සිංහල සිනමාවට නව ප්‍රවේශයක් රැගෙන බොඳවූ සිහිනය ළඟදීම

පෙබරවාරි 8, 2024

දේශිය සිනමාවේ ආරම්භක යුගයේදී දමිළ අධ්‍යක්ෂවරුන්ගේ දායකත්වය සිංහල සිනමාවේ ප්‍රගමනයට විශාල දායකත්වයක් දැක්වීය. වර්තමානයේද දමිළ අධ්‍යක්ෂවරුන්ගේ ආගමනය අතීතය සිහිපත් කරවන්නෙකි."බොඳවූ සිහිනය" චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් තිරයට රැගෙන එන එන්.එස්.තනපාල සුන්‍තරම් ඉන් අයෙකි. මේ සිනමා නිර්මාණය සමඟින් නව නිෂ්පාදකවරයෙකු දේශීය සිනමාවට එක්වීමද, සිනමා කර්මාන්තයේ පැවැත්මට ආශිර්වාදයක් වනු ඇත. මෙරට රාජ්‍ය මෙන්ම පුද්ගලික ආයතන රැසක විධායක ශ්‍රේණියේ තනතුරු රැසක් හෙබවූ ආචාර්ය එම්.ජී.කරුණාදාස මෙහි නිෂ්පාදකවරයා ලෙසින් කටයුතු කරනු ලබයි. සිංහල මෙන්ම දමිළ බසින් ද තිරගත කිරීමට සැලසුම් කර ඇති "බොඳවූ සිහිනය" චිත්‍රපටයේ රංගනයෙන් සංජය මුරමුදලි, පූර්විකා රාසසිංහම්, ගජන් කනේශන්, සුගත් ජානක, රෝහිත ඩයස්, චන්දන එදිරිසිංහ, ශාන්තා නානු, ජයන්ත වීරසිංහ ඇතුළු පිරිසක් එක්ව ඇති අතර, කැමරා අධ්‍යක්ෂණයෙන් සුජිත් නිශාන්ත, කලා අධ්‍යක්ෂණයෙන් බන්දුල වීරසේකර, අංග රචනයෙන් සුරේෂ් ඉන්දික, සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් ඩිලාන් ගුණවර්ධන, සහය අධ්‍යක්ෂණයෙන් චන්දන එදිරිසිංහ ද, සංගීත අධ්‍යක්ෂණයෙන් ෆර්හාන් ෂාන්, නර්තන නිර්මාණයයෙන් නිලාන් මලිගැස්ප සහ ඇඳුම් නිර්මාණයෙන් නිපුන් චතුරංග ඇතුළු පිරිසක් මේ සඳහා එක්වී ඇත.