අනාගත පරපුර වෙනුවෙන් පිය උරුමය දායාද කළ යුතුයි

-ප්‍රවීණ සංගීතාචාර්ය ජයන්ත අරවින්ද
පෙබරවාරි 8, 2024

ලංකේය නාට්‍ය ක්ෂේත්‍රයට විශාල ආලෝකයක් එක් කළ නිර්මාණවේදියකු වශයෙන් ඔහු අපට හඳුනා ගත හැකි වේ. මහාචාර්ය සරච්චන්ද්‍රයන් ඇසුරේ පෝෂණය ලබමින් වැඩුණු ඔහු මහාචාර්ය ස‍රච්චන්ද්‍රයන් නිෂ්පාදනය කළ පේමතෝ ජායතී සෝකෝ නම් විශිෂ්ට නාට්‍යයේ සංගීතය නිර්මාණය අපූරු ලෙස ගොඩනැඟූ නිර්මාණකරුවාද වෙයි .

විශිෂ්ට සංගීතවේදියකු ගුරුවරයකු අධ්‍යාපනඥයකු ද වන ජයන්ත අරවින්ද සමඟ කළ කතා බහකි මේ.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ඇසුර පිළිබඳ මතකය අවදි කරමු නේද?

මගේ විශ්වවිද්‍යාල අවධියේ පටන් 1958 පමණ සිට සරච්චන්ද්‍රයන්ගේ ඇසුර තිබුණා. ඒ එතුමාගේ ගෝලයෙක් විදිහට වගේම ඊට අමතරව මගේ පියාගේ මිතුරකු විදිහටත් හඳුනුම්කමක් තිබුණා. ඒ සම්බන්ධකම් හා ඇසුර වැඩි දියුණු වීමත් එක්ක එකල සරච්චන්ද්‍රයන්ගේ රත්නාවලි නාට්‍යයේ සංගීතය නිර්මාණය කරන්න පවා මට අවස්ථාවක් ලැබුණා.

පියදාස නිශ්ශංක මහත්මයා තමයි රත්නාවලී නාට්‍යයේ පරිවර්තකයා වුණේ එතුමා හොඳ කවියෙක්නේ. එතුමා ලිව්වේත් සංස්කෘත නාට්‍යයක පරිවර්තනයක් විදියටයි. රත්නාවලී කියන්නේ සංස්කෘත නාට්‍යයක්. ඉතින් එදා අපේ සරච්චන්ද්‍ර සර්ට වුවමනා වුණේ ශිෂ්‍යයන් ලවා මේ නාට්‍ය නිෂ්පාදනය කරවන්න එය ශිෂ්‍යයන්ට පැවරුණු පැවරුමක් හා සමාන වුණා. මොකද එතෙක් විශ්වවිද්‍යාල නිෂ්පාදනය වුණේ ඉංග්‍රීසි නාට්‍යය විතරයි. සිංහල අංශයෙන් නිර්මාණය වූ මුල්ම නාට්‍යය තමයි මේ රත්නාවලී නාට්‍යය. ඒ කාලේ සරච්චන්ද්‍ර ගුරුතුමාට නිර්මාණශීලී ගෝල පිරිසක් හිටියා. මම, ජේ.බී. දිසානායක, තිස්ස කාරියවසම්, සයිමන් නවත්තේගම, සරත් අමුණුගම වැනි ශිෂ්‍යයන් පිරිසක් එදා එතුමා සමඟ හිටියේ. ඉතින් අපි මේ පිරිසේ් සියලු දෙනා එකතු වී 1959 වර්ෂයේ මේ රත්නාවලින් නිෂ්පාදනය කළා. ඒ වෙලාවේ අපි නොසිතූ ලෙස ශිෂ්‍යයන් අතර මේ ගීත ජනප්‍රිය වුණා. ඒ වෙලාවේ සරච්චන්ද්‍ර සර්ගේ අදහස් වුණේ මේ ගීත ටික ඊට ඇලුම් කරන පිරිස් එකතු කරගෙන උගැන්වීමට යොමු වෙන්න කියන එකයි. ඒ කටයුත්ත සාර්ථකව සිදුුවන විට මේ ගීත ප්‍රසංග විදිහට ඉදිරිපත් කරන්න කියන එක තමයි පස්සේ සරච්චන්ද්‍ර ගුරුපියාණන් අදහස වුණේ. ඔය අතරෙ දවසක් මේ ප්‍රසංගය බලන්න කොළඹින් පැමිණියා විශේෂ පුද්ගලයෙක්, පී. වැලිකල කියල එතුමා නාට්‍ය ක්‍ෂේත්‍ර ප්‍රවීණයෙක් නෙ. මේ නාට්‍යය බලපු එතුමා එදා මාව වැලඳගෙන මේ නිර්මාණය නිසා ඔහු විස්මපත් වූ බව මට කිව්වා. ඔය වෙලාවේ තමයි සරච්චන්ද්‍ර සර් එතුමාට යෝජනා කළේ මේ නාට්‍යය කොළඹට ගොස් එහේ කණ්ඩායමක් යොදාගෙන නිෂ්පාදනය කරන්න කියන එක. ඒ අනුව එතුමා ඒ යෝජනාවට කැමති වී එය කොළඹ කේන්ද්‍ර කරගෙන නිෂ්පාදනය කළා. එහිදී හෙන්රි ජයසේන, සුමනා ජයතිලක, මිරැන්ඩා හේමලතා ආදී දක්ෂයන් රැසක් එක්කරවාගෙන කොළඹ ප්‍රසිද්ධ රංගනයක් විදියට වේදිකාගත කළා. මට මතක විදියට ඒ 1962 දී පමණ ඉතින් තව විශේෂ දෙයක් තමයි විශ්වවිද්‍යාලයේදී අර නාට්‍ය ගීත ඉගැන්වීම නිසා ලංකාවේ පළමු වතාවට ලංකාවේ විශ්වවිද්‍යාලක නාට්‍ය ගීත කණ්ඩායමක් ඒ ඇසුරින් බිහිවීම ඒ 1959 වර්ෂය.

1961 වසරේ මම සරසවියෙන් පිට වූ පසු ගුරු වෘත්තියට තමයි මුලින්ම පිවිසුණේ. පාසල් කීපයක ඉගැන්වීම් කටයුතු කළ පසු ගිරාගම ගුරු විද්‍යාලයේ කථිකාචාර්යවරයකු විදියට කටයුතු කළා කළා. පසු කාලයක එහි විදුහල්පති ධුරයේත් කටයුතු කළා.

1989 අධ්‍යාපන අමාත්‍යංශයේ සෞන්දර්ය කටයුතු භාර අධ්‍යක්ෂවරයකු ලෙස පත්වුණා. 1998 වර්ෂයේ තමයි මම රැකියාවෙන් විශ්‍රාම ගත්තේ.

පේමතෝ ජායතී සෝකෝ නාට්‍යය සමඟ ඔබේ සම්බන්ධය මොකක්ද?

සරච්චන්ද්‍ර සර්ගේ නාට්‍යයනෙ එක දවසක් සර් අපේ පිළියන්දල ගෙදරට ආවා මේ නාට්‍යයේ පිටපතත් අරන් එතකොට එතුමා මාව හොඳටම දන්නවානේ. මගේ සංගීත හැකියාව නිර්මාණ වපසරිය ගැන එතුමාට හොඳ දැනුමක් තිබුණා. ඉතින් එතුමා මේ පිටපත මගේ අතට දීලා කිව්වා මේකේ සංගීත නිර්මාණය සම්පූර්ණ කරන්න කියලා. ඒක හිතාගන්න බැරි තරම් ලස්සන පිටපතක්. මට හරි ආස හිතුණා. පස්සේ මට තේරුණා. මේ නිර්මාණ කටයුත්ත සම්පූර්ණයෙන් කරන්න. අපිට වටපිටාවක් තිබුණා නම් හොඳයි කියලා. ඒ පාර මම සර්ගෙන් ඇහුවා ඔබතුමාගේ නිවසට පැමිණ කරන්නද කියලා. ඒ යෝජනාවට එතුමා ගොඩක් සතුටු වුණා. ඒ පාර මං එතුමාගේ ගෙදර ගිහින් නැවතුණා මේ පිටපත අරන්. ඒ සංගීත නිර්මාණ කටයුතු ටික සම්පූර්ණ කරන්න ඒ 1966. එතුමාගේ නිවසෙත් වෙනම පසුබිමක් තිබුණේ. හරි ලස්සන පසුබිමක් නිශ්ශංක දිද්දෙණිය, ජයලත් මනෝරත්න ආදීන් ඒ නිවසට නිතර ආව ගිය තැනක් වුණා. එතුමාගෙ නිවස. ඉතින් ඔය විදිහට කොහොම හරි පේරාදෙණිය ශිෂ්‍යයන්ගේ නිර්මාණයක් විදියට මේ නාට්‍යයත් හරිම අනර්ඝව වේදිගාගත වුණා. 1969 දී මේ නාට්‍යය සරච්චන්ද්‍රයන් නම් කළේ ගීත නාටකයක් (ර්‍ණනඥපච) විදියටයි. මොකද මේ නාට්‍යය සම්පුර්ණයෙන්ම සංගීතය මත පදනම්වයි නිර්මාණය වුණේ.

කොහොම හරි ඊටපස්සේ දිගටම තුන්වතාවක් විතර සරච්චන්ද්‍රයන් අතින් පේමතෝ ජායතී සෝකෝ නාට්‍යය නිෂ්පාදනය වුණා. පසු කාලයේ මේ නාට්‍ය දෙකම උසස් පෙළ පන්තිවල සිංහල භාෂාව සඳහා නිර්දේශ වීමත් වුණා.

පේමතේ ජායතී සෝකෝ නාට්‍යය ඔස්සේ මමත් සරච්චන්ද්‍ර ගුරුතුමනුත් කොච්චර සමීප වුණා ද කියනවා නම් පසු කාලයේ මනමේ සිංහබාහු මහාසාර වැනි නාට්‍යවල සංගීතය මා ලවා නවීකරණය කරගන්නත් එතුමා කටයුතු කළා.

වර්තමානයේ ඔබ සුවිශේෂ කාරණයක් හා සම්බන්ධව දැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරනවා. කුමක්ද ඒ.

ඔව්. මගෙ තාත්තා වින්සන්ට් සෝමපාල. අපි පෙර කතා කළ විදියට එතුමා සංගීතයට කලාවට විශාල නැඹුරුවක් සහිතව කටයුතු කළ කෙනෙක්. තාත්තාගේ නිවස පිහිටා තිබුණෙ පිළියන්දල නගර මධ්‍යයේ. පසුකාලීනව මේ නිවස අපේ බාල සොහොයුරු නමටයි තිබුණේ. නමුත් මීට කලකට ඉහත ඒ ඉඩම රජයට පවරා ගත යුතු බව දැනුම් දී තිබුණා. හේතුව නගරයේ මහාමාර්ගය පුළුල් කිරීමේ කටයුතු වෙනුවෙන්. ඉතින් ඒ අනුව මේ ඉඩම රජයට පවරා ගනු ලබන්නට තීරණය වූ නිසා එයින් මගේ බාල සොහොයුරු ඉවත්ව ගිය පසු එය කාලයක් මුළුල්ලේ වසා දමා තැබුණු ගොඩනැගිල්ලක් බවට පත් වුණා. ඉතින් මේ නිසා මම ඒ වටපිටාව තාත්තා නමින් නොමිලේ කලාව හා සාහිත්‍යය දරුවන්ට කියා දෙන තැනක් බවට පත්කරගෙන කටයුතු කළා. එතැන හැඳින්වුයේ වින්සන්ට් සෝමපාල අධ්‍යාපනික හා සංස්කෘතික පදනම නමින්.

එහි ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ. නමුත් මේ මොහොත වනවිට මේ නිවස කඩා ඉවත් කරන්න සුදානම් ව පවතින බව තමයි අපට දැනගන්න ලැබී තිබෙන්නේ.

මෙතන තිබෙන සුවිශේෂ කාරණයකුත් මම පැහැදිලි කරන්න කැමැතියි. මොකක්ද කියනවා නම් මේ මුළු නිවස සහ ඉඩම පර්චස් 26කින් යුක්ත වන අතර මාර්ගයේ පුළුල් කිරීමේ කටයුතු වෙනුවෙන් සලකුණු වී තිබෙනවා. නමුත් ප්‍රමාණය පර්චස් 22ක් විදියටයි දැක්වෙන්නේ. එතකොට තවත් පර්චස් 4ක් ඉතිරිව තිබෙන්නෙ. එක ළඟ පිහිටන විදියට නොවෙයි. ඉඩම පුරා තැනින් තැන බෙදී ගිහින් ඉතිරි වන කොටසක් විදිහටයි එම පර්චස් හතර ඉතිරිව තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේ මගේ අරමුණ වන්නේ වෙනත් ස්ථානයක මේ අධ්‍යාපන කටයුත්ත ඉදිරියටත් පවත්වාගෙන යන්න. තාත්තාගේ දැක්ම, එතුමා දූ දරුවන් වෙනුවෙන් ඉටු කරන්න යෙදුණු වටිනා මෙහෙවර තවදුරටත් දූ දරුවන් අතරට ගෙන යමින් ඔවුන් ඒ දැනුමින් පොහොසත් කිරීම තමයි මගේ එකම අරමුණ වෙන්නේ.

ගීත රචකයකු, ග්‍රන්ථ කතුවරයකු, සංගීත ගුරුවරයකු වශයෙන් කටයුතු කළ පියාගෙ බොහොමයක් ග්‍රන්ථ අද වෙළෙඳපළේ දකින්න නැහැ. ඒ ග්‍රන්ථ ටිකත් නැවත මුද්‍රණය කර වෙළඳපළට යොමු කරන්න මගේ ලොකු කැමැත්තක් තියෙනවා. සරච්චන්ද්‍රයන් මගේ පියා හා තිබුණේ බොහොම කිට්ටු ඇසුරක්. එතුමා අපේ නිවෙසට ආගිය පුද්ගලයකු වුවා සේම එබඳු අවස්ථාවල ඔවුන් අතර ඇති වූ ඉතාමත් හරවත් සංවාද අපි අහගෙන හිටියා.

සංගීත සාහිත්‍යය පිළිබඳ පෘථුල දැනුමක් සහිත උගතෙකු වූ තාත්තා ලියූ දේවල් බෙදා දුන් දැනුම තවදුරටත් මේ පරම්පරාවට සමීප කරවීමයි. මේ උත්සාහයට මුලික වෙන්නේ.

 

සේයාරූ - මාලන් කරුණාරත්න