43 වැනි සිග්නිස් සම්මාන උලෙළ 26 වැනිදා BMICH හිදි

නොවැම්බර් 23, 2023

සිග්නිස් (SIGNIS) අන්තර්ජාතික සංවිධානයට අයත් සිග්නිස් (SIGNIS) ශ්‍රී ලංකා ආයතනය මඟින් 43 වැනි වරටත් පවත්වනු ලබන ‘සිග්නිස් උත්තමාචාර සිනමා හා ප්‍රාසංගික ටෙලි නාට්‍ය සම්මාන උලෙළ’ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ රදගුරු සමුළුවේ සභාපති අති උතුම් හැරල්ඩ් ඇන්තනී හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් රදගුරු සමුළුවේ සියලු සාමාජික රදගුරුතුමන්ලාගේ සහ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 26 වැනිදා හවස 5.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

වසර 1973 වසරේදී ආරම්භ වූ මේ සම්මාන උලෙළට මේ වසරේදී අඩ සියවසක් සපිරේ. ආරම්භයේදී ‘OCIC  සිනමා උත්තමාචාරය’ නමින් හැඳීන්වූ මේ සම්මාන උලෙළ ආරම්භ කිරීමට පුරෝගාමී වූයේ ශ්‍රී ලාංකේය සිනමාවට මෙන්ම කතෝලික ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටු කළ ස්වර්ගස්ථ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමාය. මේ වසරේදී එම සම්මාන උලෙළේ 50 වැනි සංවත්සරය සැමරෙන අතර, මෙවර සම්මාන උලෙළේදී 2021, 2022 වර්ෂවල ප්‍රදර්ශනය කළ චිත්‍රපට සහ විකාශය වූ ටෙලිනාට්‍ය වෙනුවෙන් ක්ෂේත්‍ර 16ක් යටතේ සම්මාන 80ක් පිරිනැමේ.