටින තැනින් මඳක් හෝ ඔසවා තබන චින්තනයන් අවුළුවාලීම තමයි කළයුත්තේ. අපේ සංස්කෘතියට ගැළපෙන ආකාරයේ නිර්මාණ තෝරාගත යුතුයි. මොකද අප ලියන්නේ අතළොස්සකට නොව බහුතරයකට නිසා.

ඉදිරි සාහිත්‍ය නිර්මාණ කාර්යයන් පිළිබඳ යම් ඉඟියක් කළොත්....?

මේ දිනවල අලුත්ම ගීත කිහිපයක් එළිදැක්වූවා. මා ලියූ ශෂිකා නිසංසලා , අශෝක කිරිඇල්ල ගයන "කොළඹ හඳෙන්" යුග ගීතය (සංගීතය: රෝහණ වීරසිංහ ), චන්දන ලියනාරච්චි, කුමුදු රණසිංහ ගයන "සුනිමල අරුන්දතී " ගීතය (සංගීතය: දර්ශන වික්‍රමතුංග), ඒවගේම අපේ පහන්වැට සහෘද අනුර බී. සෙනෙවිරත්නයන් ලියූ කරුණාරත්න දිවුල්ගනේ ගැයූ "මා මළදා" ගීතයට පිළිතුරක් වශයෙන් ලියූ ගීතය හෙට අනිද්දාම එළිදකිනවා. එය රෝහණ වීරසිංහ සංගීතවත් කළ අතර ගායනා කරන්නේ ඉනෝකා අහංගමයි..

ඔබේ පවුලේ විස්තර සඳහන් කළොත් ...?

මට දියණියන් දෙන්නෙක් ඉන්නවා. වැඩිමලී "ප්‍රතිභා ප්‍රභා". ඇය ගීත ගායනා කරනවා. දැනට ගීත ගණනාවක්ම ගායනා කර තිබෙනවා . ඒවගේම ඇය සයිබර් අවකාශයේ හොඳ ප්‍රතිචාර ලබන ලේඛිකාවක්. ඔවුන්ට පුතෙක් සහ දුවෙක් ඉන්නවා. ඇය ලයිසියම් ආයතනයේ සේවය කරනවා . දෙවැනි දියණිය "ප්‍රමුදි ශෝභා". ඇය ප්‍රමිති ආයතනයේ සේවය කරන්නේ. ඇයටත් ලිවීමේ හැකියාව තියෙනවා. ඇගේ සැමියා සාලිය ඉලංගරංග. ඔහු කලාවටත් සම්බන්ධයි. ඔහු එඪදඨඵ සංගීත කණ්ඩායම මෙහෙයවනවා. ඔවුන්ටත් පුතෙක් ඉන්නවා. සාලිය පුතා මගේ ගීත කිහිපයකටත් සංගීතය සපයා තියෙනවා.

මනෝජ් රුක්මල් කුමාරසිංහ