රයිගම් ටෙලීස් 20 වැනි සම්මාන උලෙළ 2024 මාර්තු මාසයේ

නොවැම්බර් 23, 2023

කලා ක්ෂේත්‍රයේ නියැළෙන ශිල්පීන්ගේ නිර්මාණ කුසලතාවයන් ඇගැයීම හා නිර්මාණකරණයට ඔවුන් උනන්දු කිරීම උදෙසා ජාතික හා අන්තර්ජාතික උලෙළවල් රැසක් ලොව පැවැත්වේ. රයිගම් ටෙලිස් 2005 වර්ෂයෙන් ඇරැඹි එම කර්තව්‍යය අඛණ්ඩව වසර 19ක් පුරා ඉතා සාර්ථකව පවත්වා ඇත. ප්‍රධාන උලෙළට පෙර නිර්දේශිත නාම ප්‍රසිද්ධ කිරීම මෙවරද 2024 වසරේ මාර්තු 01 වැනිදා බත්තරමුල්ල වෝටර්ස්-එජ් හි පැවැත්වීමට නියමිතය.

සෑම නිර්දේශිතයකු සඳහාම එක් වර්ෂයක් සඳහා බලපාන රුපියල් මිලියනයක ජීවිත රක්ෂණයක් සහ රුපියල් ලක්ෂයක් වටිනා වෛද්‍ය රක්ෂණයක් හා හැකියාව අගයා සහතිකයක්ද පිරිනැමේ.

ඒ අනුව යමින් 2023 වර්ෂය තුළ විකාශය වූ ටෙලි නිර්මාණ 20 වැනි රයිගම් ටෙලීස් උලෙළේදී සලකා බැලේ. මෙහි පූර්වාරම්භය පිළිබඳ ප්‍රකාශයට පත් කෙරෙන මාධ්‍ය හමුව පසුගියදා කොළඹ වැල්ලවත්ත සෆායර් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ. රයිගම් සමූහ ව්‍යාපාරය නියෝජනය කරමින් සභාපති ආචාර්ය රවී ලියනගේ, කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිශාන් තියෝඩර්, ජේ්‍යෂ්ඨ අධ්‍යක්ෂ ගණක අමරසිංහ එක්වූ අතර, විනිශ්චය මණ්ඩල සභාපති බුද්ධදාස ගලප්පත්ති, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවිකරණය හා පාරිභෝගික සේවා සම්පත් බැංකුව තාරක රන්වල මේ අවස්ථාවට එක්වූහ. එහිදී අනුග්‍රාහකත්ව ආයතන නියෝජනය කරමින් අනුග්‍රාහකත්ව සංකේත හුවමාරු කිරීමද සිදු කෙරිණ.

2023 වර්ෂයට අදාළ අයැදුම්පත් හා නිර්මාණ භාර ගන්නා අවසන් දිනය වන්නේ 2024 ජනවාරි මස 15 දාය. සම්මාන සඳහා නිර්දේශිතයන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ අයැදුම්පත් භාර ගැනීම පිළිබඳ ප්‍රසිද්ධ නිවේදනය නිකුත් කිරීමෙන් හා නාලිකා වෙත යොමු කෙරෙන අයැදුම්පත් කැඳවීමේ ලිපි මඟිනි. සියලු අයැදුම්පත් අදාළ නාලිකා ප්‍රධානීන් විසින් සලකා බැලෙන වර්ෂයට අදාළ ව විකාශය වූ බවට සහතික කළ යුතුය. මේ සඳහා ඉදිරිපත් වන සියලු නිර්මාණ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගැයීමට ලක් කෙරේ. වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය, ටෙලි නාට්‍ය නළුවා, නිළිය ප්‍රේක්ෂක මනාපයෙන් තෝරා ගැනේ. වඩාත්ම ජනගත ටෙලි නාට්‍ය, රූපවාහිනී වැඩසටහන සහ ප්‍රවෘත්ති විකාශය දීප ව්‍යාප්ත ජනතා සමීක්ෂණයක් මඟින් තීරණය කෙරෙන අතර විශේෂ ප්‍රණාම සම්මාන සඳහා වන නිර්දේශ උපදේශක සභාවක් මඟින් සිදු කෙරේ. රයිගම් සම්පත් යුතුකම වශයෙන් සිදු කෙරෙනුයේ, වයස්ගතම හෝ සෞඛ්‍ය හේතුවෙන් අපහසුතාවට පත්වන කලාකරුවන් සඳහා මූල්‍යාධාර සැපයීමයි.

2024 මාර්තු මස 30දා අවසන් සම්මාන රාත්‍රීය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ. සියලු සම්මානලාභීන් සඳහා වටිනා මුදල් ත්‍යාග, රක්ෂණ තිළිණ සමඟ සම්මානය සමඟ සහතික පත්‍රය පිරිනැමේ. මෙහිදී ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන, රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන, ජනප්‍රිය සම්මාන, ජනගත සම්මාන, කුලකය ප්‍රණාම සම්මාන, රූපවාහිනී නාලිකා ඇගැයීම පිරිනැමේ. සම්මාන උලෙළට නිර්මාණ ඉදිරිපත් කරන නිර්මාණකරුවන් වැඩි විස්තර සඳහා රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය අමතන ලෙස ඉල්ලා සිටින අතර නිසි පරිදි සම්පූර්ණ කරන අයැදුම් පත සමඟ තම නිර්මාණ VOB හෝ Mpeg  වර්ගයේ සංයුක්ත තැටි (CD) DVD  මඟින් රයිගම් ටෙලීස් නිර්මාණ බාර ගැනීමේ කාර්යාල වෙත භාර දිය යුතුය. වැඩි විස්තර සඳහා 0114886777, / 0114886888 හා 07440061508, /0744061602 දුරකථන අංකයන් හෝ www.raigamtelees.lk  දැනගත හැකිය.