වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
තිර රචනා ශිල්පය නව මාවතකට යොමු කළ සිඩ් ෆීල්ඩ්ගේ 'Screenplay' කෘතිය දැන් සිංහලෙන්

තිර රචනය යනු චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක පදනමයි. එය රංගන ශිල්පීන්ට සහ කාර්මික ශිල්පීන්ට තම කාර්යයභාරය ඉෂ්ට කිරීම සඳහා සැකැස්ම ලෙස ක්‍රියා කරයි. සාර්ථක චිත්‍රපටයක් හෝ ටෙලි නිර්මාණයක් බිහිවීම සඳහා සාර්ථක තිර පිටපතක් අනිවාර්යය වෙයි. ලෝ ප්‍රකට සිනමාකරුවෙකු වන අකිර කුරසෝවා වරක් පැවසූ පරිදි “හොඳ තිර පිටපතකින් හොඳ අධ්‍යක්ෂවරයකුට විශිෂ්ට චිත්‍රපටයක් නිර්මාණය කළ හැකි වුවද, දුර්වල තිර පිටපතකින් විශිෂ්ට අධ්‍යක්ෂවරයෙකුට වුවද, හොඳ චිත්‍රපටයක් නිර්මාණය කළ නොහැකි වෙයි.”
වර්තමානය වනවිට තිර රචනයක ඇති වැදගත්කම පිළිබඳව ලෝක සිනමාව පසක් කරගෙන හමාරය. තිර රචකයාට ලැබිය යුතු වෘත්තීය ගරුත්වය සහ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ලෝක සිනමාව පෙළගැසී හමාරය. පසුගිය අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ තිර රචනා වෘත්තිය නොයෙකුත් වෙනස්කම්වලටත්, දියුණු වීම් වලටත් ලක්ව ඇත. තිර රචනා ලිවීමේ විධික්‍රම හා ශෛලීන් වඩා සංකීර්ණ හා දියුණු භාවයට ලඟා වී ඇත. තිර රචනා ශිල්පයේ මෙකී දියුණුවට සාධක බොහෝමයක් බලපා ඇති බව සැබෑ වුවත්, වර්ෂ 1979 දී, තිර රචකයකු, දේශකයකු, තිර පිටපත් අධීක්ෂකයෙකුවූ සිඩ් ෆීල්ඩ් විසින් රචිත ‘ස්ක්‍රීන්ප්ලේ - ද ෆවුන්ඩේෂන් ඔෆ් ස්ක්‍රීන් රයිටින්’ කෘතිය මේ සඳහා දැඩි බලපෑමක් එල්ල කර ඇති බව සමස්ත සිනමා ලෝකයම පිළිගන්නා කරුණකි.
සාර්ථක තිර රචනයක් ලියන්නේ කෙසේද යන්න ගැන පියවරෙන් පියවර මාර්ගෝපදේශනයක් රැගත් මෙකී කෘතිය නිකුත් වූ විගස, මූලිකව හොලිවුඩ් සිනමා කර්මාන්තයත්, පසුව ලෝකයේ අනෙකුත් සිනමා කර්මාන්තත් ඉතා ඉක්මනින් මෙකී කෘතිය වැලඳ ගත්තෝය. එහි ප්‍රතිපලයක් ලෙස, 70 දශකයෙන් පසු මූලිකව හොලිවුඩ් සිනමාවේ ‘කතන්දර කියන ආකාරය’ සැලකිය යුතු ලෙස වෙනස් වූ බව පැහැදිලිය. වර්ෂ 1979 දී නිකූත් වූ මෙකී කෘතිය, වර්තමානය වන විට භාෂා 25කට පමණ පරිවර්තනය වී ඇති අතර, 2005 වර්ෂය වන තෙක් එහි සංස්කරණයන් 4ක් නිකුත් වී ඇත. පිටපත් මිලියන ගණනක් අලෙවි වී ඇති මෙම කෘතිය විශ්වවිද්‍යාල සහ සිනමා අධ්‍යාපන ආයතන රාශියකම අධ්‍යයන කෘතියක් ලෙස භාවිතා කරනු ලබයි
ශ්‍රී ලංකාව තුළ තිර රචනා ශිල්පය සම්බන්ධයෙන් ලියැවී ඇති කෘති ඇත්තේ ඉතාමත් අල්ප වශයෙනි. එයිනුත් කර්මාන්තමය මුහුණුවරකින් තිර රචනයකට ප්‍රවිශ්ට වීම සම්බන්ධයෙන් ඇති කෘති තිබේදැයි සැක සහිතය. මෙම රික්තය තේරුම් ගත් “ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදය” පසුගිය සැප්තැම්බර් 24වන දින සිඩ් ෆීල්ඩ්ගේ ‘ස්ක්‍රීන්ප්ලේ’ කෘතියේ 2005 වර්ෂයේ නිකුත්වූ අවසාන සංස්කරණයේ නිල සිංහල පරිවර්තනය ජනගත කළේය.
තිර රචනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ප්‍රථම සුසමාදර්ශය වූ, ලෝ ප්‍රචලිත රූපණ තුනේ සුසමාදර්ශය හෙවත් 3 ඒඛ්ඊ ර්‍ථචපචඤඪඨථ මනාවට විස්තර කර ඇති ‘තිර රචනය’ කෘතිය තිර රචනයක් ලිවීම සඳහා ඔබට කදිම මාර්ගෝපදේශනයක් වනු ඇත. සිඩ් ෆීල්ඩ්ම සඳහන් කරන පරිදි මෙය ‘ලියන්නේ කුමක්ද?’ යන්න ගැන ලියැවුණු කෘතියක් නොවන අතර, ‘ලියන්නේ කෙසේද’ යන්න ගැන ලියැවුණු කෘතියකි. තිර රචනයක් යනු කුමක්ද යන්නෙන් ඇරඹෙන කෘතිය, නිවැරදි ලෙස ලියන ලද තිර රචනයක තිබිය යුත්තේ මොනවාද සහ නොතිබිය යුත්තේ මොනවාද යන්න ගැන දීර්ඝ විවරණයක යෙදෙයි. නවකතාවක සහ තිර රචනයක ඇති වෙනස්කම් ගැන විශ්ලේෂණය කරයි. ස්කොට් ෆිට්ස්ජෙරල්ඩ් වැනි සම්භාවනීය ගණයේ නවකතාකරුවන්, තිර රචනා ශිල්පයේදී අසාර්ථක වූ හේතූන් විස්තර කරයි. වස්තු
විෂයයක් සොයාගැනීම සහ හොඳ වස්තු විෂයයක ඇති ලක්ෂණත් මනාවට ගෙනහැර දක්වයි. චරිත ගොඩනැංවීම සහ විකාශනය සම්බන්ධව සම්භාවනීය සහ ජනප්‍රිය චිත්‍රපට උදාහරණයට ගනිමින් විස්තර කරනු ලබයි. කතාව සහ චරිත අතර සහසම්බන්ධය මනාවට පැහැදිලි කරයි. ලෝක සිනමා භාවිතයන්හි සාර්ථක හා අසාර්ථක චරිත ගොඩනැංවීම් ගැන විවරණය කරයි.
එතැනින් නොනැවතී චිත්‍රපටයක ආරම්භය සහ අවසානය ගැන දීර්ඝ ලෙස විස්තර කරයි. ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගැනීම සඳහා ආරම්භයේදී රචකයා කළ යුත්තේ කුමක්ද යන්න ගැන උදාහරණ සහිතව ගෙනහැර දක්වයි. කතාව පිහිටුවීම ගැනත්, ආකෘතිය ගැනත් දීර්ඝ ලෙස විවරණය කරයි. සුසමාදර්ශයක් යනු සූත්‍රයක් නැතහොත් ෆෝමියුලාවක් ය යන දුර්මතය දුරු කරමින්, ඒ ගැන කරුණු පැහැදිලි කරයි.
“මේසයක් කියූ සැණින් ඔබට මතක් වන්නේ කුමක්ද? කකුල් හතරක් සහිත මුදුනකි. එය මේසයක සුසමාදර්ශයයි. නමුත් මෙය සූත්‍රයක් නොවේ. මෙය රවුම් මේසයක් විය හැක, කොටු මේසයක් විය හැක, ශඩාස්‍රාකාර මේසයක් විය හැක, කුඩා මේසයක් විය හැක, විශාල මේසයක් විය හැක. මේසයේ හැඩය ඔබට අවැසි පරිදි වෙනස් කළ හැකි නමුදු සුසමාදර්ශය වෙනස් නොවේ. තිර රචනයද එසේමය.” ලෙසින් සිඩ් ෆීල්ඩ් පවසයි.
සිද්ධි සහ දර්ශන ගොඩනැංවීම, හැරවුම් ලක්ෂ්‍යය, දර්ශන සහ දර්ශන මාලා, තිර රචනා ස්වභාවය, අනුවර්තනය හෙවත් නවකතාවක්, පුවත්පත් ලිපියක් හෝ වෙනත් ප්‍රභවයක් මත පදනම් කරගෙන තිර පිටපත් ලිවීම වැනි කාරණා ඉතා ප්‍රථූල අන්දමින් මෙම කෘතිය තුල සාකච්ඡාවට බඳුන් කරයි. එතැනින් නොනැවතී වෙනත් රචකයන් සමඟ හවුලේ තිර රචනය කරන්නේ කෙසේද, තිර රචනයක් ලිවීම සඳහා පාරිසරික සහ මානසික වටපිටාව ගොඩනඟාගන්නේ කෙසේද, තිර රචනයක් ලියා හමාර කළ පසු එය ඔපමට්ටම් කිරීම සඳහා සිදුකළ යුත්තේ කුමක්ද?, රයිටර්ස් බ්ලොක් වැනි ප්‍රතිරෝධයන් ජයගන්නේ කෙසේද?, තිර රචනයක් ලිවීම සඳහා පර්යේෂණය කොතරම් දුරට වැදගත් ද වැනි කාරණා ගැනත් මෙම කෘතියේ අවධානයට බඳුන්වෙයි.
සිඩ් ෆීල්ඩ්ගේ මෙම කෘතිය නිකුත් වීමෙන් පසු ලෝකයේ තිර රචනය සම්බන්ධ තවත් කෘති කිහිපයක්ම මේ වන විට නිකුත් වී ඇති බව සත්‍යයකි. ඒ අතරින් රොබට් මැකීගේ ‘ස්ටෝරි’, ජෝන් ටර්බිගේ ‘ඇනටොමි ඔෆ් ද ස්ටෝරි’ සහ බ්ලේක් ස්නයිඩර්ගේ ‘සේව් ද කැට්’ කෘති මාලාව ප්‍රමුඛස්ථානයක් ගනියි. මෙම කෘතිවලින් සමහරක් සිඩ් ෆීල්ඩ්ගේ ඉගැන්වීම් තවදුරටත් සංවර්ධනය කර ඇති අතර, සමහරක් ඊට වෙනස් වූ වෙනත් ක්‍රමවේදයන් ද යෝජනා කර සිටියි. නමුත් තිර රචනා ශිල්පය හදාරන ඕනෑම කෙනෙකුට තිර රචනා ‘ගුරු’ ලෙස විරුදාවලිය ලත් සිඩ් ෆීල්ඩ්ගේ ‘තිර රචනයේ බයිබලය’ ලෙස සැලකෙන මෙම කෘතිය අගනා මෙවලමක් බවට සැකයක් නැත.
ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදය විසින් පරිවර්තිත මෙම කෘතිය පරිහරණය කිරීම වඩා උසස් තිර රචනා ලිවීම සඳහා ඔබට මහඟු අත්වැලක් වනු ඇත. ලොව පුරා ජනාදරයට පත් සම්මානනීය චිත්‍රපටයක් වූ ‘සයිලන්ස් ඔෆ් ද ලෑම්බ්ස්’ චිත්‍රපටයේ තිර රචක ටෙඩ් ටැලී පවසන ආකාරයට “සිඩ් ෆීල්ඩ් චිත්‍රපට සම්බන්ධයෙන් පරතෙරට දැනුම ඇත්තෙකි. මෙය ඔහුගේ වඩාත්ම පෞද්ගලික, වඩාත්ම ප්‍රථූල, වඩාත්ම හදවතට ළංවනසුළු කෘතියයි. නිදහසේ වාඩිවී මෙය කියවන්න. පුළුල් තිරයේ ඉන්ද්‍රජාලික මායාව සම්බන්ධයෙන් විශිෂ්ටතමයාගෙන් ඉගෙනගන්න.”
සේයාරූ - අන්තර්ජාලයෙනි