ඔස්කා නව සභාපති කීර්ති පැස්කුවල්

නොවැම්බර් 23, 2023

ගීත නිර්මාණක කේන්ද්‍රයේ (Outstanding Song Creators Association -OSCA)  නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ සංගීතවේදී කීර්ති පැස්කුවල් මහතා පසුගියදා පැවැති මහ සභා රැස්වීමේදී ඒකමතිකව තේරි පත්විය. 2002 වසරේ ආරම්භක සභාපතිවරයා ලෙස වසර විසි එකක් පුරාවට කටයුතු මෙහෙයවන ලද්දේ එහි නිර්මාතෘ ජයන්ත ධර්මදාස මහතාය. සංගීත ක්ෂේත්‍රයේ නියැළී සිටින ගායක ගායිකාවන්, වාද්‍ය ශිල්පීන් සහ සංගීත කණඩායම්වලින් ගීත නිර්මාණක කේන්ද්‍රය සමන්විත වෙයි. ඒ අනුව 2023/2024 ප්‍රවර්තන වර්ෂයේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස, කීර්ති පැස්කුවල් (සභාපති), සන්තුෂ් වීරමන් (උප සභාපති ) රූකාන්ත ගුණතිලක, නිරෝෂා විරාජිනී, ප්‍රදීපා ධර්මදාස, සොහාන් වීරසිංහ, රෝහණ බෝගොඩ, කසුන් කල්හාර, දයාන් විතාරණ සහ අනුරාධා නන්දසිරි තේරි පත්ව ඇත.

සියලුම විද්‍යුත් නාළිකාවන් තුළ ප්‍රචාරය වන ගීත සඳහා කර්තෘ භාග මුදල් ලබාගෙන අදාළ ශිල්පීන් වෙත ගෙවීම මේ සංගමයේ මූලික කාර්‍යභාරය වේ. ඒ අනුව මේතාක් දුරට කරගෙන ආ එම වැඩ පිළිවෙළ වඩාත් ක්‍රමවත්ව හා සක්‍රීය ලෙසින් ඉදිරියට පවත්වාගෙන යමින්, මේ දක්වා ලබා ගැනීමට නොහැකි වූ කර්තෘ භාග මුදල් ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සැකසීම, ශිල්පීන්ගේ ගීත ඇතුළත් දත්ත ගබඩාවක් සකස් කිරීම, ගායන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම ගායක ගායිකාවන් සඳහා මෙහි සාමාජිකත්වය නොමිලේ ලබාදීම ඇතුළුව සියලුම සාමාජික සාමාජිකාවන් සඳහා වඩාත් අර්ථාන්විත වැඩ පිළිවෙළක් සැකසීම නව සභාපතිවරයාගේ අරමුණ වේ.