සිංහබාහු ජනවාරි සිට දිවයින පුරා

නොවැම්බර් 30, 2023

ආචාර්ය සෝමරත්න දිසානායකගේ දොළොස් වන සිනමා දිගහැරුම සිංහබාහු ලබන වසරේ ජනවාරි මස සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත කිරීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කර ඇත.

මෙරට සියලුම චිත්‍රපට ප්‍රදර්ශක මණ්ඩලවල පුර්ණ අනුග්‍රාහකත්වය ඇතිව මුල්වරට තිරගත කිරීමට නියමිත සිංහබාහු සිනමා පටයේ විශේෂ දර්ශනයක් පසුගිය දා කොළඹ වන් ගෝල්ෆේස් ර්‍ථඍඅ සිනමා සංකීර්ණයේ දී සියලු චිත්‍රපට මණ්ඩල හිමිකරුවන්ගේ හා චිත්‍රපට ශාලා හිමිකරුවන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ලෝකයේ අති නවීන ඩොල්බි 7.1 සිනමා තාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණය කොට ඇති සිංහබාහු සිනමා නිර්මාණය ලොව අති නවීන රෙඩ් හීිලියම් වෙපන් කැමරා භාවිතා කොට පවතින ස්වභාවික ආලෝක තත්ත්වය යටතේ නිර්මාණය කොට ඇත. සිනමාලෝලීන්ට ආනන්දනීය සිනමා අත්දැකීමක් ලබා දීමේ අරමුණින් අධික පිරිවැයක් දරා සිංහබාහු චිත්‍රපටය නිර්මාණය කොට ඇත.

සීගිරිය, හත්තිකුච්චි, දඹුල්ල, කළුදිය පොකුණ, පොළොන්නරුව, අනුරාපුරය, රිවස්ටන්, බෙලිහුල්ඔය, නන්තෙරියල්, තෙල්දෙණිය ආදී ප්‍රදේශ රැසක මෙහි රූප ගත කිරීම් සිදුකර ඇත.

සිංහබාහු සිනමා සිත්තම සඳහා අකිල ධනුද්දර, සජිත අනුත්තර, දුෂේනී මියුරංගී, යශෝධා විමලධර්ම, සිනෙති අකිලා, අභිලාෂී ශංතුෂ්කී, රදීන් රන්දිව්, සංයුම් නිම්නාදී, චන්දන වික්‍රමසිංහ, නිරංජනී ශම්මුගරාජා, රත්නාලාලනී, කුමාර තිරිමාදුර, සමන්ත මංජුල, ධර්මපි‍්‍රය ඩයස්, ලලිත් ජනකාන්ත, ගිවන්ත අර්ථසාද් ඇතුළු විශාල නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙති.

සිංහබාහු සිනමා නිර්මාණය සඳහා වේශ නිරූපණයෙන් විදුර අබේධීර, ඇඳුම් නිර්මාණයෙන් රමේශා ඕෂිනී, පසුතල සැලසුමෙන් ප්‍රසන්න වීරක්කොඩි, කලා අධ්‍යක්ෂණයෙන් ජානක ප්‍රසාද්, සංගීතයෙන් ආචාර්ය සමන් පනාපිටිය, ගායනයෙන් හර්ෂණ දිසානායක, සමන් ලෙනින්, නුවන්දිකා සේනාරත්න, අමන්ද්‍යා උත්පලී, ශෂි ගුණරත්න, දෘශ්‍ය සජීවිකරණයෙන් රවීන් වෙත්තසිංහ, ශබ්ද සංකලනයෙන් සශික රුවන් මාරසිංහ, වර්ණ සංකලනය ආනන්ද බණ්ඩාර, සහාය අධ්‍යක්ෂණයෙන් චාමර සේලාර, සංස්කරණයෙන් අජිත් රාමනායක, නිෂ්පාදන කළමනාකරණයෙන් ධම්මික අමරසිංහ, රේණුකා බාලසුරිය හා කැමරා අධ්‍යක්ෂණයෙන් විශ්වා බාලසුරිය දායක වෙති.

ගාමිණි වික්‍රමසිංහ, රේණුකා බාලසූරිය අර්ථපතිත්වයෙන් දායක වන සිංහබාහු සිනමා නිර්මාණය තිරරචනා කොට අධ්‍යක්ෂණය කරනුයේ සම්මානීය චිත්‍රපට අධ්‍යක්ෂ සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායකය.